2018 ජුනි 23 වන සෙනසුරාදා

කූල් බොන කොට හිරිවැටෙන දත්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 441

මනුෂ්‍යයාගේ නිරෝගී පැවැත්ම උදෙසා ඉතාමත් වැදගත් වන සාධකයක් ලෙසින් මුඛ සෞඛ්‍යය හැඳින්විය හැක. එහිදී දත් හා විදුරැමස්වල නිරෝගී බව පවත්වා ගැනීම හා ඒ ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර සිදුකිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. යහපත් මුඛ සෞඛ්‍යය නිරෝගී ජීවිතයකට පිටිවහලකි. රෝගවලින් තොරව දීර්ඝායුෂ විදීම සඳහා ආයුර්වේදයේ දක්වා ඇති දිනචර්යා විධි අතර මුඛ සෞඛ්‍ය රුකගැනීම සම්බන්ධයෙන් ද උපදෙස් ලබාදී ඇත.

දරුවකු කුස පිළිසිඳගෙන ගැබට මාස 6-8 පමණ කිරි දත් මෝදු වීම පටන්ගනී. පසුව දරුවා ඉපදී මාස 6-7 වනවිට කිරි දත් මතුවීමට පටන්ගෙන අවුරුදු 2-3 පමණ වනවිට කිරි දත් විස්සක් පමණ හටගැනීම සිදුවේ.

කිරිදත් වැටී ස්ථිර දත් පසුව වර්ධනය වීමක් සිදුවේ. අප දන්ත සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ කිරි දත් මතුවීම පටන්ගත් අවස්ථාවේ සිටය. අනවබෝධය නිසා කිරිදත් ආරක්ෂා කරගැනීමට වැඩි සැලකිල්ලක් නොදක්වන අවස්ථා අපට බොහෝ හමුවී ඇත. ඒ හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවූ අවස්ථා ද ඇත. එබැවින් කුඩා කල සිට දත් හොඳින් මැද විෂබීජවලින් ආරක්ෂා කරගත යුතුය.

කිරිදත් ඉතා ඉක්මනින් දිරාපත් වීමට ඉඩකඩක් ඇත. කිරිදත් කළු පැහැ වී දිරාපත් වීමට ලක්වූ විට ඉතා පහසුවෙන් විදුරැමස් විෂබීජ ආසාදනයට ලක්වේ. දත්වල වේදනාව, විදුරැමස් ඉදිමීම සිදුවිය හැක. සෑම කෑම වේලකටම, කිරි වේලකටම පසු දරුවාගේ මුඛය පිරිසිදු කළ යුතුය. කිරිදත් නිසි පරිදි ආරක්ෂා කර නොගතහොත් එමඟින් පසුව එන ස්ථිර දත්වලට ද බලපෑමක් එල්ලවීමට ඇති ඉඩකඩ වැඩිය. මුඛ සෞඛ්‍යයේදී අප වැඩි අවධානයක් යොමුවන්නේ දන්ත සෞඛ්‍යයටය. එහිදී මූලික අඩිතාලම දැමිය යුත්තේ ළදරැ අවධියේ සිටය.

අප රටේ වැඩිපුරම දක්නට ලැබෙන මුඛ රෝගයක් ලෙසින් දත් දිරායාම හෙවත් දන්ත ව්‍යසනය, විදුරුමස් ප්‍රදානය හෙවත් පරිදන්ත රෝගය, මුඛ පිළිකා දැක්විය හැක. මෙම අවස්ථා තුනම මුඛ සෞඛ්‍ය රැකගැනී ඉතා පහසුවෙන් වළක්වා ගතහැක.
දත් දිරායාමේ මූලික ලක්ෂණයක් ලෙසින් උණුසුම් හෝ සිසිල් පානයක් ගන්නා විටදී දත් හිරිවැටීම, දත් දිරායාමේ මූලික ලක්ෂණය ලෙස දැක්විය හැක. එවිට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

දන්ත සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීමේදී දත් හොඳින් පිරිසිදු කිරීම නිවැරදි දත් මැදීම, නිවැරදිව දත් බුරුසු, දන්තාලේප භාවිතා කිරීම පිළිබඳ නිසි උපදෙස් පිළිපැදිය යුතු අතර මෙහිදී පෝෂණීය ආහාර ලබාගැනීමත් වැදගත් වේ.

එසේම ස්වාභාවයෙන්ම දත්වල ශක්තිමත්භාවය අඩු පුද්ගලයන් සිටිනා අතර දත්වල නිරෝගී භාවය පවත්වා ගැනීම පිළිබඳ මුල සිටම වඩාත් සැලකිලිමත් විය යුතුය.

විදුරුමස් හා දත් අතර කොටස් නිසියාකාරව පිරිසිදු නොකිරීම, පෝෂණ ඌනතා විවිධ රෝග නිසා (දියවැඩියාව, ලියුකේමියාව) හෝමෝන විපර්යාස දීර්ඝව ලබාගන්නා ඇතැම් ඖෂධ වර්ග ආදිය විදුරැමස් රෝග සඳහා හේතුවේ.

දත් මදිනා විට රුධිරය ගැලීම, විදුරුමස් කෙළවරවල් ඉදිමී තිබීම, විදුරුමස් රතු පැහැ ගැන්වීම, මුඛයෙන් දුඟදක් හැමීම ආදී රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය. දිගින් දිගටම රෝගී තත්ත්වය වැඩිවී විදුරුමස් තද කළවිට, රැධිරය හෝ සැරව මතුවීම, දත් අතර හිඩැස් මතුවීම, දත් දුර්වර්ණ වීම හා දත්වල ශක්තිමත්භාවය නැතිවීම ආදිය සිදුවේ. මෙවැනි රෝග තත්ත්වයක් ප්‍රතිකාර නොකර දීර්ඝකාලීනව පැවතීමෙන් විෂබීජ ශරීරගතවී මුඛය පමණක් නොව සමස්ත ශරීරයටම බලපෑම් ඇතිවිය හැක. විෂබීජ ආසාදනය වීම මගින් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රීයන් ද රෝගී තත්ත්වයට ගොදුරු විය හැක.

ගර්භනී කාන්තාවන් පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබාගත යුතුය. ගර්භණී කාලය තුළ මව ලබාගන්නා පෝෂණීය ආහාර දරුවාගේ දත් පසුකාලීනව ශක්තිමත්ව වර්ධනය වීමට හේතුවනවා සේම මවගේ දත් ආරක්ෂා වීමට හා විදුරුමස් රෝගවලින් ආරක්ෂාවීමට ද වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මුඛ සෞඛ්‍ය රැකගැනීමට ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. දත් සේදීම සඳහා විශේෂිත වූ මුඛ සේදුම් කාරක, දත් මැදීම සඳහා දන්ත චූර්ණ වර්ග ද අඩංගුවේ. අතීතයේදී දත් මැදීම සඳහා දැහැටි කූරු භාවිතා කර ඇත. මේ සඳහා කොහොඹ, කරඳ, නිල, වරා, නුග, කුඹුක් යනාදී ඖෂධවල මුල් හෝ දළු කැබැලිවලින් සාදාගනී. දැහැටි කූරෙහි අඩංගු ඖෂධීය ගුණ මඟින් දත් රෝග නසයි. මුඛය සුවඳවත් කරයි.

මුඛ සෞඛ්‍ය රැකගැනීම සඳහා කුඩා කල සිටම දත් නිසායාකාරව පිරිසිදු කිරීමට දරුවන් පුරුදු කළ යුතුය. වරින් වර ආහාර ගනිද්දී, විශේෂයෙන් පැණිරස ආහාර ගැනීම් මඟින් නිරන්තරයෙන් මුඛයේ PH අගය අඩුවේ. එවිට දත් දිරායාමට එය හේතුවේ. මන්ද මුඛයේ ඇති ආහාර සමඟ බැක්ටීරියා ප්‍රතික්‍රියා වූ විට ආම්ලික මාධ්‍යයක් ඇතිවන බැවිනි. එබැවින් ආහාර ගත් සෑම අවස්ථාවකදීම මුඛය පිරිසිදු කළ යුතුය. ප්‍රධාන ආහාර වේල්වලට පසුව දත්මැදීම කළ යුතුය. පෝෂණය ගැන සැලිකිලිමත් වීමේදී කොළ පැහැති පලාවර්ග, කහපැහැති එළවළු, පළතුරු නිතර ආහාරයට ගන්න. අධික සිසිල්, උණුසුම් ආහාර පාන ගැනීමෙන් වැළකීම, හුණු, දුම්කොළ සහිත බුලත් විට කෑමෙන් වැළකීම, දුම්බීමෙන් වැළකීම ආදී ක්‍රම මඟින් මුඛ සෞඛ්‍ය රැකගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතුය. එය සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයකට මහත් උපකාරයක් වේ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00