අරාබිකරයේ ක්‍රියාත්මක අල් ජසීරා පුවත් සේවය කියූ සැණින් අපේ මතකයට එන්නේ වරින් වර අල් කයිඩා ත්‍රස්ත නායකයන්ගේ වීඩියෝ පට ප්‍රදර්ශනය කළ රූපවාහිනි නාලිකාවකි. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ජීවතුන් අතර සිටි සමයේදී ඔහු අමෙරිකා එක්සත් ජනපදයට කරන තර්ජන සියල්ලක්ම පාහේ විකාශය වූයේ අල් ජසීරාවෙනි. කටාරය පදනම් කරගත් අල්ජසීරාව එසේ තමන්ගේ ප්‍රධාන ක්ෂේත්‍රය බවට පත්කරගෙන තිබුණේ දේශපාලනයයි. එහෙත් හිටිහැටියේ අල්ජසීරාව ක්‍රිකට් පිළිබඳ තම අවධානය යොමුකරමින් පසුගියදා අනාවරණය කරන ලද වීඩියෝ පටය සමඟ ක්‍රිකට් ලෝකයම උඩුයටිකුරැ වී ගියා යැයි පැවසීම නිවැරදි ය.
එම කුපක්‍රට වීඩියෝව අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තරග පැවැත්වීමේදී මුදල් ඔට්ටු අල්ලන බුකීකරුවන් මාර්ගයෙන් බරපතළ වංචා රැසක් සිදුව ඇති බවට ඉන් ප්‍රකාශ කෙරෙන නිසාවෙනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි නිර්මාණය කිරීමේදී අතීතයේ අවස්ථා දෙකකදීත් නුදුරු අනාගතයේදීත් වංචා සිදුකිරීමට බුකීකරුවන් මෙන්ම ගාල්ලේ තණතිලි සකසන්නා ද ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ද හවුල් වී ඇති බව ද අල්ජසීරා චෝදනා නඟයි.
“මේ වසරේ අග භාගයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයක් මුදල් ඔට්ටුව වෙනුවෙන් පාවාදීමේ සූදානමක් පිළිබඳව අපට අනාවරණය කරගත හැකිවූවා. ඒ වගේම මුදල් ඔට්ටු ඇල්ලීම සඳහා ඔවුන් දැනටමත් සිදුකළ ටෙස්ට් තරග පාවාදීමේ සිදුවීම් දෙකක් පිළිබඳව අපට සාක්ෂි හමුවූවා” ඩේවිඩ් හැරිසන් නම් එම තොරතුරු වාර්තා කරන අල්ජසීරා ජනමාධ්‍යවේදියා පවසයි.
අල්ජසීරා මාධ්‍යවේදියා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රයට පැමිණ එහි තණතීරු සකසන්නා ලෙස ක්‍රියාකළ පුද්ගලයා මුණගැසෙන්නේ රොබින් මොරිස් නම් තවත් ඉන්දීය ජාතික බුකීකරුවකු සමඟ බව එම වීඩියෝ පටයේ දැක්වේ. එහිදී මාධ්‍යවේදියා කටයුතු කරන්නේ තම සැබෑ අනන්‍යතාව සඟවමින් තමා ද බුකීකරැවකු ලෙස හැඟී යන පරිද්දෙනි.
එහිදී ගාල්ලේ තණතීරු සකසන්නා පවසන්නේ 2016 වසරේ පැවැති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු යවන්නන්ට වාසිදායක වන ආකාරයේ තණතිල්ලක් තමා නිර්මාණය කළ බව ය. ඒ අනුව තරගය දින දෙකහමාරක් තුළ අවසන් වූ අතර දින පහකට අඩු කාලයකදී ටෙස්ට් තරගය අවසන් වන බවට ඔට්ටු ඇල්ලූ තණතිලි භාරකරුගේ මිතුරු බුකීකරුවන් කෝටි ගණනින් මුදල් උපයා ඇති බව ද අල්ජසීරා පවසයි.
ඉනික්බිති ඉකුත් වසරේදී ඉන්දීය කණ්ඩායම ගාල්ලට පැමිණ ක්‍රීඩාකළ ටෙස්ට් තරගයේදී තමා පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් නිර්මාණය කළ බව ද තණතිලි භාරකරු පවසන අයුරු වීඩියෝ පටයේ දැක්වේ. අල්ජසීරා පෙන්වාදෙන්නේ එම ටෙස්ට් තරගයේ ඉන්දීය පිල තම පළමු ඉනිමට ලකුණු 600 ඉක්මවා වාර්තා කරන්නේ තණතිලි භාරකරුගේ ක්‍රියාකලාපය නිසා බව ය.
මෙහිදී කැපීපෙනෙන තවත් සිදුවීමක් වන්නේ පළමු පෙළ ක්‍රීඩකයකු මෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුයුක්ත දිස්ත්‍රික් කළමනාකාරවරයකු වන අයකු ද මෙම කතාබහ සහිත වීඩියෝවේ දක්නට ලැබීමයි. ඔහු ගාල්ලේ තණතිලි සහායකයාට පරිවර්තන කටයුතු සඳහා සහාය දක්වන බවක් එහි පිළිබිඹු වේ.
ඉන් අනතුරුව තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ නම් ද අල්ජසීරා විසින් හෙළිකරන්නේ ඔවුන් මෙම සිද්ධිවලට සම්බන්ධ බව කියමිනි. ඉන් එක් අයකු ද ශ්‍රී ලංකා ක්‍රිකට්හි පුහුණුකරුවෙකු වන අතර අනෙක් තැනැත්තා ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් බොහෝ කාලයකි.
අල්ජසීරා කියන කතාවෙහි මතුපිටට එහා ගොස් කරුණු විමසීම වැදගත් ය. එහිදී අල්ජසීරා නොකියන කරුණු කිහිපයක් මෙහිලා ප්‍රකාශ කළ යුතුම ය. එනම් ඕනෑම රටක තරගයක් සූදානම් කිරීමේදී එම පිටිය සැකසීම සිදුවන්නේ සත්කාරක පිලේ නායකයාට සහ පුහුණුකරුට අභිමත පරිද්දෙනි. එය ක්‍රිකට් ලෝකයේ බහුලව දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි. එනම් තම රටේ ක්‍රීඩා කිරීමට විදේශීය ක්‍රිකට් පිලක් පැමිණෙන විට දේශීය නායකයා සිදුකරන්නේ තම පුහුණුකරු හා කළමනාකරු සමඟ සාකච්ඡා කොට තම කණ්ඩායමේ සංයුතිය සහ ප්‍රතිවාදී පිළේ ප්‍රබල අංශය කවරක්ද යන්න විශ්ලේෂණය කර තරග සඳහා අවශ්‍ය පිටි සකස් කිරීමට තීරණය කිරීමයි.
ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව ඇතුළු ක්‍රිකට් ලොවේ ප්‍රබල රටවල් රැසක්ම එය සිදුකරයි. ඉන් වෙනස් වන්නේ තවමත් ක්‍රිකට් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවක්’ ලෙසම පවත්වාගෙන යෑම වෙනුවෙන් පෙනී සිටිනා එංගලන්තය පමණි.
එනිසා ගාල්ලේ තණතිලි සකසන්නාට දේශීය ක්‍රිකට් නායකයාගේ ඉල්ලීම අහක දමා තම අභිමතය පරිදි තණතිලි සකස් කිරීමේ බලයක් ඇත්තේ නැත. යම් හෙයකින් නායකයා ඉල්ලා සිටින තණතිල්ලට වඩා වෙනස් තණතිල්ලක් ඔහු සාදා තිබුණා නම් තරගාවලිය අතරතුරදීම ඒ බව හෙළිවන්නට, ක්‍රිකට් නායකයාගෙන් දෝස් මුරයක් එල්ල වන්නට ඉඩ තිබුණි. එහෙත් ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු සංචාර දෙකෙහිදීම එවැන්නක් වාර්තා වූයේ නැත. කොටින්ම තරගයක් අවසානයේදී තරග තීරකවරයා විසින් ලබාදෙන වාර්තාවලදී පවා සඳහන්ව තිබී ඇත්තේ එම තරග සාමාන්‍ය අයුරින් පැවැති බව ය.
අල්ජසීරා මෙවැනි පුවතක් පළ කිරීම පසුපස ඇත්තේ ද තරමක විස්මයට බව අමුතුවෙන් කිව යුතු නැත. මැදපෙරදිග ලෝකයේ අප දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩා කරන එකම රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එහෙත් එරට ද ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තේ ඉතා පහළ මට්ටමක ය. අඩුම තරමේ එකදු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකටවත් එක්සත් අරාබී එමීර් කණ්ඩායමට මෙතෙක් සහභාගී වී නැත.
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි පැවතිය ද ක්‍රිකට් යනු එරට පමණක් නොව අරාබි ලෝකයටම ආගන්තුක ක්‍රීඩාවකි. ඔවුන්ගේ ඇල්ම උනන්දුව ඇත්තේ පාපන්දු කෙරෙහි ය. එවන් පසුබිමක අල් ජසීරා තමන්ගේ සුපුරුදු විෂය පථයෙන් බැහැරව ක්‍රිකට් ගැන සොයන්නට උනන්දු වූයේ මන්ද යන්න බොහෝ දෙනකුට ගැටලුවකි. අනෙක් අතට මෙම වීඩියෝවට අදාළ සංස්කරණය නොකළ දර්ශන තමන් වෙත ලබාදෙන්නැයි අයි.සී.සී.ය අල්ජසීරාවෙන් කළ ඉල්ලීම ද එම මාධ්‍ය ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ. (මාධ්‍ය ආචාර ධර්ම විෂයෙහි සළකා එවැනි ප්‍රතික්ෂේප කිරීමකට අල්ජසීරාවට ඉඩ ඇති බව අප ද පිළිගනිමු)
මේ වීඩියෝවේ පළවූ සියල්ල පිළිගන්නා තත්ත්වයකට කිසිවකුත් එකහෙළාම නොපිවිසිය යුතු බව අපගේ හැඟීමයි. මන්ද අයි.සී.සී.යෙන් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ආරම්භ කර ඇති බැවිනි. එවැනි පරීක්ෂණයකට තම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම එංගලන්ත ක්‍රිකට් ආයතනය ද ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම මේ සම්බන්ධව දේශීය වශයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙරට ක්‍රිකට් ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
මේ අතර පසුව අල්ජසීරාම වාර්තා කර තිබුණේ ගාල්ලේ තණතීරු සකසන්නා විසින් තමන් පිටිය සැකසීමේදී වංචාවක් කළ බව ඔහු පිළිනොගන්නා බව ය. එමෙන්ම අල්ජසීරා පුවත් සේවය විසින් විනෝද චිත්‍රපටයක රංගනය වෙනුවෙන් තමාව යොදවා ගත් බවට රොබින් මොරිසන් පවසන බව ද අල්ජසීරාම වාර්තා කරයි.
තවත් සුවිශේෂී කරුණක් තිබේ. මේ වීඩියෝව පළවන්නේ ක්‍රිකට් නිලවරණයකට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම ද විශේෂත්වයකි. වීඩියෝව හරහා ගාල්ල තණතීරු සකසන්නා සහ තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉලක්ක කර තිබුණද වෙනත් සැඟවුණු පරමාර්ථ පවතීද යන්න අපි නොදනිමු. එහෙත් මෙම වීඩියෝව නිකුත් වන කාලසීමාවේ පවතින කාලෝචිත බව ගැන ද සඳහන් කිරීම වටී.
ක්‍රිකට් නිලවරණයට මෙම වීඩියෝවේ සම්බන්ධයක් තිබුණ ද නොතිබුණ ද එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කිරීමේ හැකියාවක් ඇති වීඩියෝවක් බව සහතික ය. අසල්වැසි ඉන්දියාව තුළ ක්‍රිකට් යනු සූදුපිටියක් බවට පත්ව ඇති බව නොරහසකි. එහෙත් ලංකාව තුළ ද ක්‍රිකට් යනු සූදු කරුවන්ගේ තිප්පොළක් යැයිද නිලධාරීන්, ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ද ඒවාට සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීමෙන් ඇතිවන්නේ බරපතළ අපකීර්තියකි. සිදුකළ යුත්තේ විධිමත් පරීක්ෂණයකට ඉඩපාදා දෙමින් මෙහි ඇත්ත නැත්ත තහවුරු කරගැනීම ය. යමෙක් යම් වරදක් සිදුකර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම ලබාදීම ය. මෙරට ජාතික ක්‍රීඩාව පරයමින් අපේ රටේ සුවහසක් ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය ගෞරවය දිනාගත් ඒ අසිරිමත් ක්‍රීඩාවේ හෙට දවස අපේ අනාගත පරපුර සඳහා සුරුකීම අප කාගේත් යුතුකමකි.
♦ රජිත ජාගොඩ ආරච්චි
වැරැද්දක් කළා නම් රැකගන්නේ නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා
ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර තිබුණු ඔය කියන ටෙස්ට් තරගයේදී අපේ දඟපන්දු යවන්නන් කඩුලු ගත්ත එක ඇත්ත. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු ගත්තේ වේගපන්දු යවන්නොයි. වැඩිම කඩුලු ප්‍රමාණයක් ගත්තේ මිෂෙල් ස්ටාක්. ඒ වගේම තරගේ දවස් දෙකහමාරින් ඉවර වුණාට තරගයේ විනිසුරන්වත් තරග තීරකයාවත් තණතිල්ල ගැන කිසිම නරක විදිහේ වාර්තාවක් ලබාදීලා නැහැ. අනික ලංකාවේ ශක්තිය හැමදාම තිබිලා තියෙන්නෙත් දඟපන්දු යවන්නො අතේයි. අනික අපි හැමදාම තණතීරු හැදුවේ අපේ ශක්තිය අනුව බලලා දඟපන්දු යවන්නන්ට වාසි සහගත විදිහට තමයි. දැන් ඕස්ට්‍රේලියාවේ වකා ක්‍රීඩාංගණය ගත්තොත් එයාලා හැමදාම ඒක හදන්නේ වේගපන්දුවට සහ දෝලනයට වාසි විදිහටයි. කොහොම නමුත් අයිසීසීයෙන් සිදුකරන පරීක්ෂණයට අපි සම්පූර්ණ සහයෝගය ලබාදීමේ සූදානමින් පසුවෙනවා. දැනටමත් අයිසීසීයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන තුන්දෙනාගේම වැඩ තහනම් කිරීමටත් අපි ක්‍රියාකරලා තියෙනවා. කවුරුහරි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ කිසිම කෙනෙක් ආරක්ෂා කරගැනීමට අපිට බලාපොරොත්තුවක් නෑ.
විධිමත් පරීක්ෂණයකදී ගොඩක් තොරතුරු හෙළිවේවි
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග
අද ලෝක ක්‍රීඩාවේ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ match fixing, results fixing, ground fixing සහ wicket fixing වගේ කාරණා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලත් තරග පාවාදීම් ගැන නිතර කතාවෙනවා. බුකීකරැවන් ඉහළ තනතුරුවලට පත්වුණාම සිද්ධවෙන දේවල් තමයි මේවා. මොකද ක්‍රිකට්වලින් ලැබෙන සල්ලිවලට වඩා බුකීවලින් ලැබෙන සල්ලි වැඩියි.
මීට කලින් අපේ ජාතික තණතිලි භාර නිලධාරීන් විදිහට හිටියේ අනුරුද්ධ පොළොන්නෝවිට, ඩී.ජේ. සම්පත් වගේ සුදුසුකම් සහිත පිරිස්. නමුත් දැන් ඒවාට පත්කරගන්නේ සුදුසුකම් තියෙන අය වෙනුවට තමන්ගේ හිතවතුන්වයි. එතකොටනේ තමන්ට ඕන විදිහට වැඩ කරගන්න පුළුවන් වෙන්නෙ. ඔය කට්ටියගේ දුරකථන සංවාද එහෙම විමර්ශනය කරලා අයි.සී.සී. එක මේ ගැන හොඳ විධිමත් පරීක්ෂණයක් කළොත් තව ගොඩක් තොරතුරැ එළියට ඒවි.