- වෛද්‍ය නන්දන කොල්ලුරේ
කෙටිකතා පොත් ඇතුළු සාහිත්‍ය කෘති රැසක් ලියූ වෛද්‍ය නන්දන කොල්ලුරේගේ අලුත්ම නවකතාව නිල් සකුරාය. වෛද්‍ය වෘත්තිකයෙක් මෙන්ම සාහිත්‍ය හා ගීත රසවතෙක්ද වන ඔහු කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්තශල්‍ය වෛද්‍යවරයා වේ. නන්දන කොල්ලුරේගේ මෙම කෘතිය අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් මෙන්ම ගැඹුරු සමාජ සංස්කෘතික අර්ථ සපයන ලේඛනයක් ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර සඳහන් කරයි. කෘතියේ දොරට වැඩීමේ උත්සවය මැයි 29 අඟහරුවාදා සවස 3.00ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. නිල් සකුරා මරදාන දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි.
නිල් සකුරා නවකතාව ලිවීමට පදනම් වූ හේතු සාධක ගැන කිව්වොත්?
මම කෙටිකතා පොත් කීපයක් ලියා තිබෙනවා. ඒවා කියවා අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා නවකතාවක් ලියන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒවගේම මම ශිෂ්‍යත්වයක් ලැබී කාලයක් ජපානයේ හිටියා. එම කාලයේ මා ජපානයේ ජනතාව හා පරිසරය ගැන අධ්‍යයනය කළා. ජපානයේ ග්‍රාමීය ප්‍රදේශ ගැන මම උනන්දුවෙන් සොයා බැලුවා.
ඔබ ඒ අත්දැකීම් මෙම කෘතියට ඇතුළත් කළාද?
ඔව්... විශේෂයෙන් ජපානයේ කොන්ක්‍රීට් වනාන්තරවලට වඩා ග්‍රාමීය කෘෂිකර්මික ප්‍රදේශවල සුන්දරත්වය මා මේ කෘතියට ඇතුළත් කළා. ජපානයේ අධික භෞතික සංවර්ධනයට හේතුව ලෙස මම දැක්කේ ඒ රටේ කෘෂිකාර්මික ආර්ථිකයයි. ඒ රටේ කෘෂිකර්මයට නවීන තාක්ෂණය සමඟ පැරැණි ක්‍රමත් එක්කරගෙන තිබෙනවා. ඒ වගේම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මුහුණ දුන් අත්දැකීම් ද මෙම කෘතියට එකතු කර තිබෙනවා.
මහාචාර්ය සරච්චද්‍ර ජපානය පසුබිම් කරගෙන ලියූ නවකතා අදටත් සම්භාවනාවට ලක්වෙනවා. ඔබට ඒ කෘතිවලින් යම් ආභාෂයක් ලැබුණද?
මම එදිරිවීර සරච්චද්‍ර මහාචාර්යතුමාගේ මළවුන්ගේ අවුරුදුදා සහ මළගිය ඇත්තෝ යන නවකතා දෙක ජපානයට යාමට කලින් ආසාවෙන් කියෙව්වා. ජපානයේ සිට මව්බිමට පැමිණ යළිත් ඒ පොත් කියෙව්වා. එවිට ඒවායෙන් ලබාගත හැකි රසය තවත් ඉහළ ගියා. ජපන් සංස්කෘතිය, ඔවුන්ගේ නිහතමානී බව අපේ රටට කාන්දු කිරීමට මහාචාර්ය සරච්චන්ද්‍ර එම කෘතිවලින් උත්සාහ කළ බව පේනවා.
ඔබ වෛද්‍ය වෘත්තිකයෙක්. දශක කිහිපයකට පෙර වෛද්‍යවරු, දිසාපතිවරු වගේ වෘත්තිකයන් විශිෂ්ට ලේඛකයන් බවට පත්ව සිටියා. අද ඒ තත්ත්වය අඩුයි නේද?
ඒක ඇත්ත. ඒක එක්තරා විදිහකට ඛේදවාචකයක්. මේ සමාජයේ තරගකාරීත්වය නිසා ඒ පසුබිම ඇතිවුණා වීමටත් පුළුවන්. අපේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් බිහිවන වෛද්‍යවරු අතර තිබෙනවා අනෙක් අයත් එක්ක එකතු වී වැඩකිරීමේ හැකියාවක්. ඒක විශ්වවිද්‍යාල ජීවිතයෙන් තමයි පටන් ගන්නේ. පේරාදෙණිය ඒක හොඳට පේන තැනක්. එහේ කලා, ඉංජිනේරු කෘෂිකර්ම සෑම පීඨයකම එකමුතුකමක් බැඳියාවක් තිබෙනවා. ලිවීමේ හැකියාව තිබෙන කෙනෙකුට ඒ හැකියාව වර්ධනය කරගැනීමට ඉඩ ලැබෙනවා.
මේ කෘතිය ලියන අතර ඔබ සිතින් විශ්වවිද්‍යාල සමයට ගිය බව පේනවා. අද විශ්වවිද්‍යාල පරිසරයේ කියවීම සහ ශාස්ත්‍ර ගවේෂණය අඩු බවට මැසිවිලි නැගෙනවා?
විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් මේ සමාජයේ තිබෙන තරගකාරී බවේ හිරවෙලා. ඔවුන්ට ඉන් මිදීමට අපහසු බව පේනවා. සාහිත්‍යය කන්නද කියලා අදහස් ඉදිරිපත් කරපු නායකයෝත් අපට හිටියනේ. ඉතින් සමහර ශිෂ්‍යයෝ තුළ ඒ අදහසත් තිබෙනවා. පන්ති සාමාර්ථයක් අරන් උපාධිය පාස්වෙලා රැකියාවකට යාමට තමයි වැඩිදෙනෙකුට අවශ්‍ය.
ඔබ දකින්නේ සමාජයේ වැරැද්ද නිසා ඔවුන් සාහිත්‍යයෙන් ඈත් වී ඇති බවද?
අද සමාජය ලෝකය අල්ලන්න හදන එකක්නේ. ලෝකයෙන් කෑල්ලක් කඩාගන්නයි ඔවුන්ට අවශ්‍ය. එක තැනක නැවතී තමන් ඉන්නේ කොතනද කියලා මෙනෙහි කිරීමට ඒ සමාජයේ විවේකයක් නැහැ. ඒ වගේ අයට සාහිත්‍යය කියන දේ රසයක් නැති වෙන්න පුළුවන්.
අධිවේගී සමාජයට ඉදිරිපත් කරන ඔබේ නවකතාවේ හැසිරෙන්නේ අවංකවම ප්‍රේමයට කැපවුණු සෙමින් ගලා යන චරිත. එවැනි චරිත නිරූපණයට ඔබ යොමු වූයේ ඇයි?
ඇත්තටම මට අවශ්‍ය මිනිසුන් මෙතරම් අධිවේගී ලෝකයක ජීවත් වීම නොවේ. අපි පාසල් කාලේ ජීවිතේ විඳින්නද? විඳවන්නද? වගේ මාතෘකාවලින් විවාද කළා මතකයි. නමුත් අද මට දැනෙන්නේ ජීවිතය ලැබී තිබෙන්නේ විඳවපු දේ ගැන කල්පනා කිරීමට බවයි. අනාගතේ වියහැකි දේවල් ගැන අවබෝධ කර ගැනීමටයි. අපට තවත් එක් අයෙකුට හෝ ඒ යථාර්ථය තේරුම් කරවා දිය හැකිනම් එය වටිනවා. එය අධිවේගයෙන් යන ගමන් කළහැකි නොවේ. මුලින්ම අපි නැවතිය යුතු වෙනවා.
සමහර ලේඛකයෝ සම්මාන පසුපස දුවන බව පේනවා. දැන් සාහිත්‍ය සම්මාන කාලෙ ළං වෙනවා. සාහිත්‍ය සම්මාන නොලැබුණාම සමහරු කෝපයෙන් දොස් පවසන බව පේනවා?
තමන්ට ලැබෙන දේ පිළිබඳව තමන් අවබෝධයෙන් සිටිය යුතුයි. හේතුඵල වාදයට අනුව තමයි සෑම දෙයක්ම සිදුවන්නේ. විශිෂ්ට කෘතියක් ලිව්වොත් සම්මාන ලැබේවි. ඒක හේතු ගැලපිලා සිදුවන දෙයක්.
අද සරල ප්‍රේම නවකතා රැල්ලක් පවතිනවා. එම නවකතාවලට ලොකු පාඨක පිරිසක් සිටින බවත් පේනවා නේද?
සමාජයේ අධිවේගී ගමනක දුවන මිනිසුන් තම විවේකය ගැඹුරු දේවල්වලට වඩා සරල පෙම් කතාවක් කියවීමට යොමු කිරීමට කැමති වෙන්න පුළුවන්. විහිලු කතා, රියැලිටි ෂෝ වගේ දේවල් ජනප්‍රිය වන්නෙත් ඒ හින්දයි.
අද ජනතාව කියවනවා අඩුයි කියන එක පොදු මතයක්?
ඔව්... කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී වුණත් විශාල පිරිසක් පොත් මිලදී ගන්න බව පේනවා. හැබැයි හුඟ දෙනෙක් පොත් ගන්න තරමට කියවනවාද කියලා නම් හිතෙනවා. හොඳ සාහිත්‍ය කෘති පරිශීලනය කරන සමාජයක ජනතාවගේ සිතුම් පැතුම් වැඩි දියුණු වෙනවා.
► කුසුම්සිරි