තර්ස්ටන් පාරේ කැන්ඩොස් සාප්පුවට මම මුලින්ම ගොඩවුණේ 1994දි විතර. දවසක් අම්මාත් එක්ක පිටකොටුවට ගිහින් එන අතරතුරදී මෙතැනදී අම්මා මට චොකලට් අරගෙන දුන්නා. අවුරුදු විසි හතරකට පස්සේ ආපහු එතැනට මම ගොඩවුණේ පුංචි කාලේ මතකයන් හිතේ රඳවගෙනයි.
මෙතැනට එනවා නම් දවල් 1.30 ඉඳන් 2.00 වෙනතුරු කාලය නම් එන්න හොඳ වෙලාවක් නෙමේ. මොකද රෝයල් එකේ, තර්ස්ටන් එකේ සහ මහානාමේ පාසල් ළමයි මේ වෙලාවේ කැන්ඩොස් සාප්පුව බදු අරන් ඉන්නෙ.
මෙතැන මගේ ප්‍රියතම තේරීමක් තමයි The chocolate coated double Marie. රුපියල් 35ක් වගේ මුදලකට පාට පාට ෆොයිල් එකකින් ඔතපු ඒ චොක්ලට් එක ගොඩක් රසවත්. Chocolate clair කියන්නේ මෙතැනට අලුතින් එකතුවුණු රසකැවිල්ලක්. ඔවුන් පිරිනමන Chocolate biscuit pudding නම් සුපිරි වෙළෙඳසැල්වලදීත් මිලට ගන්න පුළුවන්. ඒකත් ඉතාම රසවත් තේරීමක් හැබැයි ඒකේ පැණිරස ටිකක් වැඩියි කියලා තමයි මට නම් හිතෙන්නෙ.
ලංකාවේ පැරණිම චොක්ලට් වෙළෙඳ නාමයක් වන කැන්ඩොස් ඉදිරිපත් කරන මේ කැන්ඩොස් චොක්ලට් සාප්පුව ලංකාවේ ඉන්න ඕනම චොක්ලට් ලෝලියෙක් යා යුතු තැනක්.
♦ ධනූ
ඡායාරූප - Crossroad Media