හැට හැත්තෑ ගණන්වල සංචාරකයන් විසින් ගන්නා ලද කොළඹ ආසන්නයේ සිල්ලර කඩයක හෝ හෝටලයක ඡායාරූප ඉඳහිට අන්තර්ජාලයේ පළවෙනු දක්නට ලැබේ. ඒ සමහර ඒවා අප හොඳින් දැක පුරුදු කඩ හෝ හෝටල් බැවින් අපට ඒ ඡායාරූප දකින විට අපේ ළමා හා යොවුන් කාලයත්, ඒවායින් කෑ කඩ කෑමත් සිහි වේ. ගෙදර පිසින්නේ නැතිව කඩයකින් හෝ හෝටලයකින් හෝ වෙළෙන්දකුගෙන් මිලදීගෙන කෑ ඕනෑම දෙයක් අපේ මාපියන් හැඳින්වූයේ කඩචෝරු ලෙසයි.
ඒ කාලයේ සාමාන්‍යයෙන් සිල්ලර කඩයක ඉදිරියෙන්ම තිබුණේ ලොසින්ජර වර්ග, ටොපි, කිරි ටොපි, පොල් ටොපි, පොඩි ඥානකතා, සීනි මුරුක්කු, බුල්ටෝ, කුඩා තල බෝල, කජු කෑලි ආදිය අඩංගු අඩියක් පමණ උස බෝතල් පේලියකි. ළමුන්ගේ ටීක් බෝල සෙල්ලම පැතිර යන කාලයක නම් ටීක් බෝල (වීදුරු බෝල හෙවත් මාබල්) බෝතලය ද තිබුණේ මෙම කැවිලි බෝතල් අතරය. ඊළඟ පේළියේ සාමාන්‍යයෙන් තිබුණේ ලොකු ඥානකතා, සව් බොරවා, ඇඟිලි විස්කෝතු, පොඩි වඩේ, පාට කළ කුඩා පොරි බෝල ආදියයි.
මෙම බෝතල් පේළි පසු පස ඇසිඩ් බූලි තරම් විශාල බෝතල් කිහිපයක් තිබිණි. ඒවායේ දමා තිබුණේ පාන් විස්කෝතු, විස්කිරිඤ්ඤා, රට ඉඳි වැනි දෑය. පාන් විස්කෝතු වර්ග දෙකකි. උත්තල හැඩයක් ගත් එක් වර්ගයක් ද පැතළි හැඩය ගත් තවත් වර්ගයක් ද තිබුණේය.
හැට ගණන්වල ලොසින්ජරයක සාමාන්‍ය මිල සතයකි. පසු පේළිවල තිබුණ ලොකු කැවිලිවල මිල සත පහක් පමණ විය. කැලැන්ඩර එල්ලන්නා සේ කඩේ බිත්තියේ මී බෙටි පැකට්, හූනු බෙටි පැකට්, කඩල පැකට් සහිත කාඩ් බෝඩ්ය.
සත විසි පහ ටිකක් ලොකු ගාණක් වුවද, මාපියන්ට අමතක වූ ශත දහය, පහ පොඩි එකෙකුගේ අතට අසුවන මානයේ නිතරම තිබිණි. පොඩි එකා ගෙදර කොත්තමල්ලි හෝ සූදුරු ටින් එකේ තිබී එවැනි ගණනක් අරගෙන කඩචෝරු කෑම සොරකමක් හෝ වරදක් ලෙස නොසැළකිණි. යමක් මිලදී ගෙන එන්නට කඩේ යැව්වේ ද ගෙදර පොඩි එකාවය. බඩු මිලදී ගෙන ඉතිරිවන මුදලින් කීයක හෝ කඩචෝරැ කෑමේ දඟකාර අයිතිය ගෙදර පොඩි එකාට ඉබේම හිමි වූයේය.
කඩවලින් වැඩිපුරම කඩචෝරැ කෑවේ එකල ළමා වියේ සිටි අප වග රහසක් නොවේ. අද දින දියවැඩියාවෙන් පෙළෙන ජනගහනයෙන් 17%ක් ළමුන් බව පුවත් මඟින් අසන්නට ලැබිණි. අප කෑ කඩචෝරැ අද තරම් ආරක්ෂිතව ඇසුරැම් කොට පාරිභෝගිකයා අතට ආ ඒවා නොවේ. දූවිලි බැඳුණු බෝතල්වල තිබී, නිතර මුදල් හා ධූලි අතපත ගෑ මුදලාලිලාගේ අතින් අප වෙත මුදලට දුන් ඒවාය. ඒවා කොතරම් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සෑදූ ඒවා දැයි දැනගන්නට නැත. ඇසුරුම්වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සඳහනක් තබා ඇසුරැමක් හෝ නැත. අපේ වයසේ ජීවත් වූ අධි නාගරික ළමෝ බොහෝ දෙනා එවැනි රස කැවිලි කෑවෝය. එහෙත් එකල පාසලේ අපේ වයසේ සිටි ළමුන් හට දියවැඩියාව වැළදුණු බවක් හෝ රටේ බොහෝ ළමුන් හට දියවැඩියාව වැළඳී තිබූ බවක් හෝ අසන්නට ලැබුණේ නැත. මොකද්දෝ හේතුවක් නිසා අපේ පරපුරේ ළමෝ ලෙඩ රෝග බහුල බවින් බේරුණෝය. අප ලෙඩ රෝගවලින් බේරැණේ අතොරක් නැතිව සෙල්ලම් කළ නිසාත් (නොයෙකුත් හේතූන් නිසා අද දින ළමයා ලබන) මානසික ආතතීන්ගෙනුත් නිදහස්ව සිටි නිසාත්, බොහෝ දුර පයින් ගිය නිසාත් විය යුතුය.
විවේක කාලයේදී හෝ පාසල ඇරෙන විට පාසල ළඟ නොයෙක් වර්ගයේ ආහාර වෙළෙන්දෝ උන්හ. අච්චාරැ විකුණන අම්මලා ඒවා ළමයින්ට දුන්නේ වල්බෙලි කොළ වැනි කොළවලින් සෑදූ ගොටුවලයි. එම පළතුරු අච්චාරුවල මිරිසට යෙදූ අන්නාසි, අඹ, වෙරළු රස යහමින් අපේ දිව පිනවූයේය.
මිතුරන් හා එක්වී සයිවර් කඩවලින් තෝසේ කන්නට අප පුරුදු වූයේ යන්තමින් එකොළොස් වැනි විය සපිරෙන විටයි. සයිව කඩ යන්න බොහෝ දෙනා නොදන්නා නිසා දයානන්ද ශූරීන්ට 1984 වන විට මධුර ජවනිකා නාට්‍ය පිටපතේ සයිව හෝටලය හඳුන්වා දෙන්නට වෙනම සටහනක් යොදන්නට සිදුවිය. 1984 මුද්‍රණයේ සයිව හෝටලය මෙසේ හඳුන්වා දී තිබේ.
5.9 සයිව හෝටලය - යාපනයේ ද්‍රවිඩ හින්දූන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආපන ශාලාවල නිර්මාංශ භෝජන ඉතා අඩු මිලට සපයනු ලැබේ. රඹ පත්වල ආහාර ගත යුතුය. තෝසේ, මසාල වඩේ ප්‍රධාන සූප වෙයි. රඹ පත් ඉවත දැමීම හා අත සෝදා ගැනීම භෝජකයා විසින්ම කර ගත යුතුයි.
එතුමාගේ නිර්වචනයෙන් දහසක් දේ කැටිකොට කියා තිබෙන නිසා මෙහිදී එය උපයෝගී කර ගතිමි.
අදත් ස්ථාන කිහිපයක සයිව හෝටල් ඉතිරි වී තිබුණ ද ඉස්සර ආකාරයට වෙනස්ය. ඒවායේ රඹ පත් (කෙසෙල් කොළ) වෙනුවට සුදු යකඩ පිඟන් තිබේ. හැට නමය හැත්තෑව කාලයේ තෝසේ එකක් අපි කෑවේ සත පහකටයි. අද හෝටල්වල තිබෙන අල තෝසේ, ලූනු තෝසේ, මසාල තෝසේ ඒ කාලයේ තිබුණේ නැත.
අසූ තුනේ ජාතිවාදී කෝලාහලවලින් පසු කොළඹ නගරයේ හා තදාසන්න නගරවල තිබුණු තෝසේ කඩ බොහෝමයක් අතුරැදන් විය. 1984 දී ජාතිවාදය පිටු දකින කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යයෝ මේ ගීය පද බැඳ ගායනා කළෝය.
ආනන්ද භවාන් එකට වැදී තෝසේ ගිලිනවා. එළියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා.
(තාලය - මහ බෝධි මුලේ)
ආනයන සීමා කිරීම නිසා 1972 පමණ පටන් කාලයක් යනතුරු සීනි හිඟවිය. සමූපකාරයෙන් දෙන සීනි සලාකයෙන් මසකට රතු සීනි සීමිත ප්‍රමාණයක් නිකුත් කරන්නට පටන් ගැනිණි. එසේ සීනි හිඟ වූ මුල් කාලයේදී ජනයා මුලින්ම අල්ලට සීනි ගෙන තේ බීවෝය. ඉන්පසු තේ බොන්නට හකුරු භාවිත කිරීම, කිතුල් හකුරු, පොල් හකුරු, උක් හකුරු දක්වා වැටී ඉන් අනතුරැව තේ බොන්නට ගත්තේ කඩචෝරු සමඟයි. රට ඉඳි, කිරි ටොපි, පොල් ටොපි හා ඇතැම් විට බුල්ටෝ සමඟ පවා 1974 කාලයේ මිනිස්සු තේ බීවෝය. වැඩිපුර පොඩි උන්ට සීමා වූ කඩචෝරැ වැඩිහිටියන්ට ද කන්නට සිදු වූයේ ඒ ආකාරයටයි.
ඉහත කී කාලයේ බුල්ටෝ භාවිතය ඉතා ජනප්‍රිය වූයේය. පාසල් භෝජනාගාරවල ද බුල්ටෝ විකිණිනි. ජනප්‍රිය බුල්ටෝ වර්ගයක වෙළෙඳ දැන්වීම් ද නිතර ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ඇසෙන්නට ගත්තේය.
මට.. මට.. මට.. (ගුණසිරි) බුල්ටෝනේ.. සැමුවෙල් රැද්‍රිගුගේ ළමා කටහඬෙන් එක් වෙළෙඳ දැන්වීම එසේ කියවිණි.
පාසල් ක්‍රිකට් තරග උපරිම ජනප්‍රියත්වයට පත් ඒ කාලයේ කොළඹ පාසල් ක්‍රීඩා පිටිවලත්, ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටිවලත්, ක්‍රීඩා ලෝලීන් සැවොම දන්නා බුල්ටෝ විකුණන එක අංකල් කෙනෙක් උන්නේය.
ඇලන් ටොපි.. ඇලන් ටොපි..
කළු පාට ට්‍රැවලින් බෑගයක් කිසිලි ගන්නාගෙන, ඇලන් ටොපි අංකල් ක්‍රීඩා ලෝලීන් අතරින් එසේ කියමින් ඇවිද ගියේය. ඇත්තෙන්ම ඔහු විකුණුවේ ටොපි වර්ගයක් නොව, රතු පාට කොළයක එතූ බුල්ටෝ වර්ගයකි. එය අනුභව කරන විට කටේ ඇලේ. එම නිසා කොල්ලන් එම ටොපිවලට කීවේ ඇලන් ටොපි කියා නොව ඇලෙන ටොපි කියාය.
ක්‍රිකට් තරග නරඹන අතරතුර පිට්ටනියේම ඉඳගෙන කන්නට ලැබුණු තවත් කෑමකි අන්නාසි.
පහට, දහයට අන්නාසි..
අන්නාසි වෙළෙන්දා අන්නාසි වික්කේ එසේ කියමිණි.
ඒ රුපියල් පහට දහයට නොවේ. පොඩි කෑලි සත පහකි. ලොකු කෑලි සත දහයකි. ඇතැම් දවසක උදේ 10 සිට හවස 6.00 දක්වා ඇතැම් විට තනි අන්නාසි කැබැල්ලෙන් දිවි ගෙවාගෙන තරග නැරඹූ අපි ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය ලබන්නට ප්‍රේක්ෂකයන් සේ ක්‍රිකට් ක්‍රීඩාවට උර දුන්නෙමු. එසේම ඒ කාලයේ ලොකුම ක්‍රිකට් තරගාවලිය වූ සරා කුසලාන තරග නැරඹීමට පිටියට යන අප දහවල් කෑමට ජාතික පොළ දක්වා ඇවිද ගොස් සත 25කට ගත් පාන් කාල සහ වට්ටක්කා හොද්දේ රස තවමත් අපට දැනෙන බවද සඳහන් කළ යුතුය.
නළාව හඬවමින් එන අයිස් ක්‍රීම් වෙළෙන්දා ඒවා රුගෙන ආවේ බයිසිකලයේ බැඳගත් ලොකු පෙට්ටියකයි. ඔහු රුගෙන එන පොප්සිකල්, බිස්කට් මතට දෙන අයිස් ක්‍රීම් ආදිය කෑම නුසුදුසු යැයි ළමුන් කොතෙක් අවවාද ලබා තිබුණත්, අයිස් ක්‍රීම් වෙළෙන්දා ගෙන ආ දෑ දියවෙන්නට පෙර අලෙවි වූයේය. පොප්සිකල් විකුණන වෑන් රථය ඉඳහිට රෑ බෝ වූ පසු අතුරු පාරවල වෙළෙඳාමේ යයි. රථය වටේ ලයිට් දමා එළිය කළ අයිස් ක්‍රීම් වෑන් එකේ ජෙනරේටරයේ හඬ ඇසෙන විට ළමෝ ගෙදරින් මුදල් ඉල්ලා ගෙනවිත් වෑන් රථය වටේ රොක් වවෝය.
සීනු හඬවමින් බොම්බයි මොටයි විකුණන වෙළෙන්දන් අද ද ඉඳහිට දක්නට සිටියත් නයිස් වෙළෙන්දා නම් අද දක්නට නැත්තේමය. අතක සීනුවක් හඬවමින් අනෙක් අතින් නයිස් පෙට්ටිය ඔසවාගෙන එන නයිස් වෙළෙන්දා කුඩා වුන්ගේ සිත් ඇද ගන්නා රංග වස්ත්‍රයකින් සැරසී ආවේය. නයිස් වෙළෙන්දාගේ කළු පාට සැට්ටය පුරා නෙක පාටින් ගෙත්තම් කළ පබළුය. ඔහුගේ නළල් පට ද දිලිසෙන පබළුවලින් සරසලාය. දෑතේ වළලුය. දෙපයේ ගිගිරිය. ඔහුගේ රංග වස්ත්‍රය ගම්මඩු ශාන්ති කර්මයේ තෙල්මේ නැට්ටුවාගේ ඇඳුමට තරමක් සමානය. පොඩි එවුන් පිරිවරාගෙන පාරේ යන නයිස් මාමා පාර අයිනේ ඉඩ ඇති තැනක නැවතී ගී ගයමින් තම රංගනය ඉදිරිපත් කළේය. ඔහු කුඩාවුනට නයිස් විකිණුවේ ඉන් අනතුරුවයි. නයිස්, ආප්ප වාටිවලටත් වඩා තුනීය. දිව පිනවන පැණි රසයක් ඒවායේ ඇත. නයිස් පතුර මුලින්ම දිව මත ඇලී අනතුරැව දිය වී යන්නේ සිහිනෙන් ගෑ සුවඳක් සේය.
බස් නැවතුම් පොළ කිහිපයක රස කැවිලි විකිණූ ආකාරය මෙහිදී මතකයට නැගෙන්නේ නිතැනිණි. ගාල්ල බලා යන බස් රථය අලුත්ගම බස් නැවතුම් පොළේ නැවතූ විට වෙළෙන්දන්ගේ හඬින් මුළු බස් රථයම පිරී යයි. එක එක රිද්මයට ඉඟුරු දෝසි, ඉස්සෝ වඩේ, පුහුල් දෝසි වෙළෙන්දන් මුර ගාද්දී, බස් රථය එළියේ වෑවර.. වෑවර.. වෑවර.. යන හඬ ඇසේ. දකුණේ වැසියන්ට කුරුම්බා.. කුරුම්බා.. කියනු වෙනුවට, වෑවර වෑවර කීවිට වැඩි ගෙඩි ගණනක් විකිණෙන බව බෙන්තර ගඟෙන් මෙපිට සීමාවේ සිටි වෙළෙන්දෝ දැනගෙන උන්නෝය.
හඬ නගා ලොසින්ජර විකුණූ බස් නැවතුම් පොළක් ඇත්නම් ඒ අකුරුස්ස බස් නැවතුම් පොළයි.
ඒ බිකේ.. බිකේ.. නාරම් බිකේ..
නාරම් බික් ලොසින්ජර 5ක් පමණ එක වැලට අමුණා එවැනි වැල් කිහිපයක් අතේ දවටා ගත් වෙළෙන්දන්ගේ හඬ එකල අකුරැස්ස බස් නැවතුම් පොළේ ඇසුණේ එසේය.
ගෝදම්බ රොටි කෑලි කපා, බිත්තර හෝ මාළු යොදා තෙම්පරාදු කොට, මහ සද්දෙන් එකට කොටා අනමින් මෙකල සාදන කොත්තු රොටි 1980 ගණන්වල මුල් කාලය දක්වා හෝටල්වල තිබුණේ නැත. තදාසන්න නගරයක් පාසා ගෝදම්බ රොටි සාදන හෝටල් නම් අප දැක පුරුදුය. ලා නිල් පාට නියොන් ලයිට් එකක් යට තුවා කෑලි මෙන් ඉහළට දිග හරිමින් ගෝදම්බ රොටි තනනවා බලන්නට අපි ආසා කළෙමු. මේවා වෙනුවට අද ළමයි ඉල්ලන්නේ කන්නේ බොන්නේ පීට්සා, මැක්ඩොනල්ඩ් බන්, ස්පැගටි හෝ කොත්තු වැනි දෑය. කාලය ඇති කළ වෙනසක අරුමය එයයි.
සමන් පුෂ්ප ලියනගේ