2018 මැයි 26 වන සෙනසුරාදා

පෙරැළි ඇතිකරන යක්ෂ බලවේගයක්

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

දෙදහස් දහඅටේ ජුනි මස 15 වෙනිදා දවල් 11.37ට රවි ග්‍රහයා මිථුන රාශියට පැමිණේ. 1999.12.31 වෙනිදා ශතවර්ෂය ආරම්භ වූ දිනයේ ධනුවේ සිට රවි - බුධ දෙදෙනාට මෙම ගෝචර රවී සප්තම වෙයි. භයානකත්වය වන්නේ එකී මිථුනයේ චන්ද්‍රයා සිටීම නිසා සූනියම් යක්ෂ බලවේගය ක්‍රියාත්මක වීමය.

ගුරු ග්‍රහයා විෂ්ණු දෙවියන් නිවේදනය කරයි. එම ගුරු ග්‍රහයා ශතවර්ෂාරම්භ ගුරු සමඟ සප්තම වෙද්දී යුරේනස්ගේ ග්‍රහණයට ගොදුරු වී ඇත. විෂ්ණු දෙවියන්ගේ භාර්යා රත්නය වන ලක්ෂ්මී දෙවඟන නිවේදනය කරන්නාවූ සිකුරු ග්‍රහයා සූර්ය මාසාරම්භයේදී කුජ හිමි වෘශ්චිකයේ ලැඟුම් ගෙන සිටියදී ගෝචර සිකුරු කටකයේ සිටීම මත රාහුගේ පූර්ණ දූෂණයට ලක්වෙයි.

මේ නිසා කීර්තිධර කලාකරුවෙකුට මාරක අපලයක් උදාවෙනවා ඇත. පාර්ලිමේන්තුව හෙල්ලුම් කන්නේය. මන්ත්‍රීවරු නොසන්සුන් වෙති. කිසියම් අමාත්‍යාංශයක් ප්‍රබල පිඩාවකට පත්වේ. මෙකී අවදානම් අගෝස්තු 15 වෙනිදා දක්වාම බලපවත් වන්නේය. 

උග්‍ර විෂ උණ වෛරසයක් දිවයින පුරා විහිදී යනු ඇත. බටහිර ඖෂධවලින් ක්ෂණික ප්‍රතිකාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවූවත් වහාම ක්‍රියාත්මක වන දේශීය වෛද්‍යවරුන් නිසා රෝගී ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගනු ඇත.

දියඹේ යන ජල යාත්‍රා විපත්වලට ගොදුරු විමේ අවදානම අධිකය. ජල යාත්‍රා භාවිත කරන සියලු දෙනාම අතිශය ලෙස පරිස්සම් විය යුතුය. ධීවර කර්මාන්තයේ යෙදෙන අය මෙන්ම මසට සතුන් නඩත්තු කරන සත්ව ගොවිපල් හිමියන් ද දරුණු ගණයේ පීඩාවලට ගොදුරු වනු ඇත.

ලොඹු දැහැගන්වන භයානක අපරාධ වාර්තා වනු ඇත. සියලු කාන්තාවන් රැකගැනීමේ ක්‍රියා මාර්ග සෑම වැඩිහිටියෙකු විසින් දැන් තියාම ගත යුතුව පවතී.

දෙවිවරුන් වෙනුවෙන් විෂ්ණු, කතරගම හා සූනියම් යන අයට දේව පූජා තබා සමාව ඉල්ලීමෙන් එල්ල වියහැකි ස්වාභාවික විපත්ති අවම කර ගැනීමට හැකිවේ.

කෙසේ වෙතත් දඬුවම් විඳින අය දෙස බලා කරන ලද අකුසලයෙන් ගැලවෙන්නට කිසි තැනක් නොමැතිය යන සත්‍යය අවබෝධ කරගෙන දැහැමි වීමට සෙස්සන් වගබලා ගැනීමවත් ප්‍රඥාගෝචරය.