2018 මැයි 26 වන සෙනසුරාදා

දැව පුළුස්සා චිත්‍ර මවන ශ්‍රීකාන්ත්

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

කලාකරුවෙකු යැයි කී සැණින් අපේ මතකයට ඇදී එන්නේ සිත්තරෙකි, නැතිනම් ගායකයෙකි, නළුවෙකි, ‍නිළියකි. ඇතැම් විට කවියෙකි, නවකථාකරුවෙකි, වාදකයෙකි. එහෙත් කලාව කොතරම් පෘථුල වන්නේ ද ඒ තරමටම කලාකරුවා යන වචනය ද පුළුල් විය යුත්තේය. මේ කවර හෝ කලාකරුවෙකුගේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය කෙනෙකුගේ ඇසට හසු නොවන අපූර්වත්වයක් යම් නිර්මාණයක් තුළින් එළියට ගෙන ඒමට ඔහු හෝ ඇය තුළ ඇති දස්කම ය. නිතර දෙවේලේ අහන්නට දකින්නට නොලැබෙන, එහෙත් සියුම් බව තුළින් විශිෂ්ට නිර්මාණ කරා ගිය සොඳුරු කලාකරුවෙකු සොයා අපි පන්නිපිටියට ඇදුණෙමු. ඒ දැව පිළිස්සුම් නිර්මාණ (Pyrography) ශිල්පියෙකු හමුවීමේ අදහසිනි.

“බලන්නකෝ ඔයාලා එන වෙලාවෙම මෙහෙට කරන්ට් එක නැති වුණානේ” ශ්‍රී කාන්ත් නම් අපගේ කථානායකයා පැවසුවේ තවමත් වැඩ අවසන් නොමැති නිවසට අප ගොඩවන අතරතුරේදීය. එදින උදෑසන පටන් කොළඹ බොහෝ ප්‍රදේශවලට විදුලිය ඇණහිට තිබුණි. අපේ බලාපොරොත්තු ද කඩවුණේ විදුලිය නැතිව මොහුගේ නිර්මාණ කාරිය හරිහැටි දැකබලා ගැනීමට නොහැකි වනු ඇතැයි සිහිපත් වීමෙනි. 

පන්නිපිටියේ රුක්මලේ පාරේ පදිංචිව සිටින ශ්‍රී කාන්ත් සොයා යාමට අප පෙළඹුණේ මීට වසර කිහිපයකට උඩ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල ග්‍රීන් පාත්හි පැවැති කලා පොළකදී හටගත් දැන හැඳුනුම්කමකි. එදින ඔහු හා කතාබස් කොට ඔහුගෙන් ඉල්ලාගත් තොරතුරු කාඩ්පත කලක් තිස්සේ තිබුණේ පොත් කන්දක් යට ය. 

“මම මේ කලාවට යොමුවුණේ අහම්බෙන්”

ශ්‍රී කාන්ත් කුඩා අවදියේ පටන්ම සිතුවම් ඇඳීමේ දක්ෂයෙකි. වරක් ප්‍රදර්ශනයකදී ඔහුගෙන් සිතුවම් මිලදීගත් වයසක මහත්මයෙක් ඔහුට අමුතු උපකරණයක් තෑගි කළේය. එය තමාගේ මියගිය බිරිඳට අයත් වූවක් බවත් එය ශ්‍රී කාන්ත්ගේ නිර්මාණ වැඩවලට උපකාරී විය හැකි බවත් ඔහු කීය. 

ප්‍රදර්ශනයේ සිහියෙන් සිටි ඔහු එය එතරම් බරපතලව ගත්තේ නැත. නැවත නිවසට පැමිණි පසු එම උපකරණය ස්ටෝරු කාමරයට දැමූ ඔහු, එය ඉඳහිට හෝ එළියට ගත්තේ ඊයම් කැබැල්ලක් පාස්සා ගැනීමේ වුවමනාවක් වූ විට පමණි. ඔහුට තිළිණ කර තිබුණේ බවුත් එකක් නොව Pyrography pen එකක් යැයි ඔහු දැන සිටියේ නැත. ශ්‍රී කාන්ත් හමුවනතුරු අප සිතා උන්නේ ද ඉලෙක්ට්‍රොනික් පරිපථ සෑදීමේදී උපකාරී කරගන්නා බවුත් එක නම් උපාංගය හරහා දැව පිළිස්සුම් කලාවේ යෙදෙනවා යන්න ය. 

“මේකට කියන්නේ Pyrography pen කියලයි. මට එදා තෑගි හම්බවුණු මේ පෑන පනස් ගණන්වල එංගලන්තෙ හදපු එකක්. ඒ කියන්නේ මුල්ම කාලෙට අයිති Pyrography pen එකක්. දැන්නම් මීට වඩා තාක්ෂණේ වැඩි දියුණු කරපු ඒවා ඇවිත් තියෙනවා. හැබැයි මට තාම මේකෙන් වැඩ කරගන්න පුළුවන්” 

Pyrography pen එකක් ගෙදර තිබුණ ද ඔහු Pyrography හෙවත් දැව පිළිස්සුම් කලාව ගැන දැනුවත්ව සිටියේ නැත. ඒ පිළිබඳව ඔහු දැනගන්නේ ද කොළඹ ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවේදී ය.

“මම දන්න දක්ෂ වඩු බාසුන්නැහේ කෙනෙක් ඉන්නවා. එයා ගොළුයි. ඉතින් මෙහෙම දැව නිර්මාණ ප්‍රදර්ශනයක් තියෙනවා කියලා මම කිව්වම එයාට ඕනෙ වුණා මාත් එක්කම ඒක බලන්න යන්න.”

ප්‍රදර්ශන භූමියේ තිබූ විවිධ දැව නිර්මාණ අතුරින් දෙදෙනාගේම සිත් පැහැර ගත්තේ එක්තරා කුටියක තිබූ අමුතු නිර්මාණ කිහිපයකි. සුදු පැහැ ලී පුවරු මත ෆොක්ස්වැගන්, මොරිස් මයිනර් වැනි ක්ලැසික් කාර් රැසක රූප ප්‍රතිනිර්මාණය කර තිබුණි. එය දුටු දෙදෙනාගේම ආසාව යොමුවුණේ මේ කලාව කුමක්දැයි දැනගැනීමටය. 

“එතැන හිටපු කෙනා කිව්වේ මේවා බවුත් එකෙන් කරනවා කියලයි. ඉතින් මායි බාසුන්නැහේයි ආපහු ගෙදර ආවේ කඩෙන් බවුත් එකකුත් අරගෙනමයි.” 

බවුත් එකෙන් දැව පිළිස්සුම් නිර්මාණ කරන්නට ගත් වෑයම සාර්ථක වුණේ නැත. ලීය දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වෙනවා වෙනුවට සිදුවුණේ තැනින් තැන වළවල් හෑරීම පමණි. බවුත් එකෙන් මේ කෙරුවාව කළ නොහැකි බව දෙදෙනාටම වැටහුණි. තමා මෙතෙක් කල් ඊයම් පාස්සන්නට භාවිත කළ අරැම පුදුම බවුත් එක ගැන ශ්‍රී කාන්ත්ගේ මතකයට ආවේ මේ මොහොතේදී ය. ස්ටෝරු කාමරයේ මුල්ලක තිබී සොයාගත් අරැම පුදුම බවුත් එක ලීය මත ලස්සනට ලිස්සා යමින් රටා මවන්නට පටන් ගත්තේය. අද තරමටම දෑතේ හුරුවක් එදා නොතිබුණ ද ඉන් ලස්සන රුපයක් මතු කරගන්නට ඔහුට හැකිවිය. 

මේ කතාබහ අතරතුරදී මෙතෙක් ඇණහිට තිබූ විදුලිය නැවත පැමිණි බව හඟවමින් අසල සිටුවා තිබූ විදුලි පංකාවක් දෙපසට ඇඹරෙමින් කැරකෙන්නට විය. 

“ආ අන්න කරන්ට් ආවා. ඔය ගොල්ලොන්ගෙ වෙලාව හොඳයි.” තම වැඩකරන මේසය මතට ගිය ඔහු අඩක් නිමකර තිබූ රූපයක් යළි නිර්මාණය කරන්නට පටන් ගත්තේය. 

දැව පිළිස්සුම් කලාවේ නිර්මාණශීලීත්වය රැඳෙන්නේ දෑතේ හුරුව සමඟිනි. දකුණතින් පිළිස්සුම් පෑන අල්ලාගන්නා ඔහු වමතින් පිළිස්සුම් පෑනේ උෂ්ණත්වය පාලනය කරයි. උෂ්ණත්වය වැඩි විට ඉක්මනින් කළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නා ලීය, උණුසුම අඩු විටදී අලංකාර රන්වන් දුඹුරු පැහැයක් ගනී. මේ කලාව සඳහා බහුලවම යොදාගන්නේ කටු ඉඹුල් හෝ අලිගැටපේර ලීය යි. එහි ඇති සුදෝ සුදු පැහැය රූ රටා සඳහා හොඳ පසුබිම් පැහැයක් එක් කරන අතරම නිර්මාණයේ සුන්දරත්වය ද ඉස්මතු කරවයි. 

“අපේ රටේ පන්සල් ආශ්‍රිතව කොයිතරම් කලා නිර්මාණ තියෙනවද? කොච්චර රූප රටා තියෙනවද? ලියවැල් වගේ ඒවා ඕනම නිර්මාණයකට යොදාගන්න පුළුවන්නෙ.” ඒ, නිර්මාණ කරන්නට ආභාසය ලබන්නේ කෙසේදැයි නැඟූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි. 

තම ලැප්ටොප් පරිගණකය විවෘත කළ ඔහු අවුරුදු කිහිපයක් තිස්සේ තමන් කළ විවිධ නිර්මාණවල ඡායාරූප අපට පෙන්වීය. රටම දන්නා ප්‍රකට චරිත කිහිපයකගේම රුව රැගත් දැව පිළිස්සුම් නිර්මාණ ඒ අතර විය. කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මොහොතේ ජනාධිපතිවරයා ඔහු වෙත තිළිණ කළ සංගාගේ රුව නිර්මාණය කර තිබුණේ ද ශ්‍රී කාන්ත් ය. 

“මම කාලයක් මේක විතරමයි කළේ. ආදායම හොඳයි. හැබැයි සමහරු පොලු තියනවා. පංගුවක් ඒවයෙ සල්ලි එකපාර ලැබෙන්නෙ නෑ. ඉතින් එහෙම වුණාම ටිකක් අමාරුයි. නැත්නම් වරදක් නැහැ.” 

දැව පිළිස්සුම් කලාව උපන්නේ යුරෝපයේදී බව සාමාන්‍ය පිළිගත් මතයයි. ශීත කාලයට ගිනි උදුනේ ගිනි අඟුරු ඈත් මෑත් කිරීමට ගත් රත්වූ යකඩ කූ‍රෙන් දැවමුවා පොළොව මත ඉරි ඇඳීමට ආදි සුද්දෝ හුරුව උන්හ. එය ක්‍රම ක්‍රමයෙන් රූප ඇඳීම දක්වා විකාශනය වූ අතර අවසානයේදී විධිමත් කලාවක් දක්වාම වැඩි වර්ධනය විය. 

“පිටරටවල්වල මේ කලාවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. ඔය බොක්ස් ගිටාර්, වයලීන් වගේ ඒවාටත් මේ විදිහේ රූප හදනවා. හැබැයි අපේ රටේදි ගොඩක් වෙලාවට කෙනෙක්ගෙ උපන්දිනේට රූපයක් හදලා දෙන්න වගේ තමයි මේක කලාව යොදාගන්නෙ” 

සාමාන්‍ය පුද්ගල රූපවලට අමතරව තවත් නිර්මාණ රැසක්ම ශ්‍රී කාන්ත්ගේ නිර්මාණ එකතුවේ දකින්නට ලැබුණි. රාශි චක්‍රය නිරූපිත දැවැන්ත ඔරලෝසුව ඒ අතරින් විශේෂ විය. එය නිම කිරීමට ඔහුට මාස දෙකක පමණ කාලයක් වැය වී තිබුණි.
“පුළුවන් කාලයක් මේ වැඩේ කරගෙන යන්න තමයි අදහස. මේ නිර්මාණ කරද්දි පුදුම තෘප්තියක්නෙ තියෙන්නෙ.” 

ඔහුගේ පින්තූර එකතුවේ තිබුණු නිර්මාණත්, ගෙදර තැනින් තැන තිබූ සුන්දර නිර්මාණත් දැක විශ්මයට පත් අපට ඔහු තුළ නැඟෙන තෘප්තිය, සතුට ගැන කිසිදු සැකයක් තිබුණේ නැත. ඒ විශ්වාසයත් සමඟ ඔහුගේ නිවසින් පිටත් වන මොහොතේ අපට ලැබුණු තෘප්තිය වූයේ හොඳ ලිපියකට කරුණු එකතු වූවා යැයි උපන් හැඟීමයි. 

► රජිත ජාගොඩ ආරච්චි