“ලංකාව සිංගප්පූරුවක් කරමු” මේක අපි අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ කතාවක්. බොහෝ කාලයක් තිස්සෙ අපි කතා කරන්නේ ලංකාව සංවර්ධිත රටක් කරන්නයි. ඒ නිසා ලංකාව සිංගප්පූරුවක් කරන්න, මැලේසියාවක් කරන්න, ජපානයක් කරන්න, අමෙරිකාවක් කරන්න අපි කතා කරනවා. චීනයක්, රුසියාවක් කරන්න කතා කරන අයත් නැතුවාම නෙමයි.
අපි එහෙම හිතන්නේ ඒ රටවල්වල තියෙන භෞතික පහසුකම් දිහා බලාගෙන අපේ රටත් එවැනි තත්ත්වයට පත් කරගන්නයි. ගමනක් යන්න එළියට බැස්සම පැය ගණන් රස්තියාදු වෙලා බස්වල, කෝච්චිවල තෙරපිලා වෙහෙසකර ගමනක් යද්දි ජපානය වගේ රටක නියමිත වෙලාවට බොහොම පහසුවෙන් තමන්ගේ ගමන යන්න කෙනකුට පුළුවන්. අපේ රටේ ළමයි කැඩුණු පුටුවල ඉඳගෙන අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙන ගනිද්දි, අමෙරිකාවේ පාසලක ළමයි සැප පහසුවට වායුසමනය කළ පංති කාමරයක ඉඳන් අධ්‍යාපනය හදාරනවා.
මේ විදියට ඒ රටවල් භෞතික වශයෙන් අපේ රටට වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ නිසා අපි හිතනවා අපිත් ඒ රටවල් වගේ වුණානම් අපිටත් එහෙම සැපවත් ජීවිතයක් ළඟා කරන්න පුළුවන් කියලා. එහෙම හිතන අපි ලංකාව සිංගප්පූරුවක් කිරීමේ සිහිනය දකිනවා.
ඒ අතරේ අපිට අමතක වෙන දේවලුත් තියෙනවා. ඒ දියුණු රටවල ඇතැම් අය කෑම හොයාගන්න කුණු කූඩ අවුස්සනවා. පාසල් ළමයි පිස්තෝල අරං ගිහින් පංතියේ ඉන්න තමන්ගෙම මිතුරු මිතුරියන්ට වෙඩි තියලා මරනවා. අසනීප වෙලා නම් මුදලක් අතේ තියෙන්නම ඕන. නිතරම ඉන්නෙ බියෙන් සහ සැකෙන්.
ආර්ථික දියුණුව විතරක් අපි හිතට ගන්න නිසා මේ දේවල් අපේ මතකයට එන්නෙ නෑ. නමුත් මේ දේවල් ගැනත් හිතන රටවල් ද නැතිවා නෙමෙයි. අපෙත් අසල්වැසියෙක් වෙන “භූතානය” මේ දේවල් ගැන බොහොම ගැඹුරට හිතපු රටක්. භූතානය මේ ගැන මොන තරම් හිතලා තියෙනවද කියනවා නම් ලෝකයේ වැඩියෙන්ම සතුටින් ඉන්න මිනිස්සු ඉන්නෙ භූතානයේ. හිමාලයේ එකිනෙක පරයා නැගෙන කඳු අතර පිහිටි මේ සුන්දර රටේ සියලු දේ සිදුවෙන්නේ එරට පුරවැසියන් හට සතුටින් තෘප්තිමත් ජීවිතයක් ගෙවීම වෙනුවෙන්.
කොහොම හරි ආර්ථිකය දියුණු කරලා සිංගප්පූරුවක් වීම වෙනුවට භූතාන වැසියන් තෝරගෙන තියෙන්නෙ සතුටින් ජීවිතය ගතකිරීම. අනෙක් රටවල් සිය සංවර්ධනයෙදී දළ දේශීය නිෂ්පාදිතයට මූලිකත්වය දෙද්දී භූතානය සිය සංවර්ධනයෙදී ‘දළ දේශීය සතුට‘ (Gross Domestic Happiness) යන්නට වැඩි සැලකිල්ලක් ලබා දෙනවා. මේ නිසා තාමත් ඒ රට ඉතා පිරිසිදු, සොබා සෞන්දර්යෙන් අනූන, පිළිවෙලක් ඇති ලස්සන රටක්. ජීවත් වෙන්න හොඳම තැනක්.
මේ රටේ භාණ්ඩ පිරුණු වෙළඳසැල් තිබුණත් ඒවයේ විකිණීමේ තරගයක් නෑ. හැමෝටම එකම ආකාරයට මිලදී ගැනීමේ පහසුකම් තියෙනවා. අපේ රටේ වගේ සංකීර්ණ පරිභෝජනවාදී ජීවන රටාවක් නැති නිසා වෙළඳාමේදී බල කිරීම්, හෙට්ටු කිරීම් නෑ. රටේ කොහේ ගියත් මිනිස්සු වට කරගන්න වෙළෙන්දෝ, හිඟන්නෝ නෑ. අපේ රටේ වගේ තැන තැන කැලි කසළ ගොඩ ගහලා නෑ. සංවර්ධනය කියලා ඒ අය තමන්ගේ රටේ පරිසරය විනාශ කරගෙන නෑ. ඒ වගේම මේ රටේ හැමෝටම ස්ථිර නිවසක් තියෙන නිසා දුගී පැල්පත් දකින්නත් නෑ. ඒ නිසා බස් නැවතුම්, පදික වේදිකාවල ඉන්න අනාථයනුත් මේ රටේ නෑ.
අනුමත සංස්කෘතික හා කලාත්මක සම්ප්‍රදාය අනුව සකස් කළ සැලැස්මක් අනුව මේ රටේ නිවෙස් ඇතුළු සියලු නගර ඉදිකරලා තියෙනවා. තිම්පු අගනුවර ඇතුළු අනිකුත් නගරවලත් ගම්මානවලත් මේ තත්ත්වය දකින්න පුළුවන්. කෙතරම් සුන්දර රටක් වුණත් විශාල ආර්ථිකයක් පසුපස නොයන නිසා සංචාරකයන් ගැන මේ රට උනන්දු නෑ. මේ අය පිටරුටියන්ගෙන් ලැබෙන මුදල් ආදායමට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සදාචාරය ගැන හිතන නිසා මේ රටේ පුරවැසියන්ට නිදහසේ තම රට තුළ ජීවත් වෙන්න හැකියාව තියෙනවා.
අපිට ලෝක ආර්ථික, සමාජ විශේෂඥයන් උපදෙස් දෙන්නෙ භෞතික සම්පත් වැඩි දියුණු කරගෙන පුද්ගල ධනෝපාය වර්ධනය කරගන්නයි. ඒ නිසා අපි හිතන්නේ ඒක පුද්ගල ආදායම, ජාතික ධන සංචිතය වැනි කරුණු ගැන. අහස උසට නැගුණු ගොඩනැගිලි, ගුවන් පාලම්, යාන වාහන, විදුලි දුම්රියන්, මහා මන්දිර වැනි කවදාවත් ළඟා කරගෙන අවසානයක් දකින්න බැරි දේ ගැන. අපි සිහින දකින්නෙ එවැනි භෞතික දේවල්වලින් ඉහළටම ගියත් ලොව සතුටින්ම ඉන්න ජනතාව සහිත රටවල් ලැයිස්තුවේ පහළම ඉන්න රටවල් වගේ වෙන්න.
ආර්ථික දියුණුව කරා වෙහෙසකාරී ධාවනයක යෙදෙමින්, එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරමින් ආත්මාර්ථය ඉදිරියේ තබා ගෙන “සිංගප්පූරු” යන ගමනක අපි නිරත වෙලා ඉන්නවා. ඒ අතරේ අසීමිත ආශාවන් හඹා නොයන, සීමිත අවශ්‍යතාවයන් සපුරා ගනිමින් කායික මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගනිමින් විවේකයෙන් ජීවත්වෙන, සිනාමුසු මුහුණින් එකිනෙකා ඇසුරු කරන සුන්දර “භූතානය” අපි අමතක කරනවා. දියුණු වෙනවා කියලා අපිට ඕන කරන්නෙ සතුටින්, සැනසීමෙන් ඉන්න. අපි හැමදේම කරන්නේ ඒ වෙනුවෙන්. එහෙම බැලුවම ලංකාව සිංගප්පූරුවක් කරනවට වඩා. ලංකාව භූතානයක් කරන එක වඩා හොඳ නැද්ද? දේශයේ අනාගතය වෙනුවෙන් එහෙම කරමුද?
► අසිරු කරුණාරත්න