ඩුබායි ගමනෙන් පස්සෙ මට තවත් පිටරට සංචාරයකට යන්න අවස්ථාව ලැබුණා. ඒ මධ්‍යම ආසියානු රටක් වන අසර්බයිජානෙටයි. අසර්බයිජාන්වල බාකු නුවරට ගිය මම නවාතැන් ගත්තේ පුල්මන් බාකු හෝටලයේයි. බාකු නගරය මැද්දේ පිහිටලා තියෙන මේ හෝටලය හොඳට ඉඩකඩ තියෙන සැප පහසු හෝටලයක්.
බාකු නුවර කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරපු තැනක්. මධ්‍යකාලීන යුගයට අයිති පටු වීථි, වෛවර්ණ ගොඩනැගිලි වගේ බොහෝමයක් දේ මේ නගරයේ පිහිටා තිබෙනවා. ඒ ගොඩනැගිලි සියල්ලට ඉහළින් ගිනි දලු දෙකක ස්වරූපයෙන් නැඟී ඉන්න Flame towers කියන්නෙත් බාකු නුවර ප්‍රසිද්ධ තැනක්. දෙවැනි දවසේ මම ගමන් කළේ තවත් ලෝක උරුම ස්ථානයක් වන ගොබුස්ටාන් වල ආදි මිනිසුන්ගේ කුරුටු චිත්‍ර සහිත ස්ථානයක් නරඹන්නයි. ඒක ගල් කන්දක් මතුපිට තිබෙන අපූරු තැනක්.
අසර්බයිජාන සවාරියේදී මම ගමන් කළ තවත් ස්ථානයක් වුණේ ඇටෙෂ්ගා ගිනි කෝවිලයි. මුලදී සොරොස්ට්‍රියන් දේවාලයක් වුණත් පසුව මේ ස්ථානය හින්දු කෝවිලයක් ලෙස පැවැතුණා. මෙතැන විශේෂත්වය වන්නේ මේ කෝවිලේ උදුන අවුරුද්දේ දවස් තුන්සිය හැටපහ පුරාවටම නොකඩවා දැල්වීමයි.
බාකුවල සුන්දරත්වය හොඳින්ම දකින්න හැකි නගරය පුරා විහිදෙන වීථි දිගේ ඇවිද යන විටයි. මේ වීථි පැරිසිය සිහිගන්වනවා. ගල් ඇතිරූ මාවත්, අවට පිහිටි මල් කඩ, අයිස්ක්‍රීම් වෙළෙඳුන්ගෙන් පිරී ගිය බාකු නගරය පයින් ඇවිද යන කෙනෙකුට දිව්‍ය ලෝකයක් වගේ.
I ධනූ