ශ්‍රී ලංකාව යනු වර්ෂාපතනය ඉතා හොඳින් ලැබෙන රටකි. එහෙත් මෑත ඉතිහාසයේ සිදුවන ගෝලීය කාලගුණික වෙනස්කම් සමඟ අප රටට වැස්සට පෙර දැඩි ලෙස නියඟයෙන් බලපෑම් සිදුවුණු ආකාරය පසුගිය කාලයේදී අපට දැකගත හැකි විය. රට තුළ ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසඳුමක් ලෙස ලෝකයේ බොහෝ රටවල භාවිත කරන කෘත්‍රිම වැසි යොදාගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත්තේ නියං කාලවලදී බැටකන මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහාය.
මිනිසා විසින් සොබාදහම අභිබවා යාමක් ලෙස කෘත්‍රිම වැසි තාක්ෂණය සැලකෙන අතර එය නියං සහිත කලාපවලට වැසි ලබාගත හැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස ලොව පුරා භාවිතයට ගැනෙනු ඇත. අයනීකරණය වූ දූවිලි අංශු යොදාගෙන වළාකුළු නිර්මාණයෙන් අනතුරැව වියළි අයිස් යොදාගෙන ඒවා ක්ෂණිකව සිසිල් කිරීමෙන් අනතුරුව එම වළාකුළුවලින් වැස්ස ලබාගත හැකිය. බොහෝ කෘත්‍රිම වර්ෂා සඳහා යොදාගැනෙන්නේ සෝඩියම් අයඩයිඩ් හෝ සිල්වර් අයඩයිඩ්ය.
කෘත්‍රිම වර්ෂාව ඇති කිරීමේ පියවර තුනක් පවතින අතර එහි පළමු පියවරේදී සිදුකෙරෙනුයේ අයනීකරණය වූ අංශු ඉහළ යැවීමය. ගුවන් යානයක සිට ඒවා මුදාහැරීම හෝ රොකට් විදිනයන් ආධාරයෙන් මෙම අංශු අහසට විදීම කළ හැකිය. අයනීකරණය වූ කුඩා අංශු ලෙස කැල්සියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය යොදාගැනේ. එමෙන්ම යූරියා හා ලුණු මිශ්‍ර කිරීමෙන් හෝ යූරියා සමඟ ඇමෝනියම් නයිට්‍රේට් මිශ්‍රකර ලබාගන්නා රසායන සංයෝගයන්ද මේ සඳහා යොදාගැනෙනු ඇත.
දෙවැනි ක්‍රියාවේදී වළාකුළු සෑදීම සඳහා ලුණු, යූරියා, ඇමෝනියම් නයිට්‍රේට් හා වළාකුළේ ඝනත්වය වැඩිකිරීම සඳහා කැල්සියම් ක්ලෝරයිඩ්ද යොදාගනු ඇත. මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වාතයේ ඇති ජලවාෂ්ප කුඩා ජලබිඳිති බවට පත්වේ.
අනතුරුව තුන්වැනි පියවරේදී වළාකුළේ ඇති ජලය ඝනීභවනය කිරීම සඳහා වළාකුළු ක්ෂණිකව සිසිල් කිරීම කළ යුතුය. ඒ සඳහා වියළි අයිස් හා සිල්වර් අයඩයිඩ් යොදාගැනෙන අතර එවිට වළාකුළු වැස්ස බවට පත්වනු ඇත.
කෙසේ වෙතත් මෙය ස්වභාව ධර්මය වෙනස් කරන ක්‍රියාවලියක් නිසා මෙය සිදුකිරීමටත් පාලනය කිරීමටත් මනා පුහුණුවක් සහිත හා අත්දැකීම් සහිත පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍ය කරුණකි.
එම අවස්ථාවේ තිබෙන කාලගුණ තත්ත්වය, භූ විෂමතාව හා සුළඟේ වේගය මත හා එක්කරගන්නා රසායනික ද්‍රව්‍යයේ වර්ගය හා ප්‍රමාණය තීරණය වන අතර මෙම කෘත්‍රිම වැසි හේතුවෙන් අනාගතයේ ඇතිවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව අනාවැකි පළ කළ නොහැකිය. කෙසේ වෙතත් මෙරටට කෘත්‍රිම වැසි තාක්ෂණය මීට පෙර 1981 වසරේදීද සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ තායිලන්ත රජයේ ද සහාය ඇතිවය.
මෙවර මෙරටට වැඩි නොලැබෙන අවස්ථාවලදී ගොවීන්ට තම වගා කටයුතු කරගෙන යාමට ඇති ගැටලුවට පිළියමක් ලෙස කෘත්‍රිම වැසි ලබාගැනීමට චීනය සමඟ සාකච්ඡා කර ඇත්තේ දයා ගමගේ අමාත්‍යවරයාය.
මේ සම්බන්ධව දයා ගමගේ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
“මෙරටට වැඩි නොලැබෙන කාලසීමාවන්වලදී රටේ දුෂ්කර නියං සහිත දිස්ත්‍රික්කවල පදිංචි වෙලා වගා කටයුතු කරන ගොවි ජනතාව මුහුණපාන ගැටලුවලට විසඳුමක් ලෙස තමයි මෙම කෘත්‍රිම වැසි ලබාගැනීමට චීන රජය සමඟ සාකච්ඡා කළේ. වසර ගණනක අත්දැකීම් ඇති නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණ තමයි ඒ ගැන සාකච්ඡා කළේ. අපි චීනයෙන් පැමිණි දූත පිරිස එක්ක සාකච්ඡා කළාට පස්සේ ඒ අය නුවර, නුවරඑළිය, කොත්මලේ, අම්පාර යන ප්‍රදේශවල සංචාරය කරලා අධ්‍යයනය කරලා අතුරු වාර්තාවක් සකස් කර තිබුණා. පස්සේ එය අග්‍රාමාත්‍යවරයා වෙත බාරදුන්නා. මෙහෙම තාක්ෂණය යොදාගනිමින් වැස්ස ලබාගන්නා එම පිරිසගේ ක්‍රියාදාමය සාර්ථක වුවහොත් නියඟයට වගේම ගංවතුර තත්ත්වයටද විසඳුමක් ලබාගන්න පුළුවන්.
නියං කාලවලදී මෙරට නියඟයෙන් බැටකන ජනතාව වෙනුවෙන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.
► හසිත් අංජන