2018 මැයි 26 වන සෙනසුරාදා

රජත පුස්තක සම්මානයට පෙළ ගැසෙන කෘති

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 550

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මානය කෙටි කලකින්ම රටේ සාහිත්‍ය සම්මාන අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගත්තේය. කවි, කෙටිකතා වැනි නිර්මාණ ක්ෂේත්‍ර සඳහා ද එම සම්මානය පිරිනමන ලෙස සාහිත්‍ය ප්‍රජාව තුළින් ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි. වර්ෂ 2017 දී. කවි සහ කෙටිකතා සඳහා ප්‍රථම වරට රජත පුස්තක සම්මාන පිරිනැමීම ආරම්භ විය.

ගියවර හොඳම කාව්‍ය කෘතිය ලෙස ලක්ශාන්ත අතුකෝරාලගේ “සමහර කමටහන්” ද හොඳම කෙටිකතා එකතුව ලෙස මංජුල වෙඩිවර්ධනගේ “දුස්ටකමේ සෞන්දර්යය සහ රත්මලානේ තවත් කතා” ද සම්මානයට ලක්විය.

මෙවර රජත පුස්තක සම්මානයට යොවුන් නවකතා කෘති ද එක්වී තිබීම සතුටට කරුණකි. එහි ප්‍රශස්ත කෘති ප්‍රකාශයට පත්කිරීම පසුගියදා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ බත්තරමුල්ලේ පිහිටි මූලස්ථාන ගොඩනැගිල්ලේ දී සිදුකෙරුණි. ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උළෙලේදී විද්වත් සමීක්ෂණ මණ්ඩල මගින් ඒ ඒ අංශවලින් තෝරාගත් ප්‍රශස්ත කෘති හතර බැගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම කෘති අවසන් කෘතිය තෝරා ගැනීමට උත්තරීතර මණ්ඩල වෙත පිරිනැමීම ද සිදුවිය. රජත පුස්තක සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී ජුනි 15 දා සවස පැවැත්වීමට නියමිතය. එහිදී ප්‍රශස්ත කෘති සඳහා රු. 50000 බැගින් ත්‍යාග සහ සහතිකපත් හිමිවන අතර ජයග්‍රාහී ත්‍රිත්වය සඳහා රු. 250000ක් සහ සම්මාන පිරිනැමේ.

2018 රජත පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරුණු කෘති මෙසේය.

කෙටි කතා

අළු පැහැති ආරංචි - ලියනගේ අමරකීර්ති - (සුරස ප්‍රකාශන)

ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගී සෙනෙවිරත්න - (ගොඩගේ ප්‍රකාශන)

මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි - (සූරිය ප්‍රකාශන)

සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර - (අහස මීඩියා)

කාව්‍ය කෘති

ගිරි මුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන - (විදර්ශන ප්‍රකාශන)

තවමත් මල් - ආරියවංශ රණවීර - (අහස මීඩියා)

වස්සානයෙන් පසු - රත්න ශ්‍රී විජේසිංහ - (සන්ථව ප්‍රකාශන)

කවුලු ඇස පාමුල - ළහිරු කිතලගම - (සන්ථව ප්‍රකාශන)

යොවුන් කතා කෘති

බහිරවගලේ නිධානය - චතුරි දමයන්ති - (ගොඩගේ ප්‍රකාශකයෝ)

කොළ කල්ලිය - බුවනෙක වන්නිආරච්චි - (සංදේශ ප්‍රකාශකයෝ) 

රත්තරං පුතෙක් - සුමනසිරි පන්නිලහෙට්ටි - (ගොඩගේ ප්‍රකාශකයෝ)

හිඹුටුදෙනිය කඳුපාමුලින් - පියසිරි මාතරගේ - (ගොඩගේ ප්‍රකාශකයෝ)