2018 මැයි 26 වන සෙනසුරාදා

ඇයි රත්තරන් දුවේ මම එන්න කලින් ඇළට බැස්සේ...

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 211

දෙහිඅත්තකණ්ඩිය, නිකවතලන්ද, බිහිරිසොරොව්ව ගම්මානය ඉකුත් බදාදා (16) පස්වරුවේ එකම මළගෙයක් බවට පත්විය. ඒ ගම්පියසේ විසූ සිව් හැවිරිදි දියණියක සහ ඇගේ මව නිවෙස අසල පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී දෙදෙනාම මිය ගිය දුක්මුසු පුවත සැළවීමත් සමඟිනි. ඒ සමඟම නැඟුණේ එකම මිනිස් විලාපයෙකි. එය නිකවතලන්ද, බිහිරිසොරොව්ව පමණක් නොව අවට ගම්බිම්ද සිසාරා දෝංකාර දුන්නේය.

මෙම දුක්මුසු ඉරණමට ගොඳුරුව අකාලයේ ජීවිත ගමන නිමා කළේ දෙහිඅත්තකණ්ඩිය, තිකවතලන්ද, බිහිරිසොරොව්ව අංක 247 ලිපිනයේ විසූ දෙදරු මවක වූ ආර්.බී. ධම්මිකා කුමාරි (30) සහ ඇගේ කුඩා දියණිය වූ එච්.එම්. තිමාෂා තත්සරණි සිව් හැවිරිදි දියණියයි.

මහවැලි සී කලාපයට අයත් දෙහිඅත්තකණ්ඩියේ කෙත් බිම් අක්කර දහස් ගණනක් වී වගාව සඳහා දියවරින් පෝෂණය කරනු ලබන්නේ රත්කිඳ ජලාශය මඟිනි. නිකවතලන්ද බිහිරිසොරොව්ව ගම්මානය අසලින් ගලා බසිනුයේ එසේ කුඹුරැවලට ජලය ගෙනයන ඩී. 5 ඇළ යනුවෙන් හඳුන්වන කුඩා වාරි ඇළකි. මේ ඇළට පෙරකී මව සහ දියණිය දියනෑම සඳහා ගොස් ඇත්තේ ඉකුත් බදාදා (16) පස්වරැ 1.35ට පමණය. එම ඇළේ මහජනයා දියනෑම සඳහා භාවිත කරන නාන මංකඩක් ලෙස ප්‍රකට ස්ථානයෙක මොවුන් දෙදෙනා දිය නාමින් සිටියදී දිය පහරේ ගසාගෙන බොක්කුවකින් ද පහළට ඇද වැටී දියේ ගිලී ගිය බව අනාවරණය වී ඇත. 

මියගිය ධම්මිකා කුමාරි මහත්මියගේ සිරුර ඇගේ සැමියා වන එච්.එම්. දිසානායක (45) මහතා විසින් එම අනතුරින් පැයකට පමණ පසුව බෝක්කුවට පහළින් ගැඹුරු සහිත දිය වළක තිබී ගොඩටගෙන තිබේ. මිය ගිය දියණියගේ සිරුර සොයාගෙන ඇත්තේ එම වාරි ඇළේ කිලෝ මීටර් දෙකක් පමණ පහළට ගසාගෙන ගොස් තිබියදීය. මවත් දියණියත් දෙදෙනාම දියෙන් ගොඩට ගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යනු ලැබුව ද ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම මිය ගොස් සිටි බව පරීක්ෂා කළ වෛද්‍යවරුන් විසින් සනාථ කර තිබිණි.

ඩී. 5 වාරි ඇළ මිනිස් ජීවිත බිලිගන්නට තරම් විශාල ජල කඳක් ගලාගෙන යන ඇළක් නොවන බව ගම්වාසීහු අප සමඟ කීහ. 

මහවැලි ව්‍යාපාරය තුළින් අදින් වසර 28කට පමණ පෙර බිහිවූ ගම්මාන අතුරින් එක් ගම්මානයක් වන මෙම බිහිරිසොරොව්ව ගමේ මේ සිද්ධිය වන තෙක් ඩී 5 ඇළට බිළිවී නැතැයි ගම්වාසීහු බොහෝ දෙනෙක් අප සමඟ පැවසූහ.

තම ආදරණීය බිරිඳගේ සහ දරු සිඟිත්තියගේ අකල් වියෝවෙන් තැවෙන එච්.එම්. දිසානායක (45) මහතා අප සමඟ පළ කළ අදහස් තුළින් අපට පැහැදිලි වූයේ එම වාරි ඇළේ දියනෑමේ පුරුද්දක් තම බිරිඳට සහ දියණියට නොතිබීම නිසා මෙලෙස දියේ ගසා ගෙනගොස් අනතුරට ලක්වන්නට ඇති බවයි. 

“මම ඇළට නාන්න යනවා. මගේ බිරිඳත් දරුවොත් නාන්නේ ගෙදරින්. ඒ අය ඇළට නාන්න යනවා නම් යන්නේ මාත් එක්ක විතරයි. තනියෙන් යන්නේ නෑ. මම රැකියාව හැටියට කරන්නේ වෙළෙඳාම. පොඩි කඩයක් කරනවා. මේ සිද්ධිය වුණු දවසේ උදේ මම වෙළෙඳාම සඳහා දෙහිඅත්තකණ්ඩිය පොළට ගියා. එතකොට වෙලාව උදේ 6.30ට විතර ඇති. ලොකු පුතා ඉස්කෝලේ ගියා. එදා උදේ 10.00ට විතර මගේ බිරිඳයි දුවයි දෙදෙනාම පොළට ආවා. ඊට පස්සේ දවල් 12.30ට විතර පොළේ ඉඳලා බඩුත් අරගෙන අපි තුන්දෙනාම මගේ ත්‍රීවිල් එකෙන් ගෙදර ආවා.

අපේ ගෙදරට වතුර අරගෙන තියෙන්නේ ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් මගින්. එදා නඩත්තු කටයුත්තක් සඳහා ජල සැපයුම නතර කරලා තිබුණා. වෙනදාට මගේ දරුවොයි බිරිඳයි නාන්නේ ගෙදරින්. එදා ඇළට නාන්න යන්න ඕන කියලා ගියා. මම උදේටත් කෑම කාලා හිටියේ නැති නිසා කෑම ටිකක් කාලා එන්නම් කියලා ගෙදර නතර වුණා. මම කිව්වා මම එනකම් ඇළට බහින්න එපා කියලා. මම කෑම කාලා පුටුවේ හාන්සි වුණා. මහන්සිය නිසා ටිකක් නින්ද ගියා. එකපාරටම ඇහැ ඇරිලා ඇළ ගාවට ගියා. එතකොට දුවවත් ඇළ ළඟ පේන්න හිටියේ නෑ. මම එතන හිටිය පොඩි ළමයෙකුගෙන් ඇහුවා නැන්දා දැක්කද කියලා. ඒ දරුවා කිව්වා නැන්දා බෝක්කුව පහළ නානවා කියලා. එතකොටත් මගේ බිරිඳ වතුරේ උඩ මතුවෙමින් යටයමින් හිටියේ. මම එයා වහාම ගොඩට ගත්තා. දුව ගැන හොයලා බැලුවා. දුව එතැන හිටියේ නෑ. එයා ඇළේ පහළ ගසාගෙන ගිහිල්ලා. කිලෝ මීටර් දෙකක් විතර දුරින් හොයා ගත්තා. 

දෙන්නම දෙහිඅත්තකණ්ඩිය ඉස්පිරිතාලෙට අරගෙන ගියා. නමුත් වැඩක් වුණේ නෑ. ඒ වෙනකොටත් දෙන්නාම මැරිලා. මම එනකම් වතුරට බහින්න එපා ඉන්න කියලා කියපු දේ ඇහුවා නම් මේ දේ සිද්ධ වෙන්නේ නෑ. අනේ මම මේ දරුවෝ දෙන්නා ඇහැක් වගේ බලාගත්තේ. දැන් එක දරුවයි ඉන්නේ. ඒ දරුවටත් අම්මව නැති වුණා. මේ දුක මම කොහොමද ඉවසන්නේ දෙවියනේ. අපි දෙන්නා විතරක් මේ ලෝකේ තනිවුණා.

ඇවිලෙන ලසෝගිනි නිවාගත නොහැකිව තැවෙන ඒ ආදරණීය තාත්තා, සැමියා සිය මුවින් පිටකරන වදන් වැල් තුළින් අපට පසක් වූයේ එම ජීවිත දෙක දියයට සැඟව ගියේ ඔවුන් එම වාරි ඇළේ දියනෑමට ආගන්තුකයන් නිසාය යන්නයි.

දහවල් ආහාරය ද ගෙන සිය සැමියා ඇළේ නාන තොටු‍පොළ වෙත එන්නට මඳක් පමාවූ නිසා ඇය තම දියණිය ද සමඟින් ඇළට බැස තිබේ. මේ අනතුර සිදුව තිබෙන්නේ ද ඒ නිමේෂයකින්ම බවට අපට අනුමාන කළ හැක්කේ දියණියගේ නිසසල සිරුර ඔවුන් දියට බසින ලද තැන සිට කිලෝ මීටර් දෙකක් පමණ දුර ඇළ පහළින් සොයා ගැනීම තුළින්ය. මුලින්ම දරුවා බෝක්කුවේ පහළට ගසාගෙන යද්දී ඇය බේරාගැනීම සඳහා ගිය මවත් ඊටම ගොදුරු වන්නට ඇතැයි අනුමාන කළහැක. එසේ අනුමාන කරන්නට සිදුව ඇත්තේ මෙම අහඹු අනතුර පිළිබඳව සියැසින් දුටු කිසිවකුත් නැති නිසාය.

අපේ රටේ ඇළ, දොළ, ගංඟාවල දියනෑමට ගොස් සිටියදී දියේ ගිලීම නිසා සිදුවන අනතුරුවලින් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් අකාලයේ අහිමි වන බව ප්‍රකට කරුණකි. එසේ ජලයෙන් සිදුවන අනතුරුවලට මූලික හේතුව නුසුදුසු ස්ථානවල දියනෑමට යාම, පිහිනීමට නොදැන දියට බැසීම ආදියයි. බොහෝ ආගන්තුක පිරිස් වැව් ගංගා ආදියෙහි දියනෑම තහනම් කර තිබෙන තැන්වල පවා අත්තනෝමතික ලෙස දියට බැස දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට ගොස් ජීවිතය අහවර කරගත් අවස්ථා බොහෝවිට අපට අසන්නට, දකින්නට ලැබේ. 

දෙහිඅත්තකණ්ඩියේ නිකවතලන්ද, බිහිරිසොරොව්ව මහවැලි ගම්මානයේ ඒ කුඩා දියණියත් ඇගේ මවත් සිය නිවසට ආසන්න වාරි ඇළේ දියයට සැඟව ගියේ හසරක් නොදැන දියට බැසීමේ හිතුවක්කාර ක්‍රියාවක් ලෙස හැඳින්වීමට අපි කිසිසේත්ම අදහස් නොකරමු. උදේ, හවා නැතිනම් නිතර දෙවේලේ ඇස ගැටෙනා අසල්වැසියකු බඳුවූ ඩී. 5 ඇළ මොහොතකටවත් මෙතරම් සහසික වනු ඇතැයි ඒ මව, දියණිය දෙදෙනාගෙන් කිසිවෙකුත් සිහිනෙන්වත් නොසිතන්නට ඇත. කෙසේ නමුත් අනපේක්ෂිත අන්දමට සියල්ල සිදුවී හමාරය.

නිකවතලන්ද, බිහිරිසොරොව්ව ගම්මානයේ පමණක් නොව තවත් අවට බොහෝ ගම්වල ජනයා මේ දුක්මුසු පුවතින් දැඩිලෙස කම්පනයට පත්ව සිටි බව අකාලයේ අවසන් ගමන් ගිය සිඟිති දියණිය සහ මවට බුහුමන් දක්වන්නට පැමිණි විශාල ජන ගඟ තුළින් මනාව පැහැදිලි විය.

දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල මාර්ගයේ නිකවතලන්ද බිහිරිසොරොව්ව මංසන්ධියේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන සිය සැමියාට අත්උදව් දෙමින් ධම්මිකා කුමාරි ලොකු කුඩා කාගේත් සිත් දිනාගෙන සිටි කාන්තාවක බවද එම ගම්පියස වෙත අප ගිය ගමනේදී දැනගන්නට ලැබිණි. ඔවුන්ගේ අකල් වියෝව දරාගත නොහැකිව බොහෝ දෙනා නැගූ දුක්බර විලාපය සවන්පත්හි තවමත් දෝංකාර දෙන්නාක් බඳුය.

මෙම දුක්මුසු සිදුවීම තුළ අපට උගත හැකි පාඩමක් ද වන බව සටහන නිමා කරන්නට පෙර සඳහන් කරමු. තම ආදරණීය බිරිඳගේ, දියණියගේ නිසසල දේහයන් අබියස සිට වාවාගත නොහැකි දුකින් දිසානායක මහතා පැවැසූ “මම කිව්වා මම එනකම් ඇළට බහින්න එපා කියලා. මම කියපු දේ ඇහුවා නම් මේ දේ වෙන්නේ නෑ. යන වචනය කිහිපය තුළ එම පණිවුඩය ගැබ්ව තිබෙන බැව් අපට හැඟුණි.


 සටහන සහ ඡායාරූප
     කරුණාරත්න ගමගේ 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00