2018 ජුලි 07 වන සෙනසුරාදා

දිවි රජදහන මැද අලි හෝටලය Elephant Reach

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

ආසියාවේ වැඩිම දිවි ගහනයක් වාසය කරන යාල අභයභූමිය කියන්නේ ලංකාවට එන සංචාරකයන් අනිවාර් යෙන්ම වාගේ ගමන් කරන තැනක්. Elephant Reach හෝටලය කියන්නේ මේ යාල සීමාවේම පිහිටා තිබෙන සුන්දර නවාතැනක්. එහි සිට කිරින්ද විහාරයටත් ධීවර වරායටත් ඇත්තේ මීටර 300ක දුරක් පමණයි. ඒ වගේම බූන්දල වනෝද්‍යානයත් සමීපයේම පිහිටා තිබෙනවා. එනිසාම පරිසරයට විවර වූ පරිසර හිතකාමී ‍හෝටලයක් ලෙස එය හැඳින්විය හැකියි.

දැනට අවුරුදු දොළහක් තිස්සේ ක්‍රියාත්මක මේ තරු හතරේ හෝටලය 2015 වසරේදී ජාත්‍යන්තර හොඳම වනජීවි නවාතැන ලෙස Lonely Planet මගින් ඇගැයීමටත් ලක්වුණා.

ෂැලේ මාදිලියේ නවාතැන් 21ක් සහ සාමාන්‍ය කාමර 14ක් වශයෙන් හෝටලයේ මුළු කාමර ගණන 35ක්. මේ කාමර සියල්ල ඉතාමත් සුන්දර නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන නිසාම බොහෝ සංචාරකයන්ගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්ව තිබෙනවා. 

සියලුම ෂැලේ කාමර වායු සමීකරණය කර තිබෙනවා. මනා ලෙස ඉඩකඩ පවතින නාන කාමර, උණු සහ ශීත ජලය, චන්ද්‍රිකා රූපවාහිනී, DVD, මිනි බාර්, ඩිජිටල් සේප්පුව, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් ආදී නවීන පහසුකම් රැසක් ඒවායේ අඩංගුයි. හෝටලය මගින් ඉතාම මෑතකදී හඳුන්වාදුන් නවාංගයක් තමයි යාල වෙරළේ කඳවුරු බැඳීමේ අවස්ථාව ලබාදීම. එය සංචාරකයන්ට ත්‍රාසය මුසු අත්දැකීමක් ළංකරනවා.

ඒ වගේම තම පවුල සමඟ නවාතැන් ගන්නා සංචාරකයන්ට තම කුඩා දරුවන් වෙනුවෙනුත් විශේෂ පහසුකම් රැසක් හෝටලයෙන් ලබාගත හැකියි. කුඩා ළමුන්ගේ විනෝද ක්‍රීඩා ඒකකය එක් උදාහරණයක්. Tusk’ වශයෙන් නම් කර තිබෙන හෝටල් අවන්හලේදී විවිධ රසැති ආහාර වර්ග ලබාගැනීමේ හැකියාව පවතිනවා. ඊට දේශීය ආහාරපාන වගේම වෙනත් පෙරදිග හා බටහිර ආහාර වර්ගත් ඇතුළත්. ‘Mahouts’ නම් බාර් අවන්හලේදීත් සම්මානනීය කොක්ටේල් සංග්‍රහ භුක්ති විඳිය හැකියි.

මේ හෝටලයට පැමිණෙන සංචාරකයන්ට යාල, බූන්දල, උඩවලව සහ ලුණුගම්වෙහෙර වැනි වනජීවී ගමනාන්තවලට අමතරව කතරගම, කිරි වෙහෙර, සිතුල්පව්ව, කිරින්ද, තිස්ස විහාරය වැනි ආගමික වටිනාකමක් ඇති ස්ථාන කරාත් පහසුවෙන් ළඟාවීමට පුළුවන්. බූන්දල වනෝද්‍යානයට හෝටලයේ සිට ඇත්තේ මිනිත්තු විස්සක දුරක්. එය පක්ෂීන් නැරඹීම සඳහා විශේෂිත තැනක් ලෙස (පක්ෂි වර්ග 149ක් සහ දකුණු පළාතේ එකම ස්වදේශික ෆ්ලෙමින්ගෝ ගහනය ඇති අභයභූමිය) ප්‍රකටයි. උඩවලව සහ බුන්දල අලින් නිසාත් ප්‍රසිද්ධියක් උසුළනවා. මීට අමතරව වීරවිල හා තිස්ස වැව ප්‍රදේශත් කුරුල්ලන් නැරඹීමට යෝග්‍යයි. 

ඒ වගේම ගොන් කරත්තවලින් ගමන් කිරීම, ගම්මානවලට ගොස් ගමේ කෑම රස විඳීම, මාළු ඇල්ලීමට යාම, බෝට්ටු සවාරි, කෘෂිකර්මාන්තය හා බැඳුණු සංචාර ආදී බොහෝමයක් ක්‍රියාකාරකම් මෙහිදී අත්විඳිය හැකියි. ජූලි මස අවසානය දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙන් Elephant Reach හෝටලය විශේෂ පැකේජ කිහිපයකුත් හඳුන්වාදී තිබෙනවා.

♦ සනත් වීරසූරිය