2018 ජුනි 09 වන සෙනසුරාදා

අම්ල පිත්තය තදින් නග්ගන කෑම ජාති

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2274

අම්ල පිත්ත රෝගය හා සම්බන්ධ විස්තරයක් පසුගිය සතියේදී“අපේ වෙදකම” ඔස්සේ විස්තර කළෙමු. මෙහිදී අම්ල පිත්ත රෝගයට හේතු හා වළක්වා ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරේ. ආයුර්වේදයට අනුව රෝගයක් ඇතිවීමට මූලික හේතුව වා, පිත්, සෙම් යන තුන්දොස්වල වෙනස්වීම හෙවත් විෂමතාවයයි.

අම්ල පිත්ත රෝගය සඳහා ඉහත දෝෂ තුනෙන් පිත් දෝෂයේ විෂමතාවය හේතුවේ. මෙහිදී නොකිපුණ හෙවත් ප්‍රකෘති ස්වභාවයෙන් පවතින පිත කටුක රසයෙන් යුක්ත අතර එය නොයෙක් හේතූන් නිසා විකෘති ස්වභාවයට පත්වී  එහි රසය අම්ල රසය බවට පත්වේ. මෙසේ පිත විකෘති වීම හෙවත් විදග්ධයට යාම නිසා පිත විසින් ඉටුකරන සිතේ සාමාන්‍ය ක්‍රියා, අඩපණ වී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙසේ ප්‍රධාන ලෙසට විකෘති වන්නේ. ආමාශය හා පත්වාශය මධ්‍යගතව පිහිටියා වූ විශේෂයෙන්ම ආහාර ජීර්ණය හා සම්බන්ධ ’පාචක” පිතයි. මෙසේ පිත විකෘති වීම නිසා පපුව, උගුර හා උදර මධ්‍ය ප්‍රදේශයේ දැවිල්ල ඇතිවේ. සමහර රෝගීන්ට ඇඹුල් රසට ආමාශයික යුෂ නිතරම උගුරට පැමිණේ. එවිට උගුරේ දැවිල්ල ඇතිවේ. ඇතැම් රෝගීන්ට ආහාර අරුචිය ඇතිවේ. එවිට ආහාර නොගැනීම නිසා තව තවත් රෝගය උත්සන්න වේ. එසේම සමහර රෝගීන්ට ආහාර ගත් විගස මළපහ පිට කිරීමේ අවශ්‍යතාවයද ඇතිවේ. ඇතැම් රෝගීන්ට මෙම රෝගය උත්සන්න වූ විට හිසරදය, මනසේ නොසන්සුන් බවද ඇතිවේ. සමහර අවස්ථාවලදී හිසේ කැරකැවිල්ල, ඔක්කාරයද ඇතිවේ. උදරයේ මධ්‍ය ප්‍රදේශයේ තුවාලයක මෙන් වේදනාවක්ද සමහර රෝගීන් පෙන්නුම් කරයි.

තවද අත්පා වල පවා දැවිල්ල ඇතිවීමා, සමේ කැසීම් ඇතිවීම, බිබිලි දැමීමද ඇතිවිය හැක. තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්ත ඔක්කාරය නිසා ඇතැම් විට කරකැවිල්ල ඇතිවී සිහිසුන් වීමටද පුළුවන. මීට අමතරව වෙනත් රෝග ලක්ෂණද ඇතිවිය හැක.

අම්ල පිත්ත රෝගය වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පවත්නා රෝගයක් ලෙස ප්‍රකටය. අතීතයට සාපේක්ෂව වර්තමානයේදී මිනිසුන්ගේ ජීවන රටාව අයහපත් ලෙස පවත්වාගෙන යාම නිසා රෝගී තත්ත්වය එදාට වඩා අද බහුල වේ. කාර්යබහුල ජීවන රටාවත් සමග මිනිසාගේ යහපත් ආහාර පාන පුරැදු, යහපත් හැසිරීම් රටා, (විහරණමය හේතු) වෙනස් වී ඇත. ඒ සමඟම බොහෝ මිනිස්සු වයස් භේදයකින් තොරව මානසික ආතතියෙන් පෙළෙති. පාසල් ළමුන් අතරද අම්ල පිත්ත රෝගය බහුල වී ඇත. මෙයට හේතු වී ඇත්තේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ඔවුන් තුළ පවත්නා අනවශ්‍ය මානසික ආතතිය, කලට වෙලාවට ආහාර නොගැනීම හා සංකර ආහාර රටාවන්ය.

ආහාරමය හේතු

ආයුර්වේදයට අනුව ආහාර යනු ප්‍රාණීන්ගේ ප්‍රාණයයි. ආහාර හේතුකොට රෝග ඇතිවන බවද ආයුර්වේදයේ පැහැදිලිව දක්වා ඇත. යහපත් ආහාර මිනිසාගේ නිරෝගී බවට මෙන්ම අයහපත් ආහාර මිනිසාගේ රෝගී බවටද හේතුවේ. වර්තමානයේ සමාජයේ පවත්නා බොහෝ බෝ නොවන රෝග සඳහා මෙන්ම අම්ල පිත්ත රෝගය සඳහාද ඍජු ලෙස හෝ වක්‍ර ලෙස ආහාරවල යම් බලපෑමක් ලබාදේ. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගය ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝගයන් නිසා අනෙක් රෝගවලට සාපේක්ෂව ආහාර මඟින් විශේෂ බලපෑමක් මෙම රෝගය කෙරෙහි ඇති කරයි.

විශේෂයෙන් ස්වභාවික ආහාරවලින් ඈත් වී කෘත්‍රිම ආහාරවලට ඇබ්බැහි වීමක් වර්තමානයේදී දැකිය හැක. කෘත්‍රිම ආහාර යනු රසකාරක (ආහාර රසගන්වන කෘත්‍රිම රසායන ද්‍රව්‍ය) වර්ණකාරක (ආහාර වර්ණ ගන්වන කෘත්‍රිම වර්ණකාරක) මෙන්ම තෙල්, සීනි හෝ ලුණු අධිකව අඩංගු ආහාර, අඩක් හෝ සම්පූර්ණ ලෙස පිසූ ආහාර වේ. මෙම වර්ණකාරක, රසකාරක මෙන්ම තිරකාරක යෙදූ ආහාර මගින් අම්ල පිත්තය රෝගය උත්සන්න වේ. රෝගය නොමැති රෝගීන්ට ඉහත කෘත්‍රිම ආහාර (කිරිපිටි, බිස්කට්, ක්ෂණික නූඩ්ල්ස්, මීට් බෝල්ස්, ජෑම්, සොසේජස්) වැනි ආහාර මගින් අම්ල පිත්ත රෝගය ඇතිවීමට අනුබලයක් ලබාදේ. එමෙන්ම කොත්තු, බදින ලද කට්ලට්, පැටිස්, ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර මගින්ද අම්ල පිත්ත රෝගය වර්දනය වේ. එසේම උෂ්ණාධික යැයි සම්මත, තක්කාලි, බලමාළු, කෙළවල්ලන්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි ආහාරද කුළුබඩු වැඩිපුර යෙදූ තෙල්, අධික මිරිස් සැර යෙදූ ආහාර, විශේෂයෙන් තිරිඟු පිටි යෙදූ ආහාර, අධික තේ කහට, කෝපි, කිරිපිටි වර්ග, මෝල්ට් කිරි වර්ග රෝගයට අහිතකර වේ. මේ නිසා මෙවැනි අහිතකර ආහාරවලින් වැළකී සිටීම අම්ල පිත්ත රෝගීන් වගබලා ගත යුතුයි.