2018 මැයි 26 වන සෙනසුරාදා

සුද්දාට තදවෙලා ලක්ෂ ගාණක කැමරාව පොළොවෙ ගැහුවා

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 267

අපේ රටේ සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාදයක සටහන් පෙළේ විසි හතරවැන්නයි. මෙවර අපේ කථානායකයා වන්නේ පාලිත ගජනායක මහතාය. අනූව දශකය ආරම්භයේදීම ගයිඩ් වෘත්තියට පිවිසි ඔහු Chauffer Guide කෙනෙකි. ගයිඩ් වෘත්තිය තුළ තිස් වසරකට ආසන්න අත්දැකීම් සහිත ඔහු අප හා බෙදාගත් අත්දැකීම් මෙසේ අකුරැ කරන්නෙමු. 

 ”මම හරි ආසයි වාහනවලට...” ගයිඩ් කෙනෙක් වෙන්නට තීරණය කළේ මන්දැයි ඇසූ පැනයට ඔහුගෙන් ලැබුණේ එවැනි උත්තරයකි.

“ඔව්. මම වාහනවලට ගොඩක් ආසයි. ඔය ඇවිල්ලා 91දි විතර. මට ගයිඩින් කරපු මගේ යාළුවෙක් හම්බ වුණා. එයා ගාව තිබ්බෙ පර්ජෝ 504 කාර් එකක්. ඒක දැක්කටම මටත් ආසාවේ බෑ. එයාගෙන් විස්තර දැනගෙන ඊටපස්සෙ මාත් ගයිඩින්වලට එකතු වුණා” 

“ඉතින් පර්ජෝ කාර් එකක් ලැබුණද?” 

“ඔව් ලැබුණා. හැබැයි ඊටත් වඩා හොඳ වෘත්තියක්, නිදහස් ජීවිතයක් ගයිඩින් නිසා ලැබුණා”

පාලිත ගයිඩින්වලට යොමුවුණේ මීට අවුරුදු විසි හතකට පමණ ඉහතදීය. නව යොවුන් වයසේ සිටම රට තොට සංචාරයට ඔහු තුළ වූයේ ලොකු කැමැත්තකි. ගයිඩින් වෘත්තියක් ලෙස තෝරාගන්නා මොහොත වන විටත් ඔහු ලංකාවේ බොහෝමයක් තැන් සියැසින් දැක බලාගෙන තිබුණි. 

ඔහු හා හා පුරා කියා සම්බන්ධ වන්නේ බොරලැස්ගමුවේ තිබූ ජෙරම් කොඩිප්පිලි මහතාගේ සංචාරක ඒජන්සියටය. හිතූ පරිදි පර්ජෝ 504 රථයක් ද හිමිවිය. එම රථය එකල සංචාරක ක්ෂේත්‍රයේ ගමනාගමනයට බහුලව භාවිත කළ රථයක් විය.

සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් 76දී කොළඹ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුව සඳහා අලුත්ම පර්ජෝ රථ ලංකාවට ගෙන්වා තිබුණු අතර අවුරැදු කිහිපයකට පසුව වෙන්දේසි කරන ලද එම රථ වැඩි හරියක් මිලදී ගෙන තිබුණේ සංචාරක ඒජන්සි මඟිනි. 

“ඒක බොහොම සැප පහසු කාර් එකක්. සුද්දොත් බොහොම ආසාවෙන් ඒකෙ එහා මෙහා ගියා. ඒ කාලේ තෙලුත් මෙච්චර ගණන් නැති හින්දා ඒවා ඔරොත්තු දුන්නා”

එකල කිලෝමීටරයකට ගෙව්වේ රැපියල් හයයි පනහකි. ගයිඩ් කෙනකුගේ දිනක බටා එක (දීමනාව) රුපියල් පනහකි. 

1993 වසරේදී ගයිඩ් බලපත්‍රය ලබාගන්නා පාලිත ඒ අවධියේදීම තමන්ගේම කියා මොටෝ රියක් මිලට ගෙන තම ගයිඩින් කටයුතුවලට යොදාගන්නට පටන්ගත්තේය. 

ඇබැද්දි පිරුණු රස්සාවක්!

අපි මීට පෙර අවස්ථාවකදී ද පින්නවලදී අලියකු නිසා සංචාරක කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් ගැන කතා කළෙමු. එවැනිම අත්දැකීමකට පාලිතට ද මුහුණ දෙන්නට සිදුවී තිබුණි. 

“අපි පින්නවල ඉද්දි එක අලියෙක් කුලප්පු වුණා. අන්තිමට එයා එක ලේඩි ටුවරිස්ට් කෙනෙක්ගේ යටි බඩෙන් කකුල තිබ්බා. ඒක කොච්චර දරණුද කියනවා නම් උකුළු ඇටේ බිඳිලා තිබුණා. හරිම කණගාටුදායක සිද්ධියක්”. 

තවත් වරක් ඔවුහු උඩවලවේ ගමන් කරමින් සිටියහ. ජීප් රථ රැසක්ම එක තැනක නවතා තිබුණේ අලි රංචුවක් දැකගැනීමටය. පාර දෙපැත්තේම අලි රංචුවේ සාමාජිකයෝ උන්හ. නමුත් ජීප් රථ නිසා ඇතින්නක් සහ ඇගේ පැටියා පාරේ දෙපසට වෙන්ව ගොස් තිබුණි. ආගන්තුකයන්ගෙන් තම පැටියාට හිරිහැරයක් වේදෝයි සැක කළ ඇතින්න පාලිතලා සිටි ජීප් රියට ළංවූවාය. පාලිතටත් ට්‍රැකර්ටත් අමතරව ජීප් රියේ උන්නේ එංගලන්ත ජාතික සුද්දන් හතරදෙනෙකි. 

“ඇතින්නි ඇවිත් ඔළුව ජීප් එක දිහාට පාත් කරලා ජීප් එක දෙපැත්තට පද්දන්න ගත්තා. ට්‍රැකර් ඉඳන් අලි මන්තර මතුරනවා. ඇතින්නි කිසිම ගාණක් නැතුව ජීප් එක පද්දනවා. අපි සේරමලා හොඳටම බයවෙලා. සුද්දොන්ගෙත් ඇඟ පුරාම දාඩිය දාලා, රතු වෙලා. බය වෙච්ච පාර එක සුද්දියෙක්ට ඇඟේම මුත්‍රා පිටවුණා” 

ට්‍රැකර් නොනවත්වාම තමා දන්නා අලි මන්තර සියල්ල මැතිරුව ද ඇතින්න යන පාටක් නැත.

“අන්තිමට ට්‍රැකර් හොඳ කුණුහරපෙකුත් කියලා එයාගේ අතේ තිබ්බ ප්ලාස්ටික් වතුර බෝතලෙන් අලියගේ ඔළුවට පාරක් දුන්නා. එතකොට තමා අලියා අයින් වුණේ. අපි ඉක්මන් කරලා එතනින් පැනගත්තා”

ලක් එක නැත්නම් සතුන් නෑ

ලංකාවට එන සුද්දන් බොහෝ දෙනකු ලංකාවේ සුන්දරත්වයට වශී වන බව පාලිතගේ අත්දැකීමයි. එනම් ලංකාව තරම් ජෛව විවිධත්වයක්, පරිසර කලාපවල විවිධත්වයක් ඇති කිසිදු රටක් ලොව නැත. 

“මට හම්බ වෙන සමහර සංචාරකයන් ලෝකෙ රටවල් තිහ හතළිහක ඇවිද්ද අය. ඒ අය හැමෝම ආපහු යද්දි කියන කතාව තමයි එයාලා ආපු හොඳම රට, ලස්සනම රට ලංකාව කියන එක” 

පාලිත ගෙනහැර දක්වන ආකාරයට ඊට ලොකු හේතුවක් තිබේ. එනම් මුහුදේ වෙසෙන ලොකුම සත්ත්වයාත්, ගොඩබිම වෙසෙන ලොකුම සත්ත්වයාත් එක් දිනක් තුළ නැරඹිය හැකි තැනක් ලොව ඇත්නම් ඒ ලංකාව පමණක් වීමය.

“අපි උදෙන්ම මිරිස්සෙන් මුහුදට ගියොත් නිල් තල්මහාව බලන්න පුළුවන්. ඩොල්ෆින්ලත් ඉන්නවා. ඊට පස්සේ මිරිස්සේ ඉඳන් යාලට ගියාම දවල් වෙද්දි අලියව බලන්න පුළුවන්. අලියා විතරකුත් නෙමේ, දිවියායි වලහයි දකින්නත් පුළුවන්. වෙන මොන රටේදී ද ඔය වැඩේ කරන්න පුළුවන්.” 

යාල සහ විල්පත්තු ගමන්වලදී වලහා ද නිතර හමුවන සතෙකි. වාහනවලට හෝ මිනිසුන්ට කිසිදු බියක් නොදක්වන වලහා වාහනයක් දුටුවිට කෙළින්ම ඒ වෙත පැමිණෙයි. පැමිණ පිටුපස ගාත් දෙකට බර වී සිටගනිමින් දෑත් ලෙස භාවිත කරන ඉදිරි ගාත් දෙකෙන් ජීප් රිය අල්ලා ගනී. එසේ අල්ලාගෙන සංචාරකයන්ගේ මූණු දෙසත් ජීප් රිය දෙසත් විමර්ශනකාරී බැලුම් හෙළයි. අවසානයේ ඌටම එපා වී එතැනින් නික්ම යන තුරු සංචාරකයන් ඉන්නේ හදවත වේගයෙන් ගැහෙද්දී මුවින් වචනයකුදු පිට නොකරමිනි. 

වරක් පාලිතට මුණ ගැසුණු එංගලන්ත ජාතික සුද්දෙක් ලංකාවට ආවේම දිවියන්ගේ ඡායාරෑප ගැනීමටය. ඊට හොඳ හේතුවක් ද තිබේ. ඒ ලංකාවේ යාල වනය ලොව වැඩිම දිවි ඝනත්වයකින් යුත් වනාන්තරය වීමයි. 

ඔහු දින හතක් පුරා යාල මහ වනයේ නැවතී හුන්නේය. තමන්ගේ කැමරා ආම්පන්න ද සමඟ දිනපතා උදෑසන යාල වනයට ජීප් රියෙන් සෆාරි යන ඔහු නැවත හෝටලයට පැමිණෙයි. දිවා ආහාරය ගැනීමෙන් පසු ආපසු හවස් වරැවේදීත් ඔහු වනයට වදින්නේ දිවියන් දැකීමටය. දින හතක් පුරා සෆාරි දහයකට වැඩි ගාණක් ගිය ද ඔහුට එකදු දිවියෙකු හෝ දැකගැනීමට නොහැකි විය. වියරැ වැටුණු සුද්දා තමන් ගෙනා ලක්ෂ ගාණක් වටිනා කැමරාව කෝපයෙන් පොළොවේ ගසා ආපසු යන්නට ගියේය. 
“සතුන් දකින්න ලක් (luck) එකත් ඕනෙ” පාලිත කීය. 

ඉරානයෙන් ආ මාධ්‍ය කණ්ඩායම

“ඉරාන ජාතිකයෝ නම් හරිම හොඳ කට්ටියක්!” පාලිත කීවේ කතාබහ අලුත් පැත්තකට යොමු කරමිනි. 

මීට අවුරුදු හත අටකට පෙර ඔහුට ඉරාන ජාතික සංචාරකයන් කණ්ඩායමක් මුණගැසී තිබුණේ දින 15ක දීර්ඝ සංචාරයක් සඳහාය. එසේ පැමිණියේ ඉරානයේ රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමකි. කැමරා ආම්පන්න, ඉලෙක්ට්‍රොනික් උපාංග ඔසවා ගත් ඔවුහු රට වටා යමින් විවිධ තැන්, මිනිසුන් රූගත කළහ. 

“ඒගොල්ලෝ එහේදි පෙන්නන්න කියලා මගෙත් ඉන්ටර්වීව් එකක් ගත්තා” පාලිත කීවේ ලජ්ජාව මුසු සිනහවකිනි. 

ඉරාන ජාතිකයන් පිළිබඳ පාලිතට ඇල්මක් ඇති වන්නේ ඔවුන් කෙරෙන් දුටු කාරුණික හදවත් නිසාවෙනි. 

“එයාලාට දුප්පත් ළමයි දැක්කම හරියට දුකයි. එහෙන් ගෙනාපු ගොඩක් දේවල් මෙහේ ළමයින්ට දීලයි ගියේ. වතාවක් ඉස්කෝලෙ යන ගෑනු ළමයෙක් මේ කට්ටියට අත වැනුවා. අපේ කට්ටිය ළඟ එයාට දෙන්න මුකුත් තිබුණෙත් නෑ. ඒ පාර එක්කෙනෙක් කළේ එයාගේ බඩු මුට්ටු ටික දාගෙන හිටපු බ්‍රිෆ් කේස් එක වගේ බෑග් එක ඇරලා ඒකෙ තිබ්බ බඩු ටික ඔක්කොම වෑන් එකේ සීට් එක උඩට හළලා බෑග් එක අර ගෑනු ළමයට තෑගි කළා. මම හිතන්නෙ ඒ බෑග් එකත් රැපියල් හාර පන්දාහක් වටිනවා ඇති”. 

සුද්දන්ව සිරීපාදේ නග්ගන පුංචි යාළුවෝ

ලංකාවට එන බොහෝ එංගලන්ත සුද්දෝ සිරිපා කරැණා කිරීමට ද ලොකු කැමැත්තක් දක්වති. සීගිරිය වැනි ස්ථානයකදී පාලිතලා දිගටම සංචාරකයන් සමඟ රැඳී සිටිය ද බොහෝ සංචාරකයන් සිරීපාදය නගින්නට යන්නේ ගයිඩ් නොමැතිවය. ගයිඩ් වෙනුවට නල්ලතන්නිය ප්‍රදේශයේ හෝටල් ආශ්‍රිතව ඒ වෙනුවෙන්ම සූදානම් පිට සිටිනා තරැණයන් කණ්ඩායමක් ද සිටී. 

එහෙත් ඇතැම් සුද්දන්ගේ මනාපය ඇත්තේ කිසිවකුගේ හෝ සහාය නොමැතිව තනිවම කන්ද තරණය කර උඩ මළුවට ළඟාවීමටය. 

“එහෙම යන්න කැමති සුද්දන්ට මම කියන්නේ විස්කෝතු පැකට් එකක් අරන් කන්ද නගින්න කියලයි” 

“ඒ මොකෝ විශේෂයෙන්?” 

“මඟක් දුර යද්දි බල්ලෝ හතර පස් දෙනෙක්ගේ රංචුවක් හම්බ වෙනවා. උන්ට විස්කෝතුවක් දුන්නම උන් මළුවට යනකල්ම ටුවරිස්ට්ලා එක්ක උඩට යනවා. එහෙම ගිහින් ආපහු එනකල්ම එයාලත් එක්ක ඉන්නවා. හදිසියේවත් පාර වැරදිලා රත්නපුරේ පාරෙන් බහින්න ගියොත් එහෙම උන් බුරන්න ගන්නවා. බුරලා බුරලා කොහොම හරි සුද්දො ටික හරි පාරෙම එක්කන් එනවා. ඒකට දැන් සුද්දොත් පුරුදු වෙලා, බල්ලොත් පුරුදු වෙලා...”

(තවත් කොටසක් ලබන සතියේ)

 රජිත ජාගොඩ ආරච්චි 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00