2018 ජුනි 23 වන සෙනසුරාදා

රජගලින් මතුවූ රාජකීය මානවයා

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 542

“අපි මේ කැණීම සඳහා තෝරාගත්තේ රජගල කන්ද මුදුනේ තිබෙන මහ ලෙන කියන ලෙනයි. එය ලෙන් 100 පමණ තිබෙන අක්කර 1050ක් පුරා විහිදුනු රජගල පුරාවිද්‍යා භූමියේ විශාලම ලෙනයි. දුෂ්කර ගමන් මාර්ගයක් සහිත ආරක්ෂිත ස්ථානයක මෙම ලෙස පිහිටා තිබෙනවා. විශාල පිරිසකට එහි වාසය කළහැකියි.” රජගල කැණීම් පිළිබඳව අප සමඟ එසේ අදහස් දැක්වූයේ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගාමිණී රණසිංහය.
අම්පාර රජගලතැන්න කන්ද ආශ්‍රිතව පිහිටි පුරාවිද්‍යා භූමියෙන් ප්‍රාග්ඓතිහාසික සාධක තහවුරු කරගැනීම සඳහා ආරම්භ කළ කැණීම්වල දෙවැනි අදියර ඉකුත් දා සිදුකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලය විසින් සාමූහිකව මෙම කැණීම් සඳහා දායකත්වය දක්වයි. මෙහි පළමු කැණීම 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර එහිදී සොයාගත් සාධක මත මේ වර්ෂයේ කැණීම් ආරම්භ කර තිබේ. එම කැණීම්වලදී මධ්‍යශිලා යුගයටම අයත් යයි සැලකිය හැකි සාධක හමුවී තිබේ. ඒ නැගෙනහිර පළාතෙන් හමුවූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානයයි.

මෙම කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩවලගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අංශයේ ආචාර්ය ගාමිණී රණසිංහ, මහාචාර්ය පද්මසිරි කන්නන්ගර, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය, නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ නිල්මල්ගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයුම් දායකත්වය ලැබුණි. මෙම කැණීම් ව්‍යාපෘතියේම මුල සිටම දායකත්වය දැක්වූ ආචාර්ය රණසිංහ මෙසේද පැවසීය.

“අපි ලෙන තුළ පැරැණි කැණීම් වළවල්වල කැණීම් සිදුකරන අතරම අලුතින් පරීක්ෂණ වළවල් දෙකක් ආරම්භ කළා. මුල්ම සතියේ දින 7 - 8ක් යනකම් කිසිම සාධකයක් හමුවුණේ නැහැ. අපි හදිසියේ තීරණය කළා ගුහාවේ කෙළවරක මීටර් 2x2 ප්‍රමාණයේ කැණීම් වළක් ඇරඹීමට. එම වළ කැණීම් කිරීමේදී මුලින්ම ස්වභාවික ගල්පතුරු හමුවුණා. භික්ෂුන් වහන්සේලාට ජනාවාස ඉදිකළ අමුද්‍රව්‍ය හමුවුණා. මේ කොටස් ඉවත් කළ පසු අළු තට්ටුවක් ලැබුණා. ඒ පස් තට්ටුව ලැබුණු විට අපිට හිතුණා ප්‍රාග් ඓතිහාසික සාධක ලැබේවි කියලා. අපිට වර්ග අඩි 2ක පමණ ප්‍රමාණයක් කැණීම් කිරීමේදී අති විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබුණා. මෙම තොරතුරුවලින් ගුහාව භාවිත කළ අපේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ගැන විශාල චිත්‍රයක් මවා ගත හැකිවේවි. දැනට අපි කැණීම් නවත්වා තිබෙනවා ඉදිරියේදී කැණීම් කිරීම සඳහා.”

මිනිස් දත්, වඳුරන්ගේ දත්, කැකුණ ඇටවල පොතු, මසන් කාපු බවට තොරතුරු, පිඹුරා, හාවා, මීමින්නා, ගෝනා, මුවා, හම්බාවා, කුඩා හම්බාවා, වවුලා, ලෙහෙල්ලා කියන මාළු ඇටකටු මෙහිදී පස් අතර තිබී හමුවිය. මුහුදු ගොළුබෙල්ලන් හා මිරිදිය ගොළුබෙල්ලන් ද හමුව තිබේ. හමුවූ අස්ථි කොටස් තවදුරටත් හඳුනාගැනීමේ කටයුතු සිදුවේ. මෙලෙස සතුන් රැසකගේ ඇටකටු හමුවීමෙන් පෙනෙන්නේ එදා සිටි මානවයා දඩයම් කර අනුභවයට යොදාගත් භෝජනයේ පළල් බවයි. ඔවුන් කැකුණ ඇට වැනි ඇට වර්ග මෙන්ම වන සතුන් ද බහුලව භෝජනයට ගෙන තිබේ.

ක්ෂුද්‍ර ශිලා මෙවලම්

 

අපේ රටේ මධ්‍ය ශිලා යුගයට නිශ්චිතව කාල නිර්ණය කර ඇති තෙත් කලාපයේ ලෙන් වන කිතුල්ගල, බෙලිලෙන, කුරුවිට, බටදොඹ ලෙන, අලවල, පාහියංගල ලෙන වැනි ලෙන් කැණීම්වලින් ද මේ සතුන්ට සමාන සත්ව අවශේෂ ලැබී තිබේ. තෙත් කලාපයේ එවැනි නිශ්චිත සාධක හමුවී තිබුණ ද වියළි කලාපයේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක දුලබය. නැගෙනහිර පළාතෙන් එවැනි නිශ්චිත සාධක හමුවී නැතිවීමද රජගලතැන්නේ විශේෂත්වය ඉහළ නංවයි. ඒ අනුව ඓතිහාසික යුගයට පෙර යුගයේ ද මේ භූමිය මානව ජනාවාසයක්ව පැවති බව තහවුරු කිරීමට මෙම කැණීම ඉවහල් වේ. එවකට මානවයා භාවිතා කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැසක් ද මෙහිදී හමුවිය.

මෙහිදී ලැබුණු සාධක නිශ්චිතව කාල නිර්ණය කිරීම සඳහා මේ වනවිට ඉන්දියාවේ රසයනාගාරවලට යවා තිබෙන බව ආචාර්ය රණසිංහ අපට පැවසුවේය.

අම්පාර මහඔය උහන මාර්ගයේ රජගලතැන්න හන්දියෙන් හැරී කී.මී. 3ක් ගමන් කළ විට රජගල කන්දට ළඟාවීමට පුළුවන. දිගටි ස්වරූපයෙන් යුත් මේ කන්ද ඈතට පෙනෙන්නේ මුව අයා නිදා සිටින කිඹුලකුගේ ස්වරූපයෙනි. මෙහි උස අඩි 1038කි. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජු දීඝවාපිය පාලනය කළ කාලයේදී ගිරිකුම්භීල විහාරය කරපු බව මහාවංශය සඳහන් කරයි. ඒ විහාරය රජගල බවට මත ඉදිරිපත් වී තිබේ. මෙහි සෙල්ලිපි 70කට අධික ප්‍රමාණයක් හමුවී තිබේ. සෑම ලෙනක්ම පාහේ කටාරම් කොටා සකසා ඇත. මෙහි ක්‍රි.පු. යුගයට අයත් සෙල්ලිපි අතරින් වඩාත් වැදගත් වන්නේ මිහිඳු හිමි ඇතුළු පිරිස ගැන සඳහන් වන සෙල්ලිපියයි. “මේ දිවයිනට වාසනා මහිමය නිසා වැඩි ඉට්ඨිය හා මහින්ද තෙරුන්ගේ ථූපය යනුවෙන්” එම ලිපියේ සඳහන්ය. මිහිදු හිමියන් පිරිනිවන් පෑවේ උත්තිය රජ සමයේ බව මහාවංශය සඳහන් කරයි. උන්වහන්සේගේ ධාතු මෙහිද තැන්පත් කර දාගැබක් කරවූ බවට සෙල්ලිපිය සාක්ෂි සපයයි.

කැණීම්වලින් හමුවූ ධාන්‍ය

 

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය රජගල කැණීම් ආරම්භ කළේ 2012 දීය. එම කැණීම්වලදී පිළිමගේ, ලහබද්ගේ (භික්ෂුන් වහන්සේ දානයට පෙර හමුවූ ස්ථානය), ඡන්ථාඝරය (භික්ෂූන් වහන්සේ ඖෂධ ස්ථානය කළ ගොඩනැගිල්ල), දානශාලාව, බෝධිඝරය, දාගැබ් දෙකක් හමුවී තිබේ. රජගල කන්දට නැගීම සඳහා පුරාණයේ පැවති පෙත්මඟ පාදාගෙන ඒ අයුරින්ම සංරක්ෂණය කර අවසානය.

රජගල කැණීම්වලින් ඉදිරියේදී තවත් අපූරු සාධක මතුවීමට ඉඩ තිබේ. සත්‍යය ප්‍රබන්ධයට ද වඩා ආශ්චර්යජනකය යන ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ කියමන රජගලින් මේ වනවිටත් සැබෑවී ඇති බව තොරතුරු විමසන විට අපට පෙනේ.

 

►කුසුම්සිරි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00