මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසිපස් වැන්නයි. මෙවර අප හා කතාබහට එක්වන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශකයකු වන මනෝජ් සල්පගේය. 2013 වසරේ සිට අරාබි, හීබෘෘ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන ඔහු මෙවර අපගේ කථානායකයා වන්නේය.
කටාරයේ අවුරුදු 14ක්
කලක් යුද හමුදාවේ ක්‍රීඩා අංශය නියෝජනය කළ මනෝජ්ගේ ජීවිතය වෙනස් වන්නේ කටාරයේ රැකියාවකට යාමත් සමඟිනි. ඔහුගේ සේවා ස්ථානය කටාරය වුවද ඔහු සේවය කළේ කටාරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලට ය. ඔහු එහි පරිපාලන සහායකයෙක් ලෙස 1997 සිට 2011 දක්වා සේවය කළේය. ඔහුට සංචාරක කර්මාන්තයට යොමුවීමට පදනම වැටෙන්නේත් එහිදී ය.
අරාබිකරයේ ඉංග්‍රීසියට තැනක් ඇත්තේ නැත. ව්‍යාපාරික හමුවලදී, රාජ්‍ය තාන්ත්‍රික හමුවලදී ඉංග්‍රීසිය භාවිතයට ගත්ත ද එදිනෙදා කටයුතු කිරීමේදී මුල් තැන ලැබෙන්නේ අරාබි බසට ය. එනිසාම අරාබි භාෂාව හැදෑරීමේ අවශ්‍යතාවය මනෝජ්ට මතුවේ.
“අපි කටාර්වල ආණ්ඩුවේ ඔෆිස් එකකට අරාබියෙන් ලියුමක් යැව්වොත් පහුවෙනිදම උත්තරයක් එනවා. හැබැයි ඉංග්‍රීසියෙන් යවන ලියුමකට උත්තර ලැබෙන්නේ සතියකට විතර පස්සෙ.”
අරාබි බස වහරන්නේ තොල්වලින් නොව උගුරෙනි. ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ඔහු සහභාගී වූ අරාබි පන්තියේ පළමු පාඩම වූයේ එයයි.
“අරාබි කියන්නේ ටිකක් අසීරු භාෂාවක්. එක ළඟින් යන වචන තියෙනවා අහස පොළොව වගේ වෙනස් තේරුම් තියෙන. උදාහරණෙකට ‘භාරිත්’ කියන්නෙ ‘සීතලයි’ කියන එක. ‘භරීත්’ කියන්නෙ ‘තැපැල් කාර්යාලය’. ‘මරීත්’ කියන්නෙ ‘අසනීපයි’ කියන එක” ඔහු එක ළඟින් යන වචන කිහිපයක් කියමින් පැහැදිලි කළේය. වචන කියන්නට ගන්නා ආයාසය දෙස බැලූවිට ඒවා උගුරෙන්ම ඉපැදෙන එකිනෙකට වෙනස් හඬවල් බව විශ්වාසය.
අරාබි බසේ තවත් අපූර්වත්වයක් තිබේ. ලොව අන් සියලුම භාෂා පාහේ වමේ සිට දකුණට ලිවීම සිදුකළත් අරාබියෙන් ලියන්නේ දකුණේ සිට වමට ය. එනම් පොතක ලිවීම සිදුකරන්නේ දකුණු පස කෙළවරේ සිට වම් පස කෙළවර දක්වා ය. එනිසා කියැවීම කළ යුත්තේ ද එලෙසිනි. එය හරියට පොතක් අග සිට මුලට බලනවාක් වැන්නකි.
යුදෙව්වෝ
ඊශ්‍රායල ජාතිකයන් සියලුදෙනා යුදෙව්වෝ ය. ඔවුන්ගේ බස වන හීබෘෘ බස ලොව පැරැණිතම භාෂාවකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ ද හීබෘ බසිනි. එහෙත් එය යුදෙව්වන්ටම සීමා වූ වඳවෙමින් පවතින භාෂාවක් ලෙස ද සැලකේ. මනෝජ් කියනා හැටියට ලංකාවටම සිටින්නේ හීබෘෘ භාෂාව කතා කළ හැකි සංචාරක මාර්ගෝපදේශකයන් සිව්දෙනෙකු පමණි. මනෝජ් ඉන් එක් අයෙකි.
යුදෙව්වන් යනු තමන් කෙරෙහි ප්‍රෞඩ හැඟීමක් තබාගත් පිරිසකි. ඔවුන් තදින්ම අදහන දෙයක් වන්නේ කිසිවකුට උපතින් මිස අන් කිසිදු අයුරකින් යුදෙව්වෙක් විය නොහැකි බවයි. ඉස්ලාම් ආගම වැළඳගත් තැනැත්තකුට අරාබි ජාතිකයකු බවට පත්විය හැකි මුත් ඊශ්‍රායලය යුදෙව්වන් බඳවා ගන්නේ නැත.
මනෝජ් කියන ආකාරයට ලංකාවට එන යුදෙව්වන් බොහෝ දෙනා ක්‍රිස්තියානි ආගම අදහන්නන් වුවද ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතාබහට තරමක් මැළි ය.
“කොච්චර වුණත් ජේසුස් වහන්සේව කුරැසියේ තියලා ඇණ ගහල මරණයට පත්කළේ යුදෙව්වෝ බව එයාලගෙ හිතේ තියෙනවා. ඒ හින්දා ක්‍රිස්තියානි ආගම ගැන ඒ ගොල්ලෝ එච්චර කතා කරන්නෙ නෑ”
කටාරයේ සිටියදී ඊශ්‍රායල ජාතිකයන් සමඟ ඉතාම සමීප සබඳතාවයක් පැවැත්වූ නිසාම මනෝජ්ට පැරැණි යුදෙව් ආගම ගැන ද යම් අවබෝධයක් තිබේ. යුදෙව් ආගම තුළින් පිදෙන්නේ ගිනි දෙවියා ය. තවමත් ඊශ්‍රායලයේ ජීවත් වන ඇතැමුන් පැරැණි යුදෙව් ආගම අදහන්නේ දැඩි භක්තියෙනි. එවැනි පිරිස් බොහෝ දුරට අන්තගාමී අයුරින් ක්‍රියාකරන බව ද මනෝජ්ගේ හැඟීමයි.
“මම එහෙම කියන්නෙ වෙන දෙයක් නිසා නෙමේ. ඒගොල්ලෝ ටිකක් දැඩි මතධාරීයි. කෑම කද්දි වුණත් හරියට සැළකිලිමත්. යුදෙව් ආගම අදහන අය ලංකාවට එද්දි එයාලා කන බොන දේවල් එහේ ඉඳන්ම අරගෙන එන වෙලාවලුත් තියෙනවා”
එහෙත් යුදෙව්වෝ ලාංකිකයන්ට, බෞද්ධයන්ට යම් ළැදියාවක් දක්වන බව ද මනෝජ්ගේ අත්දැකීමයි.
“අපි වගේම යුදෙව්වොත් ගස්වලට පණ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අපි දෙගොල්ලන්ගෙම අදහස් සමාන නිසා එයාලා අපිට කැමතියි”
යුදෙව්වෝ යනු තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම අවධානය යොමු කරන ජාතියකි. ඔවුන් තමන් අවට පරිසරය ගැන අතිශය සැළකිලිමත් ය.
“යුදෙව්වෝ කවදාවත් තමන්ගේ කාර් එකේ මූණ ගේ පැත්තට හරවලා නවත්තන්නෙ නෑ. නිතරම කාර් එකේ මූණ පිටතට හරවලායි නවත්තන්නෙ. එයාලා ගේකට ඇතුළු වෙන කොට සෙරප්පු ගලවන්නෙත් සෙරප්පුවේ පිටිපස්ස ගේ පැත්තට හරවලයි. මටත් ඒ පුරුද්ද ඇවිත්” මනෝජ් ඒ කතාව කීවේ නිවස පසෙකින් ඉදිකර ඇති ගරාජයේ නවතා තිබූ තම මෝටර් රථය දෙස අත දිගුකරමිනි.
දත් තිස් දෙක මැද දිව
මනෝජ් කටාරයේදී සේවය කළේ ඊශ්‍රායලට වුවද ඔහු ජීවිතයේ එකම වතාවක් හෝ ඊශ්‍රායලයට ගමන් කර නැත. එහි යන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණ ද ගාසා තීරයේ මූලික කරගත් ඊශ්‍රායලයේ යුද ගැටුම් නිසා එය අනාරක්ෂිත ගමනක් විය.
“ඊශ්‍රායලයේ ටිකක් හරි අවදානම් අඩු පැත්තකට තිබ්බේ ඊජිප්තු සහ ජෝර්දාන් දේශ සීමාව විතරයි. අනික් පැතිවල සංචාරය කරන එක ඒ දවස්වල ගොඩක් අවදානම්. ඉතින් මම එහෙට ගියේම නෑ”
අරාබි ලෝකයේ පිහිටි මුස්ලිම් නොවන එකම රට ඊශ්‍රායලයයි. ඈත අතීතයේ සංකල්පීයමය රටක් වශයෙන් පැවැති ඊශ්‍රායලය බිහිවන්නේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟිනි. නාසි හිට්ලර් යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ මෙහෙයුමක් ඇරඹු අතර හිට්ලර් අතින් ඝාතනය වූ සමස්ත යුදෙව්වන් ප්‍රමාණය ලක්ෂ 60කට ද අධික බව කියැවේ. ඉනික්බිති ලොව පුරා විසිර ගිය යුදෙව්වන් එකට එකතු කොට ඊශ්‍රායලය බිහිකරන්නේ අසල්වැසි අරාබි රටවල් සමඟ යුද්ධ තුනක් සිදුකරමිනි. විසි වැනි සියවසේ ලොව විශිෂ්ටතම හමුදාව ලෙසින් ඊශ්‍රායලය නම් දරන්නේ ද මේ හේතුව නිසා ය.
“ඊශ්‍රායලය ඉන්නෙ හරියට දත් තිස්දෙක මැද්දෙ දිව ඉන්නවා වාගෙ තමා” මනෝජ් ඒ ගැන කියන්නේ එබඳු කතාවකි.
අද වෙද්දීත් ඊශ්‍රායලයට මැද පෙරදිග කලාපයේ මිතුරන් නොමැත. එහෙත් ඊජිප්තුව සහ ජෝර්දානය සමඟ පවතින යම් පමණක මිත්‍රත්වය නිසා වාසියක් අත්කර ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එනම් ඊශ්‍රායල ගුවන් යානයකට ගමන් කළ හැක්කේ ඊජිප්තු සහ ජෝර්දාන ගුවනින් පමණි. ඔවුනට සිරියානු, සෞදි අරාබියානු, ලෙබනන හෝ ඉරාක ගුවන් සීමාවට පිවිසීමට කිසිදු අවසරයක් නැත.
මේ තත්ත්වය උඩ ඊශ්‍රායලය අන් කිසිවකට නොමැති ප්‍රමුඛත්වයක් රටේ ආරක්ෂාවට ලබාදෙයි. සෑම ඊශ්‍රායල ජාතිකයකුම ජීවිතයේ යම් කිසි කාලසීමාවකදී එරට හමුදාවේ සේවය කළ යුතු වන්නේ ද එනිසාම ය. ශාරීරික යෝග්‍යතාව මෙන්ම ආයුධ පුහුණුව ද එමගින් ඔවුනට හිමිවේ.
අරාබි ලෝකය සමඟ තමන්ට තිබෙන ගැටුම, අනාරක්ෂිත භාවය නිසා ලංකාවට එන යුදෙව්වන් කිසිවිටෙක හීබෘෘ බසින් කතාකරන්නේ නැත. මනෝජ්ගේ හීබෘ දැනුවත්කම ඔවුන්ට විශාල සතුටක් වුවද ඔවුන් හැකි සෑම විටම කතාකරන්නේ ඉංග්‍රීසියෙනි. නැතහොත් අරාබියෙනි.
“ඔයාට හීබෘෘ කතාකරන්න පුළුවන් වෙච්ච එක ගැන අපිට හරිම සතුටුයි. ඒත් මේ ටුවර් එක අතරතුරදී ඔයා අපිත් එක්ක ඉංග්‍රීසියෙන් නැත්නම් අරාබිවලින් කතාකරන්න. ඔයා දන්නවනෙ හේතුව?” බොහෝ යුදෙව්වන් ලංකාවේ සංචාරයට පැමිණි විට මනෝජ්ට එම කතාව කියන්නේ ගුවන් තොටුපොළේදී මය.
මනෝජ් හීබෘෘ බසේ මුලින්ම ඉගෙන ගත් වචනය වූයේ ‘තෙන් ගෑස්’ ය. එහි සිංහල අර්ථය වන්නේ “හයියෙන් පාගලා යන්න” එසේත් නැතිනම් “හොඳට ගෑස් දෙන්න” යන්නයි. දිනක් තම ඊශ්‍රායල් තානාපති නිලධාරියා සමඟ මෝටර් රථයේ නැඟී ගමනක් යන විට තානාපතිවරයා එම වචනය මනෝජ්ට කියාදුන්නේ හදිසියකදී, ඉක්මණින් යා යුතු විටෙකදී තම මුවින් ඒ වචනය පිටවිය හැකි බව පවසමිනි.
2011 දී කටාරයේ ඊශ්‍රායල තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු ආපසු ලංකාවට එන්නට තීරණය කළ මනෝජ් සංචාරක මාර්ගෝපදේශකයෙකු බවට පත් වූයේ ඉන් අනතුරුව ය.
(තවත් කොටසක් ලබන සතියේ)
►රජිත ජාගොඩ ආරච්චි