2018 ජුනි 23 වන සෙනසුරාදා

මියන්මාරයේ සත් දවසක්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 413

බෞද්ධ රටක වන්දනාකරුවෙක් සිය පවුලේ පිරිස හා හිතුවතුන් සමඟ තවත් ථෙරවාදී බෞද්ධ රාජ්‍යයක් වන බුරුමයට චාරිකාවක් යයි. එහිදී ඔහු බොදු නටබුන්වලින් විශ්මිතව පහන් සිත් උපදවා ගනී. ඔහු සිය මව්බිමෙහි ඇති බෞද්ධ ඉතිහාසය බුරුමය සමඟ සසඳා බලයි. බුරුමයේ සරල ජන ජීවිතය ඔහු සිත සැහැල්ලුවට පත් කරයි.

මියන්මාරය හෙවත් බුරුමයට දින හතක චාරිකාවක් යන කේ. එම්. අයි. ස්වර්ණසිංහ එම අත්දැකීම් එකතු කර රචනා කළ මියන්මාරයේ සත් දවසක් මරදාන සූරිය ප්‍රකාශනයකි.

මෙහිදී කතුවරයා හුදු චාරිකා කෘතියක් ලියනවාට වඩා මානසික ගවේෂණයක් කරමින් පාඨකයාගේ මනස තළට ද බුරුමයේ බෞද්ධ සමාජය, එහි ජීවන රටා කාවැද්දවීමට උත්සාහ ගෙන තිබේ. කතුවරයාට බුරුමය ගැන කුතුහලය ඇතිවෙන්නේ ලාබාල වියේදීමය. ඒ බව ඔහු මෙසේ සටහන් කරයි. බුරුමය පිළිබඳ මගේ මතකය රැන්ගුන් තේක්ක සේම විස්මයාවර්ඟය. එකල අපේ කිරි අප්පච්චි කෙනකු බුරුම කිරි අම්මා කෙනකු හා විවාහ වී සිටි බව වැඩිහිටියෝ කියනු මම අසා ඇත්තෙමි. කිසි දිනෙක මේ බුරුම කිරි අම්මා මා දැක නැත. වැඩිහිටියන්ගේ කතාබහවලට අනුව, ඇය රන්වන් පැහැ ඡවි වර්ණ ඇත්තී දෙවඟනක මෙන් රූපත් ඇත්තියක වී සිටියාය. (12 සිට)

තම නොදුටු ඥාතිවරියගේ උපන් බිමට ස්වර්ණසිංහ යන්නේ වත්මන් ලේ නෑ පිරිස ද කැටුවය. එහිදී ඔහුට රන්වන් ඡවි වර්ණ ඇති බුරුම කතුන් හමුවේ. ඒ අතරින් ද ඔවුන්ට මගපෙන්වන සදාර් නම් තරුණිය හරහා ඔහු මේ චාරිකාව අපට විස්තර කරයි. මගේ බුරුම කිරි අම්මා ජීවමාන කරවමින් ඇය පියකරු රන්වන් ඡවි කල්‍යාණයෙන් යුක්ත වූවාය. එතරම් උස මහත නැති ඇය අත්යන්ත්‍ර රෙද්දකින් මැසූ ඉතා සුන්දර රෙද්දකින් සහ අත් දිගැති සුදු චාම් හැට්ටයකින් සැරසී සිටියාය. (21 පිට) 

මියන්මාරය ගැන විස්තර කරමින් ශ්‍රී ලංකාව සහ එරට අතර තිබූ ඓතිහාසික සබඳතා ද විටින් විට මතක් කරමින් කතුවරයා මේ චාරිකාවට පාඨකයන් කැඳවාගෙන යයි. මියන්මාරය හෙවත් අතීත බුරුමය, බෝතෝකොෂන් පැ‍ගෝඩාව, යැන්ගුන්හි චොක්හ්තන්ගි විහාරය, හවුස් ඔෆ් මෙමරීස් රෙස්ටොරන්ට් ආදී වශයෙන් පරිච්ඡේද 40ක් ඔස්සේ මෙම කෘතිය පෙළ ගස්වා ඇත.

බුරුමයේ බෞද්ධ ආගමික ස්ථාන, භික්ෂුන්ගේ ජීවිතය, ඔහු දැකබලා ගනී. මම පැටිකල දුටු රුන්ගුන් තේක්ක කැටයම්, තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් වැඩම කරවූ බුදුන් වහන්සේගේ කේශ ධාතු මෙන්ම, මියන්මාරයේ අති පූජනීය වූද ඓතිහාසික වූද සිද්ධස්ථාන ඉතා විශාල ප්‍රමාණයක් මම දුටුවෙමි. (250 පිට)

මියන්මාරයේ සත් දවසක් අපේ චාරිකා සාහිත්‍යයට එක්වූ අපූරු කෘතියක් බව පැවසිය යුතුය.

 පාඨක

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00