මතට මෙන්ම දුමට ද තිත තැබීම, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තියකි. එහි අරමුණ රටවැසියාගේ සෞඛ්‍යය හා ආර්ථිකය රුක ගැනීම බව කවුරුත් දනිති. එකී ප්‍රතිපත්තිය අනුව 2020 වන විට, දුම්කොළ වගාව ද මෙරටින් අතුරුදන් වීමට නියමිතය. එහෙත් එවිට, දුම්කොළ වගාවෙන් හා ඒ ආශ්‍රිත රැකියාවන්ගෙන් ජීවත් වන 700,000කට අධික ජනතාවක් පත් වන්නේ බලවත් දුෂ්කරතාවයකටය. වගකිව යුතු උදවිය දැනටමත් ඒ සඳහා විකල්ප සෙවීමෙහි යෙදෙති. එක් යෝජනාවක් වන්නේ කංසා නොහොත් ගංජා වගා කිරීමට අවසර ලබාදීමය. මෙයින්, දැනටමත් කංසා හේන් වගාවේ යෙදෙන්නවුන් මෙන්ම කංසා පානයෙහි ලොල් වූවන් ද මහත් සේ අමන්දානන්දයට පත්වනු නොඅනුමානය. පරණ බෝතල් පත්තර එකතු කිරීමෙන් ජීවත් වන සූස්ති සෝමේගේ භාෂාවෙන් කියනවා නම් මෙය නියම ආතල් යෝජනාවකි.
පටබැඳි නාමයෙන්ම ඇඟවෙන පරිදි සෝමේ අමුතු කල්පනාකාරයෙකි. පරණ පත්තර මිලදී ගැනීම සඳහා අප නිවසට පැමිණි අවස්ථාවක ඔහු ගංජා වගා යෝජනාව ගැන මගෙන් විමසා සිටියේය.
“අපිටත් බැරි වෙයිද සර් කංසා වවන්ඩ පර්මිට් එකක් ගන්ඩ?”
“තාම ඕක යෝජනාවක් විතරයිනේ”
“ආණ්ඩුවෙන් අපිට එහෙමවත් චාන්ස් එකක් දෙනවනම් ලොකු දෙයක් සර්. ජීවත් වෙන්ඩ හරි අමාරුයි.” ඒ දුප්පතාගේ කතාව ද ඇත්තය. මිනිස්සු ජීවත් වෙන්නේ ගංජා ගැසුවාක් මෙන් අන්දමන්ද වූ තත්ත්වයකය.
ලංකාව වැනි නොදියුණු රටවල “ගංජාකාරයා” යනු අපහාසාත්මක නාමයකි. එහෙත් අපිට ලොකුකම්, හැදිච්චකම් කියා දෙන මහා බ්‍රිතාන්‍යයේ ගංජා තහනමක් නැත. “ජී 7” රටවලට අයත් කැනඩාව ද මේ මෑතකදී ගංජා තහනම ඉවත් කළේය. ඒ නිසා එහි වැසියන්ට ළඟම තිබෙන ෆාමසියෙන් ද ගංජා මිලදී ගත හැකි වනු ඇත. එහෙත් ඒ ඖෂධයක් වශයෙනි. දැන් ශ්‍රී ලංකාව ද උත්සාහ කරන්නේ “ජී හතේ” අනෙක් රටවලට වඩා ඉස්සර වීමටය. ළඟදීම රජයේ අනුමැතිය ලත් අක්කර සීයක කංසා වගාවක් ඇරඹීමට නියමිතය.
වර්තමානයේදී නින්දාවට භාජනය වී ඇතත්, ගංජා නොහොත් කංසා පැළෑටියට ඇත්තේ නම්බුකාර දිගු ඉතිහාසයකි. ආයුර්වේදයට ගංජා ඉස්තරම් බෙහෙතකි. එහි ගංජා හැඳින්වෙන්නේ ත්‍රෛලෝක විජය පත්‍ර නමිනි. සංස්කෘතියෙන් ගන්ජිකා භාබන්ගාය. හිමාල අඩවියේ සරුවට වැඩෙන කංසා තවුසන් පවා ඖෂධයක් ලෙස භාවිතා කර ඇතැයි පතපොතෙහි සඳහන්ය.
විවිධ භාෂාවන්ගෙන් ගංජා හඳුන්වන නම් 1200කට වැඩිය. ඉංග්‍රීසියෙන් කැනබීස්, මරිජුවානා, වීඩ්, පොට්, ග්‍රාස්, ඩෝප්, ග්‍රීන් ගෙඩස්, 420, හැපි සිගරට්, රේනි ඩේ වුමන් හා මැජික් ස්මෝක් ආදි නම් රැසකි. සමාජයේ විවිධ තලවල පුද්ගලයන් ගංජා දුමට ලොල්ව සිටින බව නොරහසකි. විශේෂයෙන්ම ලොව සුප්‍රකට සංගීතඥයන්, ගායකයන් හා කලාකරුවෝ ඒ අතර වෙති. එසේ තිබියදීත් “ගංජා ගැසීම” නරක වැඩක් වී ඇත්තේ එය සෞඛ්‍යයට අහිතකර යැයි සැලකෙන බැවිනි. ප්‍රසිද්ධියේ ගංජා බීමට මැළිවන නමුදු, දුම් පානය හා මත්පැන් පානයට එම ‘ලජ්ජාව’ හෝ බිය නැත. ශ්‍රී ලංකාව දැන් සැරසෙන්නේ මෙම ලජ්ජා බය දෙක නැති කිරීමටය. ශ්‍රී ලංකාවේ ගංජා පානය හැඳින්වෙන්නේ ‘මලක් ගහනවා’ යනුවෙනි. ‘සුසනිස, ජොයින්ට් එකක්’ වැනි නම්ද භාවිත කෙරේ.
තම ගෙවත්තේ සාදික්කා, කරාබු වැනි ගස් සිටවාගත් උදවිය ඉන් හොඳ ආදායමක් ලබති. හැමෝටම ගෙවතු නැත. එහෙත් නුදුරු අනාගතයේදී මහල් නිවාසයක වෙසෙන්නකුට වුව පෝච්චිවල කංසා පැළ කීපයක් සිටුවා, ඉන් අමතර ආදායමක් ලබා ගත හැකි වනු ඇත. එම ගංජා ආදායමින් ඔහුට තම දරුවන්ගේ ටියුෂන් ගාස්තු හෝ විදුලි, ජල, දුරකථන බිල්පත් ගෙවාගත හැකි වෙයි. කංසා හේන් හිමියන්, තේ, පොල් වතු හිමියන් සේම පොහොසත් හා වැදගත් සමාජ තලයකට පැමිණෙනු ඇත. තේ, පොල්, රබර් වෙනුවට කංසා අපනයනය ලංකා ආර්ථිකයේ ඉදිරියටම එන දවස වැඩි ඈතක නොවේ.
“වගා සංග්‍රාමය” යනු අපේ රටේ කලින් කලට ඇසෙන, යළි නෑසී යන වැඩපිළිවෙළකි. එහෙත්, වගාවට නිසි තැනක් නැති නිසා, ජනතාව ඒ කෙරෙහි දක්වන්නේ උදාසීනතාවකි. කංසා වගා සංග්‍රාමයක් තුළින් ඔවුන් ප්‍රබෝධමත් හා දිරිමත් කළ හැකිය. අපනයනය කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළ තුළම ඔවුන්ට හොඳ ආදායමක් ලබාගත හැකි වනු ඇත. කුඩා තේ වතු මණ්ඩලය මෙන්ම, කුඩා කංසා වතු මණ්ඩලයක් ද ඇති කොට, ප්‍රාදේශීය කංසා වැවිලිකරුවන්ට සහාය විය යුතුය. කංසා වගාව හා අපනයනය විෂය බාර ඇමැතිවරයකු ද පත් කළ හැකිය. ඒ සඳහා අත්දැකීම් ඇති, පළපුරුදු “කංසාවේදීන්” දේශපාලන ක්ෂේත්‍රයෙන් ඕනෑතරම් සොයාගත හැකිය.
ගෘහ කර්මාන්තයක් වශයෙන් ද කංසා එතීම පුරුදු කළ හැකිය. එමගින් පාසල් හැර ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම ටෙලිවිෂනය ඉදිරියේ කාලය කා දමන ගෘහණියකට ආදායමක් ඉපැයිය හැකි වෙයි.
ශ්‍රී ලංකාව කංසා වගාවේ යෙදෙන රටක් වශයෙන් ලෝකයේ ප්‍රසිද්ධියට පත්වීම, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද හේතු වෙයි. “සංචාරකයන් සිනාවෙන් පිළිගන්න” යන්න ප්‍රචාරණ පාඨය එවිට වඩාත් අර්ථවත් වෙයි. ශ්‍රී ලාංකිකයන් නිතරම සිනාසෙන්නේ ගංජා නිසා යැයි සංචාරකයන් අවබෝධ කරගනු ඇත.
පසුගිය දිනෙක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිටුපස පැවති මාධ්‍ය සංදර්ශනයකදී එක් මාධ්‍යවේදියෙක් ඇමැතිවරයකුගෙන් මෙසේ ප්‍රශ්න කළේය.
“ඔබතුමන්ලා දුම්කොළ වගාවට තිත තියලා කියලා කංසා වගාව ආරම්භ කරන්න යනවා කියන්නේ ඇත්තද?”
“ඔව්. අපනයන භෝගයක් හැටියට දියුණු කිරීමයි අපේ අදහස.”
“එතකොට දැන් රටේ තියෙන කංසා හේන් නීත්‍යානුකූල වෙනවද?”
“ඔව්. ඒත් හේන් කියන වචනය තහනම්. කංසා ගොවිපළ කියලා යොදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කංසා ඔසු උයන”
සභාවේ සිටියෝ සිනාසෙන්නට වූයේ ගංජා ගැසුවාක් මෙන් නොනවත්වාය.
“බනානා රිපබ්ලික් නොහොත් ‘කෙසෙල් රාජ්‍යයක්’ ලෙස හැඳින්වෙන්නේ අවුල් වියවුල්වලින් පිරි අස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති, අනුන්ගෙන් යැපෙන දිළිඳු රටවලටය. මුල් කාලයේදී මෙම නම යෙදුණේ අමෙරිකාවට කෙසෙල් සැපයීම එකම ආදායම් මාර්ගය කරගත් ලතින් අමෙරිකානු රටවලටය.
වැලේ වැල් නැතුව සිටින සිරි ලංකාවට ද දැන් ගණ දෙවි නුවණ පහළ වී ඇත. අනාගතයේදී රට මිල මුදල්වලින් පිරි, රටවැසියා සුඛිත මුදිත වෙනවා මෙන්ම රටේ නමද “ගංජා රිපබ්ලික්” යනුවෙන් වෙනස් කෙරෙනවාට සැකයක් නැත. අනාගතයට ආතල් මල් පාරක් විවෘත වී තිබේ.
►කපිලකුමාර කාලිංග