2018 ජුනි 09 වන සෙනසුරාදා

වකුගඩු ලෙඩේට සරල ප්‍රතිකාර!

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 7003

වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමකට පත්ව තිබෙන අද මෙන් නොව අතීතයේ ඉඳහිට වාර්තා වූ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවල ගොදුරු බවට අද බොහෝ දෙනෙක් පත්වෙති. වර්තමානය වනවිට සැම නිවසකම එක් සාමාජිකයකු හෝ ගොදුරු කර ගැනීමට එවැනි රෝග සමත් වී ඇත. තාක්ෂණික දියුණුවත් සමඟ ලබාගන්නා අති සුඛෝපභෝගී ජීවන රටාව, අයහපත් ආහාර රටා, ප්‍රමාණවත් ව්‍යායාම් නොමැතිකම, ශාරීරික හා මානසික අවිවේකී බව මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානවම බලපා තිබේ.

බෝ නොවන රෝග අතුරින් කාලීන වකුගඩු රෝගය ක්‍රමක්‍රමයෙන් හිස එසවීමට පටන්ගෙන තිබීම එම තත්ත්වයේම කොටසකි. කාලීන වකුගඩු රෝගයේදී ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමඟ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවේ. මෙය නවීනම Chronic Kidney disease (CKD) ලෙස හඳුන්වයි. ඉතා සෙමින් වසර ගණනාවක් තිස්සේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙහිදී සිදුවන අතර මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වයි. සැලකිය යුතු ප්‍රතිශතයකින් වකුගඩු අකර්මණය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගන්නා බැවින් වකුගඩුවල නිරෝගීභාවය පිළිබඳ නිතරම සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් කරුණකි.

ලංකාවේ පමණක් නොව වකුගඩු රෝගය පිළිබඳ ලෝක ව්‍යාප්තිය සලකා බැලීමේදී එහි වැඩිවීමක් දක්නට ලැබේ. වයස්ගත වීමේදී ස්වභාවිකවම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවීමක් දක්නට ලැබේ. එසේම වැඩිහිටි ජනගහණය අතර කාලීන වකුගඩු අකරණය බහුලවම දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ කාලීන වකුගඩු අකරණය සඳහා බලපාන ප්‍රධානතම රෝග වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආශ්‍රිත ගල්, වකුගඩු ප්‍රදාහය, වකුගඩු බහු කෝෂ්ට රෝගය (Polycystic kidney disease) මුත්‍රා ආසාදන හා විශේෂයෙන් උතුරු මැද පළාතේ තවමත් නිශ්චිත හේතුවක් සොයා නොගත් වකුගඩු රෝගයයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය සහිත රෝගීන් නිසි ලෙස ඖෂධ හා අවශ්‍ය උපදෙස් පිළිපැදීම මගින් පාලනය කරගැනීමට නියමිත කාලවකවානුවලදී වකුගඩු පරීක්ෂා කරවා ගැනීමටත් වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතුය. එබැවින් එවැනි රෝගවලින් වකුගඩුවලට වන බලපෑම අවම කර ගැනීමට හැකිවනු ඇත.

එසේම වකුගඩු ප්‍රදාහ මුත්‍රා ගල් වැනි රෝග තත්ත්ව වලදී නිසි ප්‍රතිකාර ලබා ගැනීමද කළ යුතුවේ. මෙම රෝග තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පවතී. එබැවින් සුදුසු වෛද්‍යවරයකු හමුවී නියමිත ප්‍රතිකාර ලබාගැනීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීමෙන් වළක්වා ගත හැකිවේ.

වකුගඩු රෝගය වැළඳීමේ අවදානම වැඩි පුද්ගලයන් ලෙස, සියලුම දියවැඩියා රෝගීන්, සියලු අධිරුධිර පීඩන රෝගීන්, ළඟ ලේ ඥාතීන්ට වකුගඩු රෝගය ඇති පුද්ගයන්, දුම්පානය කරන්නන්. වයස අවුරුදු පනහ ඉක්ම වූ සියලු දෙනා දැක්විය හැකිය. මෙසේ අවදානමක් සහිත පුද්ගලයන් හඳුනාගත් විට ඔවුන් වසරකට වරක් පරීක්ෂාවන් සඳහා යොමු කරවීමටත් එමඟින් රෝගය හොඳින් පාලනය කිරීමටත් අවස්ථාව සැලසේ.

නිරෝගී වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. ශරීරයේ ස්ථුලතාවය වැඩිවීම රෝග රැසකට හේතු වනවා සේම එය වකුගඩු රෝග සඳහාද බලපාන බව මෑතකදී සොයාගෙන ඇත. නියමිත පරිදි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පවත්වා ගැනීමෙන් රෝග රැසකින් ආවරණය ලැබේ.

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සඳහා සමබල ආහාර වේලක් හා ක්‍රියාශීලී දිවිපෙවෙතක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා නැවුම් එළවළු, පළතුරු, පලාවර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම, කෘත්‍රිම ආහාර පාන, ක්ෂණික ආහාර වර්ග වලින් ඈත් වීම, සැහැල්ලු මනසක් පවත්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම්වල යෙදීම, එළිමහන් ක්‍රීඩාවල නිරතවීම, නිරතුරුවම ක්‍රියාශීලී වීම, එකම ස්ථානයේ එකම ඉරියව්වේ වාඩි වී නොසිටීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාම්වල නිරතවී වකුගඩු රුක ගැනීමට උදව් වේ.

රුධිර සීනි මට්ටම හා රුධිර පීඩනය හොඳින් පාලනය කර ගැනීම, ජලය පානය කිරීම, දුම්පානයෙන් වැළකීම, විශේෂයෙන් වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ දීර්ඝකාලීනව භාවිතයෙන් වැළකීම, නිසි ආහාර ගැනීම වැනි ක්‍රම මගින්ද වකුගඩු රැකගත හැකි වේ.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00