2018 ජුනි 16 වන සෙනසුරාදා

ෆේස්බුක් ලයික් කවියෝ රවට්ටනවා

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 343

පසුගියදා එකම දිනෙක කවිපොත් තුනක් දොරට වැඩි උත්සවයකි. සාර්ථක පාඨක සහභාගිත්වයක් ලැබුණු එහිදී රාජ්‍ය සම්මානලාභී කවියෙකු වන ටිම්රාන් කීර්තිගේ පෙම්බරියකගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇළකට, ඩොමිනික් චන්ද්‍රසාලිගේ කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව, දිමුතු ප්‍රදීප්ගේ ගඟුලක්ව නවතිමි යන පොත් සෝබා ප්‍රකාශන ලෙස නිකුත් කෙරිණි. එහිදී කවිපොත් නිකුත් කළ ටිම්රාන් කීර්ති දේශය වෙනුවෙන් තම සිතුවිලි අවදි කළේ මෙලෙසිනි.

ඔබේ අලුත් කවිපොතේ අපට දකින්න ලැබෙන කවිබස වෙනස්?

ඔව්. මගේ මුල්ම කවිපොත වූ සාදය සූදානම්ය (2009) ලිව්වේ ඒ දවස්වල හිතේ කරකැවුණු අදහස් කියාපාන්න. යන්නං චන්දරේ පොතේ (2014) භාෂාව තවත් වෙනස් ආරක් ගත්තා. පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇළකට පොත ලියනකොට භාෂාව තවත් වෙනස් වෙලා. කලින් මම පාවිච්චි කළ භාෂාවම තරමක් මටසිළුටු වීමක් මෙහි පේනවා. හැබැයි ඒක හිතල කරපු දෙයකුත් නොවෙයි.

ඔබේ යන්නං චන්දරේ කවිපොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා. ඊට පසු තවත් කවීන්ගේ පොත් සම්මානයට ලක්වුණා. මේ අතරින් ඔබ කැමති කවීන් ගැන පැවසුවහොත්?

මේ අතරින් ලක්ශාන්ත අතුකෝරළ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ගිය අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය හා රජත පුස්තක සම්මාන ලැබුණු ඔහුගේ සමහර කමටහන් පොත අපි වගේ අයට ඉගෙන ගන්න දේවල් තිබෙන කෘතියක්. අපේ පරම්පරාවේ පරිණත කවියා වශයෙන් මම දකින්නේ ලක්ශාන්ත. ඔහුගේ හැදෑරීම, සංයමය, ජීවිතේ දිහා බලන හැටි අපට ඉගෙනගත යුතු දේවල්. අපි කවි ලියන්නේ ඇවිදින ගමන්. ලක්ශාන්ත ලියන්නේ නතරවෙලා. අපි ලියන කවිවලට වැඩිය ගොඩක් ඉදිරියෙන් ඔහු ඉන්නවා.

ඔබ ප්‍රවීණ කවීන්ගෙන් ආභාෂය ලබනවාද?

ඔව්. අපි ඒ කවි කියවලා අභ්‍යාස කරනවා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ පොතෙත් තියෙන්නේ.

අද තරුණයන් විශාල වශයෙන් කවි ලියනවා. මුහුණුපොතේ කවි සුලබයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

අපි මුලින්ම කවි ලිව්වේ පත්තරවල කවි පිටුවලට. ඒවා සංස්කරණය වීමෙන් පසුවයි පළවෙන්නේ. අපිට ඕනෑම කරණමක් ඒවායේ ගහන්න බැහැ. සීමාවක් ඇතුළේ තමයි ලිවිය යුතු වන්නේ. නමුත් තාක්ෂණයත් සමඟ පැමිණෙන මූහුණුපොත, බ්ලොග් වගේ සමාජ මාධ්‍ය නිසා හිරවෙලා හිටපු කවියෝ ලියන්න පටන් ගන්නවා. ගුණාත්මක කවි ගොඩක් බිහිවෙන්නෙ නැහැ. නමුත් කීපදෙනෙක් හොඳ කවියෝ ඒවායින් බිහිවෙනවා. මම අන්න ඒකට ආසයි. රැවන් බන්දුජීව, ඉන්දික ගුණවර්ධන වගේ කවියො බිහිවුණේ මුහුණුපොත හරහා. මේ මාධ්‍යයේ නෙවෙයි වරද තියෙන්නේ, මිනිසුන් මාධ්‍ය අල්ලාගන්නා විදිහෙයි.

කවිය දියුණු තැනකට පත්වෙලාද?

පොදුවේ ගත්තම සුබවාදී තැනක කවිය තබන්න පුළුවන්. නමුත් වෙනත් කෙනෙක් වගේ ලියන්න හුරුවෙච්ච පිරිසකුත් මූණුපොතේ ඉන්නවා. පිරිසකට මම වගේ ලියන්න ඕනෑ වෙනවා. තවත් පිරිසක් රුවන් බන්දුජීව අනුකරණය කරන්න, ධර්මසිරි බෙනඩික් අනුකරණය කරන්න පුරැදුවෙලා. මෙහෙම ලියපු කවි ෆේස්බුක් එකට දාපුවම ලයික් ඉහළ නගින දිහා බලලා හුඟදෙනෙක් ඉහළට හිතනවා. නමුත් මේ මාධ්‍යවලට ඇලීම වැරදියි. එහෙම වුණහම ඒකෙ තියෙන හෙවණැලි තමයි කවියට වැටෙන්නෙත්. නමුත් මේ හෙවණැලිවලට හසුනොවී තමන්ගේ මාවතේ ඉදිරියට යන කවීන් ඉන්නවා. නඳුන් යසිත දසනායක ඒ වගේ කෙනෙක්. 

අද සමාජයේ කවිපොත්වලට ඉල්ලුමක් ඇතිවෙලා නේද?

කලකට පෙර කවිපොත් ඉල්ලුමක් නැති පාරිභෝගික භාණ්ඩයක් විදිහටයි සැලකුණේ. අද එහෙම නැහැ. ප්‍රකාශකයොත් ඉදිරිපත්වෙලා තිබෙනවා. කවිපොත් විකිණීමට නිර්මාණාත්මක ක්‍රම සොයාගත යුතුයි. එවිට කවිය තවත් ප්‍රචලිත වේවී.

 කුසුම්සිරි

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00