2018 ජුනි 23 වන සෙනසුරාදා

පිඟන් පිටින් ෆ්‍රයිඩ් රයිස් ගිලින ජපන්නු

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 254

මෙරට ඇති සුන්දරත්වය, ඉතිහාසය, සමාජය ඇතුළු දෑ ලෝකයට ඉදිරියේ නිරාවරණය කිරීමේ පෙරමුණේ රාළලා වන්නේ සංචාරක මාර්ගෝපදේශකයන් හෙවත් ගයිඩ් මහත්තුරුය. මේ එම ගයිඩ් මහතුන් කිහිපදෙනකු සමඟ කළ සංවාද සටහන් පෙළක විසි හය වැන්නයි. මෙවර ද අප හා කතාබහට එක්වන්නේ ජාතික සංචාරක මාර්ගෝපදේශකයකු වන කුරැප්පු ජයරත්න මහතාය. 2014 වසරේ සිට තම විවේක කාලය අනුව සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙන ඔහු ජපන් සහ ග්‍රීක භාෂාවලින් සංචාරක මාර්ගෝපදේශනයේ යෙදෙයි. 

ජපනයි - චීනයි පැටලෙන්නෙ නැද්ද?

ජයරත්න තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්ක ඉංජිනේරුවකු වශයෙනි. ඉන් අනතුරැව වාණිජ නාවික සේවා රැසකම ඉංජිනේරුවකු ලෙස සේවය කළ හෙතෙම සංචාරක ව්‍යාපාරයට අවතීර්ණ වන්නේ ජපන්, ග්‍රීක් වැනි ඉගෙනීමට අසීරු භාෂා කිහිපයක්ම හොඳින් ප්‍රගුණ කිරීමෙන් අනතුරුවය. ඔහු ජපන් භාෂාව උගත්තේ ජපානයේ නෞකාවල සේවය කළ අතරේදීය. 

ඈත පෙරදිග කලාපයේ වෙසෙන චීන, ජපන්, කොරියානු ජනතාවගේ ඇස් දකුණු ආසියාවේ, මධ්‍ය ආසියාවේ වෙසෙන මිනිසුන්ගේ ඇස්වලට වඩා වෙනස්ය; කුඩාය. හරියට සියලු දෙනාම එක සමාන අය මෙනි.

ඔයාලට චීන - ජපන් මිනිස්සුන්ව පැටලෙන්නෙ නැද්ද? කොහොමද මේ චීනෙක් මේ ජපනෙක් කියලා අඳුනගන්නේ? 

මගේ ප්‍රශ්නයට ජයරත්න කළේ සිනාසීමය. 

“ඕක මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ඇත්ත, ඇස් පුංචි මනුස්සයෙක් දැක්කම එයා චීනෙක් ද ජපනෙක් ද කියලා අඳුනගන්න අපේ අයට අමාරැයි. හැබැයි අපිට නම් දැන් දැක්ක ගමන් චීන ද ජපන් ද කියල කියතහැකි” 

ඔහු කියනා ආකාරයට ජපන් ජාතිකයන්ගේ ඇහි බැමට පහළින් ඇස ළඟ මඳක් ඉස්සී තිබේ. චීන ජාතිකයන්ගේ එසේ නැත. එමෙන්ම චීන්නුත් ජපන්නුත් දෙගොල්ලන්ම සුදු හමින් යුතු අය වුවද චීන ජාතිකයන්ගේ හමේ ඇත්තේ සුදට වඩා ළා කහ පැහැයකි. 

ෆ්‍රයිඩ් රයිස් සහ ගෝවා

ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත් සේම ජපනුන්ට ද බත් යනු ඉතාමත් හුරුපුරුදු ආහාරයකි. අපේ ඈයන් තරම් අධික ලෙස බත් කෑමට නොගත්ත ද එළවළු, මාළු සමඟ තරමක් බෙරි වන්නට කැටි ගැසුණු බතක් ආහාරයට ගැනීම ජපනුන්ගේ සිරිතයි. එනිසා ලංකාවට එන ජපන්නු බත්, මාළු පිනි කෑමට ඔරොත්තු දෙති.

“එයාලා මෙහේ වෑංජන අතරින් වැඩියෙන්ම කැමැති ගෝවා මාළුවට. සමහරවිට ඒකෙ මිරිස් ගතිය අඩු හින්දා වෙන්න ඇති” 

ජයරත්න කියන හැටියට ජපන්නු ආසා කරන තවත් කෑමක් වන්නේ ෆ්‍රයිඩ් රයිස්ය. සාමාන්‍ය බත්, මාළු පිනි කෑමට වඩා කටට රහට හැදූ ෆ්‍රයිඩ් රයිස් පිඟානක් වුව ගිල දැමීමට ජපන්නු හපන්නු ය.

නහී වේරේන වේරානි

ජපනුන් සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ අවියෝජනීය මිතුදමකි. රටවල් දෙකේම බහුතර ජනතාව බෞද්ධයන් වීම එම මිත්‍රත්වයේ පදනම වුවද ජපානයත් ශ්‍රී ලංකාවත් අතර සම්බන්ධය නොකැඩිය හැකි ශක්තිමත් මිතුදමක් වීමේ හේතුව හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජිත වූ ජපානයට තමන්ගේ යුද ක්‍රියාකාරකම් නිසා හානියට පත් රටවලට වන්දි ගෙවීමට නියම කළ 1954 සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවට ලංකාවෙන් සහභාගී වූයේ එවකට කොතලාවල ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනය. ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී නහී වේරේන වේරානි (වෛරයෙන් වෛරය නොසංසිඳේ යන අර්ථය රුගත් දීඝායු ජාතකයේ පාඨයක්) ගාථාව කියමින් බෞද්ධ රටක් වන ජපානයෙන් වන්දි අනවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියා සිටි අතර එය නූතන ජපාන ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක් ලෙස ද සටහන් වී තිබේ. එතැන් පටන් ජපානය හා ලංකාව අතර ඇති වූයේ දැඩි මිතුදමකි. 

මම අහලා තියෙනවා ඔය ජයවර්ධනපුර රෝහල අපට දෙද්දී ජපානේ අගමැති ජේ. ආර්.ගෙන් අහලා තියෙනවා අපි ඉස්පිරිතාලයක් පරිත්‍යාග කරන්න කැමැතියි ඇඳන් කීයක් ඕනෙද කියලා... ඔය කාලෙදිම තමා ජපානෙ පකිස්තානෙටත් රෝහලක් පරිත්‍යාග කරලා තිබුණේ. ජේ. ආර්. ජපන් අගමැතිගෙන් අහලා පකිස්තානෙට දීපු රෝහලේ ඇඳන් කීයක් තිබුණද කියලා. ඇඳන් දාහක් කිව්වම ජේ. ආර්. කියලා තියෙන්නේ එහෙනම් ඇඳන් 1001ක් තියෙන රෝහලක් මට දෙන්න කියලයි. ජයරත්න මහතා අතීත කතාවක් සිහිපත් කළේය. 

“මට එකපාරක් ජපානේ ගිහින් ඉද්දිද්දි ජේ. ආර්. ජනාධිපතිතුමාව මුණගැහුණා. ඒ කමකුරාවලදි”

කමකුරා යනු ජේ. ආර්. ජයවර්ධනයන්ගේ පිළිරැවක් ඉදිකරන ලද ස්ථානයකි. ජයරත්න මහතා එකල නැව් කර්මාන්තයේ යෙදෙමින් ජපානයට ගොස් සිටි අවස්ථාවකදී තම මිතුරකුගේ මාර්ගයෙන් ජනාධිපති ජේ. ආර්. මුණගැසුණි. 

“එතුමා එදා ඒ ඇවිල්ලා හිටියේ කමකුරාවල එතුමාගේ පිළිරැව විවෘත කිරීමේ අවස්ථාවටයි” 

ජපානය හා ලංකාව අතර ඇති මෙම දීර්ඝකාලීන මිතුදමට හේතු වුණු කාරණා මොනවාදැයි ලංකාවට එන ජපන් සංචාරකයෝ ද හොඳහැටි දැනුම්වත්ය. විශේෂයෙන්ම වයස්ගත ජපන් ජාතිකයෝ ලංකාවට, ජේ. ආර්. ජයවර්ධනට විශේෂ ළෙන්ගතුකමක් දක්වන බව ජයරත්නගේ අත්දැකීමයි. 

සීගිරියට පෙම් බඳින ජපන්නු

ජනවාරි පළමුවැනිදා යනු ජපන් ජාතිකයන්ට ආගමික අතින් ද වැදගත් දිනයකි. ජපානයේ සිටිද්දී ඔවුන් ජනවාරි පළමුවැනිදාට සාමාන්‍යයෙන් කරන්නේ පන්සල් යෑමය. උදෙන්ම පන්සලට ගොස් ආගමික වතාවත් සිදුකොට පඬුරු දමා ඝණ්ඨාරය නාද කිරීම ඔවුන්ගේ සිරිතයි. ඔවුන් එසේ වැඩිපුර යන්නේ ජින්ජා ලෙසින් හැඳින්වෙන බෝධිසත්ව පන්සල්වලටය. ලංකාවේ සංචාරය කරන අතරතුරදීද ජනවාරි පළමුවැනිදාට පන්සල් යාම ජපනුන්ගේ සිරිතයි.

ජපානය යනු මහායාන බුදුදහම, සෙන් බුදුදහම ජනප්‍රිය රටකි. ලංකාවේ ජනප්‍රිය වී තිබෙන්නේ ථෙරවාදය වුව ද ඔවුහු එහි ලොකු වෙනසක් නොදකිති. ලාංකික බෞද්ධයන් සේම දළදා මාලිගාව වන්දනා කරන්නට ද ඔවුන් දක්වන්නේ මහත් කැමැත්තකි. 
දළදා මාලිගය වගේම දඹුල්ල ලෙන් විහාරයටත් ඒගොල්ලෝ කැමතියි. හැබැයි කොයි කවුරැත් වගේ ඒගොල්ලෝත් ගොඩක්ම කැමති සීගිරියට තමා. සීගිරිය කිව්වම මතක් වුණේ, එක පාරටක් මාර වැඩක් වුණානේ...

ඔහුට කතාවක් මතක් විය. 

“මම එක පාරක් ජපන් පවුලක් එක්ක අනුරාධපුර, පොළොන්නරු පැත්තේ ගියා. සීගිරිය නගින්න යද්දි ජපන් පවුලේ තරැණ ගෑනු ළමයෙක් හිටියා. එයා විතරයි ආවේ. එදා සීගිරියේ මොකක්හරි නඩත්තු කිරීමක් යන දවසක. ඉතින් ඒ වෙනුවෙන් හදලා තිබ්බ පොඩි යකඩ පාලමකින් යන්න ගිහින් මේ ගෑනු දරැවා කකුල පැටලිලා වැටෙන්න ගියා. වැටුණනම් අඩි සිය ගාණක් පල්ලෙහාට වැටෙනවා. හැබැයි මට ඉක්මන් කරලා එයාව අල්ල ගන්න පුළුවන් වුණා”

එය සංචාරකයාට ජයරත්නට පමණක් නොව සියලුදෙනාට බිය ගෙන දුන් මොහොතක් විය. ජයරත්න නිසි මොහොතේ ඇයව අල්ලා නොගන්නට කතාව මීට වඩා දුක්බර සේම බියකරු වන්නට ඉඩ තිබුණි.

“පස්සේ ඒගොල්ලෝ මට සතුටට ඩොලර් 500කුත් දෙන්න හැදුවා. ඒත් මම ඒක ගත්තේ නෑ. මම ඒ සල්ලි ගත්තනම් අර කරපු උපකාරෙත් වැඩක් නැතුව යනවනේ”

ලංකාවෙ මිනිස්සු හරි කම්මැලියි නේද? 

අපි ජපන් ජාතිකයන්ගේ කඩිසරකම ශූර බව ගැන නොයෙකුත් කතා අසා ඇත්තෙමු. කලට වේලාවට වැඩකරන්නට ජපනුන් දක්වන කැමැත්ත වගේම කලට වේලාවට වැඩ නොකරන්නන් ගැන ඔවුන් තුළ ඇති නුරැස්නා ස්වභාවය ගැන ද මුළු ලෝකයේම ප්‍රසිද්ධය. ජපන් පිරිමියා මෙන්ම කාන්තාව ද හරි හරියට වැඩ කරන්නට රුසියෝය. 

මම ඉස්සර ජපානෙට යද්දි ඒ කියන්නේ හැත්තෑ ගණන්වල වරායේ නැව්වල බඩු බාන්න හිටියෙත් ගෑනු අය. අපිට නම් ඒක හරි අමුතුයි වගේම දුක හිතෙන දර්ශනයක්. ඒත් ගෑනු අය කිසි නෝක්කාඩුවක් නැතුව බඩු බාන වැඩේ කළා.

ජපන් කාන්තාවගේ ශූර බවත් කඩිසරකමත් ගැන අපි උගත්තේ ඔෂීන් ටෙලි කතා මාලාවෙනි. දෙවැනි ලෝක යුද්ධයෙන් දරුණු ලෙස බැට කෑ ජපානයට කෙටි කලකින්ම යළි හිස ඔසවන්නට හැකිවූයේ ද බින්දුවටම වැටී තිබුණු රට ගොඩගන්නට ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලු දෙනා කැපවූ නිසා බව ද නොරහසකි. ලාංකිකයන් බහුතරයක් තුළ නැත්තේ ද මේ කඩිසරකමය. 

ලංකාවේ මිනිස්සු හරි කම්මැලියි නේද? ඇතැම් ජපනුන් ලංකාවේ සංචාරය කරන අතරවාරයේදී ජයරත්නගෙන් අසන්නේ දින කිහිපයක්ම ලාංකිකයන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමෙනි. ඒ වෙලාවට කරබාගන්නවා ඇරෙන්නට ඔහුට කරන්නට වෙන යමක් ඉතිරි වන්නේ ද නැත. 

(තවත් කොටසක් ලබන සතියේ) 

 රජිත ජාගොඩ ආරච්චි