“රුපියල් දෙදාහ... දෙදාහ මඟුල් කරන්නද? වෙන මිනිස්සු හාරදාහ පන්දාහ දීලා ගියේ. රුපියල් හත්දාහක් දෙන්න නැත්නම් ආපහු යන්න.”
පැවති ගංවතුර හමුවේ දින කිහිපයක් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය මාරවිල මහවැව ප්‍රදේශයෙන් මාදම්පේ දක්වා වූ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් යටවී තිබියදී ඉන් එගොඩ වීමට ගිය පිරිසකට ප්‍රදේශවාසී පුද්ගලයන් දෙදෙනකු විසින් තර්ජනාත්මකව පවසා කප්පම් වශයෙන් මුදල් ඉල්ලා සිටියේ මේ අයුරෙනි.
කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සැහැල්ලු වාහන රියැදුරන්ගෙන් හා එහි මගීන්ගෙන් මේ ආකාරයට රුපියල් 7000 ක් ඉල්ලුවේ කිසිදු බියකින් තොරවය. ඔහුට ඒ පිළිබඳ ලජ්ජාවක් හෝ මානුෂීය හැඟීමක් ඇති බවක් නොපෙනිණි. ඒ බව ඔවුන් එම ක්‍රියාවේ නිරතව සිටියදී වෙනත් පාර්ශ්වයක් විසින් පටිගත කරගන්නා ලද වීඩියෝ දර්ශන සාක්ෂි දරයි. ඒවා මේ වන විටත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී අවසන්ය.
මාරවිල මහවැව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් විශාල පිරිසක් අවතැන්ව සිටියදී ඔවුන්ට සහන සැපයීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි පිරිසක් අතර අයෙක් කීවේ මෙවැන්නකි.
“අපි විපතට පත්වෙච්ච ජනතාවට සහ ඒ අයගෙ රථවාහන වතුරෙන් එගොඩ මෙගොඩ කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා වැඩ කළා. කාගෙන්වත් කිසිම මුදලක් ගත්තේ නෑ. නමුත් දැන් මේක අපිට කරගෙන යන්න බෑ. කට්ටියක් ඉන්නවා ඒ අය ඇවිත් කප්පම් ගන්නවා. මගෙන් රුපියල් 7000 ක් ඉල්ලුවා. ඒක නොදී නම් ආයෙ එන්න එපාලු. වැඩ කරන්නත් එපාලු. මේ අසාධාරණය වගකිව යුතු නිලධාරීන් බලන්න ඕනේ... කවුරැහරි ඉක්මනට ඒකට මැදිහත් වෙන්න ඕනේ...”
දින කිහිපයක් පුරා පැවති ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ ස්ථානවල ජලගැලීම් සිදුව තිබියදී හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මහවැව සිට මාදම්පේ දක්වා වූ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් විශාල වශයෙන් ජලයෙන් යටවී තිබුණි.
ඇතැම් ස්ථානවල අඩි හයකට වැඩි උසකින් ජලය පිරී තිබුණු අතර එවැනි ස්ථානවලින් පුද්ගලයකුට ගමන් කිරීම හෝ කළ නොහැකිය. එසේම මාදම්පේ නගරය සිට මහවැව දක්වා කිසිදු සැහැල්ලු වාහනයකට ගමන් කිරීමේ හැකියාවක් තිබුණේ නැත. එපමණක් නොව වතුරින් යටවූ ප්‍රදේශය මඟහැර යන්නට වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් හෝ තිබුණේ නැත. මේ නිසා මාදම්පේ හා හලාවත අතර ගමන් කළ යුතු එකම මාර්ගය වූයේ මෙකී ජලයෙන් යටවූ කොටස පමණය.
මෙහිදී එම ජනතාවගේ උදව්වට පැමිණි කිහිපදෙනෙක් විසින් ට්‍රැක්ටර් සහ ආපදා රථ භාවිත කරමින් සැහැල්ලු වාහනය බැගින් පටවාගෙන ගංවතුර ඔස්සේ ධාවනය කර එතෙර මෙතෙර ගෙන යාම සිදුකළහ. මේ සඳහා ඔවුහු කිසිදු මුදලක් අය නොකළ අතර පින් කටයුත්තක් සේ සලකා එය ඉටු කළහ. දින හතරක් පුරාවට මාර්ගය ජලයෙන් පිරී පැවතීම හේතුවෙන් සම්පූර්ණ වශයෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනය ඇණහිට තිබුණි. මේ අතර වෙන්නප්පුව ප්‍රදේශයේ අයෙක්ද මෙකී කටයුත්ත සඳහා පැමිණ තිබිණි.
දෙවනුව එහි පැමිණි පුද්ගලයා මගීන් සමඟ රථවාහන එගොඩ මෙගොඩ ගෙන යාම සඳහා මුදලක් අය කළේය. පළමු වතාවේ මගීන් විසින් ඔහුට යම් පරිත්‍යාගයක් සිදුකර ඇතත් ක්‍රමයෙන් ඔහු ජනතාවගෙන් මුදල් ඉල්ලා සිටින්නට පෙළඹී ඇත. පසුව ඔහුට තවත් සහයකයකු වශයෙන් පුද්ගලයෙක්ද සහභාගි වී සිටියේය. ප්‍රසිද්ධ කෙරුණු වීඩියෝ දර්ශනවල පෙනී සිටින්නේ ඔවුන් දෙදෙනාය.
කෙසේ වෙතත් මේ ක්‍රියාව අකටයුත්තක් වශයෙන් ප්‍රසිද්ධ වෙද්දී අපි ඒ පිළිබඳ විමසිල්ලෙන් කරුණු සෙව්වෙමු. එහිදී අනාවරණය වූයේ අදාළ ප්‍රදේශයේ 600 ක් පමණ ජනතාව ගංවතුරින් අවතැන්ව සිට ඇති බවය. ඔවුන් සඳහා රජයෙන් හෝ වෙනත් සංවිධාන කිසිවකින් සහනයක් හෝ බත් පැකැට්ටුවක්වත් ලැබී නොතිබුණි. අදාළ දින කිහිපය පුරාවට අවතැන් ජනතාවට ආහාර පාන සපයා හැකි පමණ නවාතැන් ලබාදී තිබුණේ අසල්වැසි ජනතාව පමණි. ඒ සඳහා මහවැව වෙළෙඳ සංගමයේ සාමාජිකයන් මූලිකත්වය ගෙන තිබුණි.
කෙසේ වෙතත් පසුගිය 26 දින වූ මේ සිදුවීම පිළිබඳව මාරවිල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ 28 වැනි සඳුදාය. ඒ අනුව සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කරන්නට මාරවිල පොලීසිය පියවර ගෙන තිබුණි. එහිදී එක් සැකකරුවකු හදවත් රෝගීයෙක් වශයෙන් හඳුනාගෙන තිබූ බැවින් ඔහුට ඇප ලබාදුන් බවද ඉදිරි නඩු වාරය සැප්තැම්බර් මස 7 දිනට කල් තැබූ බවද වාර්තා විය.
මෙකී සිදුවීම කෙසේ වෙතත් අනාවරණය වී ඇත්තේ ගංවතුර මතින් එතෙර කරන්නට ගත් මුදල් ප්‍රදේශයේ අවතැන් වී සිටි ජනතාවගේ සුබසිද්ධිය සඳහා පමණක් වියදම් කර ඇති බවය. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව මගින් එම කරුණු සනාථ වෙමින් ඇති බවද මාරවිල පොලීසිය සඳහන් කරයි.
සිදුවීම පිළිබඳව මාරවිල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක රධිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ.එම්.එස්. ජයනාත්, පොලිස් කොස්තාපල්වරැන් වන 138 සරච්චන්ද්‍ර 3189 ග්‍රේටන් යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර