ගමේ ගම් සභා කොමිටියට පත්වුණු මැම්බර් උන්නැහැලාගේ ලොක්කා වුණේ ගං සභාපති උන්නාන්සෙයි. සමහර අය මෙයාට සභාපති රාළහාමි කියලත් කියන්නේ වැඩි ගරැ සැලකිල්ලටයි. මේ සභාපති උන්නාන්සෙ තෝරාගන්නේ මැම්බර් උන්නැහැලගේ කැමැත්තෙන්. ගමට පත්වෙච්ච මැම්බර්ලා කණ්ඩායමෙන් වැඩියෙන්ම සුදුසු එක්කෙනා තමා සභාපති විදියට පත්වෙන්නේ. ඒකට තරගයක් ඇතිවුණේ බොහොම කලාතුරකින්. කල් තියලා සභාපති කවුද කියලා තෝරාගෙනයි ඉන්නේ.
ගමේ වැදගත්, නම්බුකාර, ඒ වගේම යමක් කමක් තියෙන කෙනෙක් තමා මේ තනතුරට පත්වෙන්නේ. ඒ වගේම වැඩි උගත්කමක් ඕනෑ නැතිවුණත් අකුරු කියවන්න ලියන්න දැනගන්න ඕනෑ. ගම්සභා කොමිටියේ මුල්ම රුස්වීමේදී තමයි නමෝ විත්තියෙන් සභාපති තෝරාගන්නෙ. එයා අවුරුදු තුනක් වෙන මුළු කාලයටම සභාපති තනතුර දරනවා. ඒ එක්කම උප සභාපති තනතුරටත් කෙනෙක් එදාම පත්වෙන නමුත් ඒ තනතුරට නම් අවුරැද්දෙන් අවුරුද්දට අලුත් අය පත් කරනවා.
සභාපති උන්නාන්සෙගෙ රාජකාරිය වෙන්නේ කොමිටියෙ රැස්වීම්වල මූලාසනය ගැනීමයි. කොමිටි රැස්වීමේ සම්මත වෙන සමහර යෝජනාවලට ඡන්දෙ විමසන්න සිද්ධවෙනවා. එහෙම වෙලාවක දෙපැත්තටම ඡන්ද සම සමව ලැබුණොත් සභාපති උන්නාන්සෙට පුළුවන් තමන්ගෙ ඡන්දෙ පාවිච්චි කරලා එක පැත්තක් දිනෝල දෙන්න. ඒ ඡන්දෙට කියන්නෙ තීරක ඡන්දය කියලා. හැම ඡන්දෙකටම වැඩිය ඒ ඡන්දෙ බලගතු වෙන්නේ ඒකෙන් දිනන්න හරි පරද්දන්න හරි පුළුවන් හින්දයි. ඒ හින්දා හැමදෙනාම එයාව හොඳින් තියාගන්නයි බලන්නෙ.
ඒ කාලෙ ගම්සභා කොමිටියෙන් කළේ ගමේ සනීපාරක්ෂක කටයුතු, පුංචි පාරවල්, බෝක්කු වගේ දේවල් හැදිල්ල විතරයි. අද වාගෙ ලොකු ලොකු දේවල් ගැන සාකච්ඡා කළේවත්, බැරි වැඩ පටන් ගත්තෙවත් නැහැ. මේ වැඩ කරවන්නෙ ටෙන්ඩර් කැඳවලා. අඩුම ගාණට තමා දෙන්න බලන්නෙ. කොමිටියෙ ලියන කියන වැඩ කටයුතුවලට ආණ්ඩුවෙන් ලියන මහත්තයෙක් පත් කරලා තියෙනවා. ඒ අය තමයි සභාපතිලා, මැම්බර්ලා එක්ක සම්බන්ධ වෙලා වුවමනා වැඩ කටයුතු කරන්නේ.
ගමේ රණ්ඩුසරුවල් ඇතිවුණාමත් ඒවා සමතයකට පත් කරන්නෙ සභාපති උන්නාන්සෙ තමයි. බොහොම හැලහැප්පිලි ඇතිවෙන්නේ ඉඩම්වල මායිම්වලටයි. ඉඩමෙ මායිමේ හොඳට ගෙඩි හැදෙන කොස් ගහක් පොල් ගහක් තිබ්බහම ඒකට දෙගොල්ලම අයිතිය කියන හින්දා රණ්ඩුසරුවල් ඇතිවෙනවා. එහෙම පැමිණිල්ලක් ආපුවාම සභාපති උන්නාන්සෙ එතෙන්ට ගිහිල්ල කරැණු කාරණා සොයල බලල තීන්දුව දෙනවා. මේ ගහේ අයිතිකාරයා කවුද කියලා. ඒක අන්තිම තීන්දුව වෙන හින්දා කවුරුවත් ඒකට විරැද්ධ වෙන්නෙ නැහැ.
ගං සභාපති උන්නාන්සෙ හැමදාම කොමිටියෙ රාජකාරිවලට නොගියට ඕනෑම වෙලාවක ඒකට ලැහැස්ති පිටයි ඉන්නෙ. ඒ හින්දා එයාට ගමෙන් දුර ගිහිල්ල වැඩි දවසක් ඉන්න අමාරුයි. මේ තනතුරට තෝරාගන්නෙත් එහෙම නිස්කලංකව ඉන්න පුළුවන් කෙනෙක්. මේ වැඩ රාජකාරිවලට එයාට සතයක්වත් ලැබෙන්නෙ නැහැ. ඔක්කොම කරන්නේ සේවයක් විදිහටයි. හැබැයි ඉතින් නම්බුව විතරයි ඉතුරු වෙන්නෙ.
යසවර්ධන