ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ එයට අනුබද්ධ ආයතන දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල මුදල් සම්භාරයක් වැය කර ඇති නමුත් එම මුදලට සාපේක්ෂව ප්‍රතිඵලයක් ලැබී නොමැති වීම නිසා වියදම් කිරීම් ප්‍රතිඵල රහිතවී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ ස්වකීය විශේෂ විගණන වාර්තා තුළින් පෙන්වා දී ඇත. ඔහු අදාළ ව්‍යාපෘති කිහිපයකින් සිදුව ඇති අවිධිමත් ගනුදෙනු පෙන්වා දෙයි.
මෙයින් ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේදී සිදුව ඇති අක්‍රමිකතා හා මුදල් නාස්තිය පිළිබඳවය. කිරි ගවයන් 2495 දෙනකු ආනයනය කිරීමේදී එක ගවයකු වෙනුවෙන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වැය කර ඇති මුදල රුපියල් 4,15 372ක් වේ. එසේම හම්බන්තොට සිට රිදියගම ගොවිපළ දක්වා කිලෝමීටර් 38 දුරට එක් ගවයකු ප්‍රවාහනය කිරීමට රුපියල් 15,000ක මුදලක් වැයවී ඇති බව විගණන වාර්තාවේ සඳහන්ය. තවද ගවයන් නිසි පරිදි රක්ෂණය නොකිරීම නිසා මිය ගිය සතුන් 133ක් වෙනුවෙන් සිදුවූ මිලියන 55කට අධික පාඩුව ආවරණය කරගත නොහැකි වූ බවද විගණකාධිපති වැඩි දුරටත් පෙන්වා දෙයි.
මෙරට කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා යැයි ගවයන් ආනයනය කිරීම ආරම්භ වූයේ යහපාලන ආණ්ඩුව සමයේදී පමණක් නොවේ. කිරි ගවයන් ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ගෙන්වීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2007 වසරේදී පශු සම්පත් සංවර්ධන ඇමැති ලෙස සෞම්‍ය මූර්ති තොණ්ඩමන් කටයුතු කළ සමයේ සිටය. මුලදී දෙනුන් 4500ක් ආනයනය කර තිබූ අතර ඒ පිළිබඳ විගණනය කිරීමට අවශ්‍ය ලිපිගොනු ලබා නුදුන් බව විගණාකාධිපති කියයි. 2011 වසරේදී ආර්ථික සංවර්ධන ඇමැති ලෙස බැසිල් රාජපක්ෂ පත්වූ පසු ගවයන් ආනයනය කිරීම ඔහු භාරයට ගෙන තිබූ අතර 2012 වසරේදී ගවයන් 500ක් සහ 2013දී ගවයන් 1500ක් වශයෙන් ආනයනය කර ඇති අතර එම දෙනුන් 2000 පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු බෝපත්තලාව, මැණික් පාලගම හා ඩයගම යන රජයේ ගොවිපළවලට යොමු කර තිබේ. මෙලෙස ගෙන්වූ ගවයන් සමහරක් රටේ පරිසරයට හැඩගැසීමට නොහැකි වීම නිසා මියගිය අතර ඔවුන්ගෙන් මවු රටවල සිටියදී දොවා ගත් කිරි ප්‍රමාණය ලබා ගැනීමට අපහසු වූ බවද වාර්තා විය. ශ්‍රී ලංකාවේ දෙනුන්ට නිසි පෝෂණය ලබා දී සැලකුම් කළේ නම් විදේශීය සතුන්ට වඩා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්කම තිබුණි.
මෙලෙස ගවයන් ආනයනය කිරීම නිසා අපේ දේශීය ගව සම්පත වඳ වීයාමේ තර්ජනයකට ලක්ව ඇති අතර, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් වෙදසිංහ නිකුත් කළ වාර්තාවකින් කියැවෙන්නේ ලංකාවේ මෙතෙක් නොතිබූ භයානක පාචන රෝගයක් ඇතුළු රෝග රාශියක් ආනයනය කරන සතුන් නිසා බෝවීමට ඉඩ ඇති බවය. බිවොන් වෛරසය නිසා ඇතිවන මෙම රෝගය ගවයන්ට පමණක් නොව මිනිසාට ද හානිකර බව ඔහු කියයි. එසේම මෙලෙස අවිචාරවත් ලෙස ආනයනය කරන ගවයන් නිසා මෙරට වැඩි දියුණු කළ දෙමුහුන් ගවයන් ද වඳ වී යාමේ අනතුරක් ඇතිව තිබෙන බව අනාවරණය කර තිබේ.
කෙසේ වුවද ගවයන් ආනයනය කිරීම කූට ජාවාරමක් බවට පත්ව ඇති නිසා කුමන ගැටලු ඇති වුවද දේශපාලනඥයන් ඔවුන් ආනයනය කිරීමට උනන්දු වී තිබේ. පසුගියදා ආනයනය කළ ගවයන්ගෙන් සමහර සතුන් ගොවියන්ට දෙන බව පවසා ඇතැම් දේශපාලනඥයන් බෙදාගත් බවට ද පසුගිය වාර්තාවල පළවිය.
ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේදී විශාල මුදලක් අපතේ ගොස් ඇති අතර බලාපොරොත්තු වූ ඉලක්කවලට ළඟා වීමට නුපුළුවන් වූ බව විගණකාධිපතිවරයා පවසයි.
ඔහු පවසන පරිදි වෙලාඩි ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ 2014 ජූලි මස 14 වැනි දින සිට වර්ෂ දෙකක කාලයක් තුළදී කිරි ගවයන් 2500 දෙනකු ආනයනය කිරීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබේ. මෙහිදී එක් කිරි ගවයකු වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 3,032.87 බැගින් ගෙවිය යුතුවිය. 2015 ජූලි 13 හා ඔක්තෝම්බර් 12 යන දෙදින තුළ ඒ අනුව ගවයන් 2495 දෙනකු ආනයනය කර ඇත. ඒ වෙනුවෙන් 2016 ඔක්තෝම්බර් 11 දා රඳවා ගැනීමේ මුදල් ද ඇතුළුව ගෙවා ඇති මුළු මුදල ඩොලර් 7.576.101කි. මෙහිදී පෙනී ගොස් ඇත්තේ ගිවිසුම්ගත ප්‍රමාණයට වඩා ගවයන් 5ක් අඩුව සපයා තිබුණ ද ගිවිසුම්ගත මුදල වූ ඩොලර් 9098.59 ඉක්මවා ගෙවීම් කර තිබීමය.
මෙහිදී එක් කිරි ගවයකු වෙනුවෙන් රැපියල් 415,372 බැගින් වන ලෙස රුපියල් මිලියන 1,036.35 වැය කර ගෙන් වූ සතුන් රක්ෂණය කර නොතිබූ අතර ඒ නිසා මියගිය ගවයන් 133ගේ රැපියල් මිලියන 55.24ක අලාභය ආවරණය කර ගත නොහැකි විය. එසේම විගණකාධිපති සොයාගෙන ඇති තවත් අලාභයක් නම් මෙම කිරි ගවයන් ආනයනය කිරීමේදී ගැබ්ගෙන තිබිය යුතු බවට ගිවිසුමේ සඳහන් වුවද ගවයන් 79 දෙනකු ගැබ් ගෙන නොසිටි බවයි. එසේම මුල් පැටියා බිහිවීමෙන් පසු කිරි ලබාදීම අසාර්ථක වූ හා දෙවැනි වරට කෘත්‍රිම සිංචනය කිරීමෙන් ප්‍රතිඵල නොලැබූ 260 දෙනකු ද 2016 මැයි මස 30 වැනි දින වනවිට ගැබ් ගෙන නොතිබුණු බව විගණනයේදී අනාවරණය කරගෙන ඇත. ඒ අනුව ගවයන් 472 වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 196.06 වියදම නිස්කාරණයේ සිදු කර ඇති අතර අපේක්ෂිත අරමුණ ළඟා කර ගැනීමට නොහැකි වී තිබෙන බව පවසයි.
තවද කිරි ගවයන් හම්බන්තොට සිට රිදියගම ගොවිපළ දක්වා ප්‍රවාහනයේදී සිදුව ඇති මුදල් නාස්තිය ද විගණකාධිපති පෙන්වා දී ඇත. ගවයන් 2500ක් කිලෝ මීටර් 38 දුරට රුගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් 260555ක් ඇස්තමේන්තු කර තිබුණ ද ඒ සඳහා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාහනවලින් අය කරන ගාස්තු ක්‍රමය අනුව මෙම කිලෝ මීටර් 38 ප්‍රවාහනය සඳහා වියදම රැපියල් 570,000 විය. මෙහිදී හිතාමතාම අසාමාන්‍ය ලෙස ඇස්තමේන්තුවක් සකසා ඒ අනුව සතුන් 2495ක් ගෙන යාමට ඩොලර් 260,347.11ක් හෙවත් රුපියල් මිලියන 35.87ක් ගෙවා තිබූ බව විගණකාධිපති කියයි. සතුන් 2495ක් මණ්ඩලය මගින් ප්‍රවාහනය කිරීමට වැය වන මුදල රුපියල් 568,860ක් වුවද ඒ සඳහා රුපියල් 35,299,208ක් ඉක්මවා අධික වියදමක් කර ඇති බව ඔහු පෙන්වා දී ඇත.
තවද ගවයන් ආනයනය කිරීමේ දෙවැනි අදියර යටතේ 2013-07-11 දින අමාත්‍ය මණ්ඩල යෝජනාවක් සම්මත කරගෙන ඇත. මුදල් ඇමැතිගේ නිරීක්ෂණ අනුව ඒක පුද්ගල කිරි පාරිභෝජනය වැඩි කිරීම සඳහා 2012 වසරේදී පළමු අදියර අනුව ආනයනය කළ ගවයන් 2000 සාර්ථක ලෙස දේශීය පර්සරයට අනුගත වී ඇති බව වාර්තා කර තිබුණි. එම වාර්තාව අනුව දෙවැනි අදියර සඳහා තවත් 2500ක් ආනයනයට නිර්දේශ කර ඇත.
එසේ වුවද ව්‍යාපෘතියේ මුල් අදියරේදී 2009 – 03 – 24 දිනැති ශක්‍යතා වාර්තාව අනුව ආනයනික ගවයකුගෙන් දිනකට අපේක්ෂිත කිරි ප්‍රමාණය ලීටර් 20ක් විය. එහෙත් එම බලාපොරොත්තු වූ කිරි ප්‍රමාණය ලබාගෙන නොතිබුණ ද ඒ ගැන නොසලකා දෙවැනි වරට ද 2500ක් ගෙන්වීමට අනුමැතිය දී ඇති බව විගණකාධිපති පෙන්වා දේ.
ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති 2016 විගණන වාර්තාව අනුව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් දියත් කරනු ලැබූ විවිධ ව්‍යාපෘතිවලින් විශාල වශයෙන් අලාභ ලැබී ඇති අතර දැන දැනත් ඒවා වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බව පැවසේ.
ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමත්‍යංශයේ පශු සම්පත් සංවර්ධන අංශය මගින් කිරි පිටි ආනයන අඩු කිරීම සහ ස්වදේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් 2010 වසරේ සිට 2016 දක්වා වසර 7ක කාලය තුළ රුපියල් මිලියන 5557. 38ක් වැය කර තිබුණු අතර එම වියදම් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වියදම් හැර කරන ලද ඒවාය.
2010 වසරට සාපේක්ෂව 2016 වසරේදී කිරි නිෂ්පාදන ලීටර් මිලියන 136.5කින් වැඩි කර තිබේ. ඒ අනුව ලීටරයක කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා රුපියල් 40.72 වැයකර තිබූ බව වාර්තාවෙන් පෙන්වා දී ඇත. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව රටේ වාර්ෂික කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය අනුව කිරි ආශ්‍රිත නිෂ්පාදනවල පරිභෝජනය 2010 වසරේදී පිළිවෙළින් මෙට්‍රික් ටොන් 22.29 හා ටොන් 72.53ක් වී ඇත. ඒ අනුව විගණන වාර්තාව පෙන්වා දෙන්නේ 2010 වසරේදී රට තුළ නිෂ්පාදනය කර ඇත්තේ රටේ සමස්ත කිරි අවශ්‍යතාවයෙන් සියයට 23.5 ක් පමණක් බවය. 2014දී එය සියයට 26.67 දක්වා ඉහළ නැග තිබේ. එසේ වුවද 2016 වසරේදී කිරි පිටි මෙට්‍රික් ටොන් 94.01ක් ආනයනය කර තිබූ නිසා සැලසුම් කළ පරිදි කිරි පිටි ආනයනය අඩු වී නොතිබුණු බව වාර්තාවෙන් ප්‍රකාශ වේ. මෙයින් පෙන්වා දී ඇත්තේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ලීටරයකට රුපියල් 40.72 බැගින් වැය කිරීමට සාපේක්ෂව ප්‍රතිඵලයක් ලැබි නැති බවය.
එසේම දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෙළෙඳ සල්වලින් අපේක්ෂාව ඉටු නොවී ඇති අතර ඒවා අතරමග වැසී යාම පිළිබඳව ද විගණකාධිපති කරුණු දක්වා තිබේ.
2004 වර්ෂයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණු අතර ඒ සඳහා වෙළෙඳසල් 1250ක් පිහිටුවීමට සැලසුම් කර තිබී ඇත. එහෙත් අවුරැදු 9ක් ගතවීත් 2013 දෙසැම්බර් මස 31 වනදා වනවිට ආරම්භ කර තිබුණේ වෙළෙඳසල් 685ක් පමණකි. එයින් ද වෙළෙඳසල් 283ක් පටන්ගෙන ඇත්තේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගිනි. ශක්‍යතා අධ්‍යයනයකින් තොරව එම වෙළෙඳසල් ආරම්භ කර තිබීම නිසා පටන්ගෙන අවුරුදු 3ක් වූ 2016 දෙසැම්බර් 31 දා වනවිට ක්‍රියාත්මකව තිබී ඇත්තේ සියයට 15ක් හෙවත් 43ක් පමණකි. පළාත් මට්ටමින් අමාත්‍යංශය ආරම්භ කළ වෙළෙඳසල් 402න් වර්තමානයේ ක්‍රියාත්චමක වන්නේ 112ක් පමණකි. එය මුළු ප්‍රමාණයෙන් සියයට 28කි. මෙලෙස වෙළෙඳසල් අතරමග වැසී යාම වළක්වා ගැනීමට අමාත්‍යංශය කටයුතු කර නොමැත.
ග්‍රාමීය කටයුතු අමාත්‍යංශ ශීතාගාර ඇති කිරීමේ වැඩසටහන සඳහා 2016 වසරේදී රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර තිබූ නමුත් 2017 ජූනි 26 දා වනවිටත් එය ඉදිකිරීම් අරඹා නොමැති බව විගණන වාර්තාවේ දැක්වේ. මෙම වැඩසටහන 2016 ජනවාරි සිට දෙසැම්බර් කාලය දක්වා වර්ෂයක කාලයක් තුළ නිමා කිරීමට අපේක්ෂා කර තිබූ එකකි. ග්‍රාමීය වෙළෙඳපොළ මිල ස්ථායිකරණය කිරීම, පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජය පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව ශීතාගාර 5ක් ඉදි කිරීමට අපේක්ෂිතව තිබුණි.
ශීතාගාර සම්බන්ධව අධ්‍යයනය කිරීමට 2016 මාර්තු 2 සිට 10 දිනය දක්වා තායිලන්තයට හා ඊශ්‍රාලයට නිලධාරීන් පස් දෙනකු යවා තිබුණත්, එයට සහභාගී වී තිබුණේ අමාත්‍යවරයා සමඟ කමිටුවේ සභාපති පමණි. ඒ හැර ශක්‍යතා අධ්‍යයන කමිටුවෙන් නිලධාරීන් තිදෙනකු ද සහභාගී වී තිබුණු නමුත් ඒ කිසිවකු කළ වියදම් පිළිබඳ කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් කර නොතිබූ බවද සඳහන්ය.
ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයට පත් කළ කමිටුව අවස්ථා දෙකකදී රැස් වී ඇති නමුත් අමාත්‍යංශය පස්වරක් ලිඛිතව ඉල්ලීම් කිරීමෙන් පසු 2016 අගෝස්තු 10 දා කමිටුවේ සභාපති පමණක් අත්සන් කළ සෙසු කමිටු සාමාජිකයන් 10 දෙනා අත්සන් නොකළ යෝජනා 6ක් පමණක් ඇති වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර එය අසම්පූර්ණ වාර්තාවක් බවද විගණකාධිපති කියයි. මේ නිසා වැය කළ විශාල මුදලට සරිලන ප්‍රතිලාභයක් ලැබී නොමැති බව පෙන්වා දේ.
යසවර්ධන රුද්‍රිගු