2018 ජුලි 14 වන සෙනසුරාදා

පාපන්දු යුද්ධය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

හොන්ඩියුරාස් හා එල්සැල්වදෝර්, මධ්‍යම අමෙරිකාවේ පිහිටි රාජ්‍ය දෙකක්. සිතියමේ රාජ්‍ය දෙක දෙස බැලූ බැල්මෙන්ම ඔබට ප්‍රමාණයන් අතර වෙනස වැටහේවි. එනම් හොන්ඩියුරාස් එල් සැල්වදෝරයට වඩා කිහිප ගුණයක් විශාල බව.

නමුදු ජනගහණය අනුව එල්සැල්වදෝරයේ ජනගහණය සාපෙක්ෂව අධිකයි. මේ හේතුවෙන් විසිවැනි සියවස ආරම්භයේ සිටම සැල්වදෝර් වැසියන් වාසස්ථාන සොයා හොන්ඩියුරාස් වෙත අනවසරයෙන් සංක්‍රමණය වනවා. 1960 දශකය වන විට හොන්ඩියුරාසයේ ජනගහණයෙන් 20%ක්ම සැල්වදෝර් නියෝජනයක්.

ඔස්වල්දෝ ලෝපේස් (Oswaldo López Arellano) හමුදා කුමන්ත්‍රණයකින් හොන්ඩියුරාසයේ බලයට පත්වෙනවා. ඔහුගේ දූෂිත පාලනය හා බහුජාතික සමාගම් සමඟ සිදුවන ගනුදෙනු හේතුවෙන් රට තුළ අර්බුදයක් මතුවෙනවා. මෙම අවස්ථාවේදී ඔස්වල්දෝ තමාට එරෙහිව නැඟෙන චෝදනා වෙනතකට හැරවීමේ අරමුණින්, හොන්ඩියුරාස් තුළ අර්බුද ඇතිවීමට හේතුව අනවසර සැල්වදෝර් සංක්‍රමණිකයන් බව දිගින් දිගටම ගෙනහැර පානවා. ඔහු විසින් නව ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ද හඳුන්වාදෙන අතර එයින් සැල්වදෝර් සංක්‍රමණිකයන් සතුව ඇති ඉඩම් නැවත හොන්ඩියුරාස් වැසියන් වෙත පවරනවා. දෙපිරිස අතර වෛරය උග්‍ර කරමින් සැල්වදෝර් වැසියන් ඉලක්ක කොට වාර්ගික ගැටුම් දියත් වෙනවා.

1970 මෙක්සිකෝ FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තීරණාත්මක තරගයකදි හොන්ඩියුරාස් හා එල් සැල්වදෝරය හමුවන්නේ මෙවන් වටපිටාවක් තුළයි. ලෝක කුසලානය නියෝජනයට මෙම තරගය ජයගත යුතුමයි. හදවත් තුළ බුර බුරා නැඟෙන කෝපය පිටකිරීමට ක්‍රමයක් සොයමින් සිටි දෙපිරිසම අනිකා රිදවීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

පළමු තරගය හොන්ඩියුරාසයේදී පැවැත්වෙන අතර එහිදි ගෝල 1-0 ලෙස හොන්ඩියුරාසය ජයගන්නවා. තරගයට පෙර දිනයේදි හොන්ඩියුරාස් පිරිස් විසින් සැල්වදෝර් කණ්ඩායම ලැගුම්ගත් හෝටලය වටකර ශබ්ද කරමින් රාත්‍රිය පුරා බාධාකර තිබෙනවා. තරගය පරාජය වීමෙන් දුකට පත් ‘ඇමෙලියා’ නම් කතක් සියදිවි නසාගත් අතර, ඇය ජාතික වීරවරියක් බවට සැල්වදෝරය ප්‍රකාශ කළා.

දෙවැනි තරගය එල්සැල්වදෝරයේදි පැවැත්වෙනවා. මෙහිදි සැල්වදෝර් වැසියන්ද එකට එක කරමින් හොන්ඩියුරාස් කණ්ඩායමට රාත්‍රිය පුරාම හෝටලය අසල ශබ්ද කරමින් බාධා කර තිබෙනවා. දෙවැනි තරගය ආරම්භයේදි ක්‍රීඩාගාරයේ හොන්ඩියුරාස් කොඩිය වෙනුවට ඔසවා තිබුණේ අපිරිසිදු රෙදි කඩක් වීමද විශේෂයි. එල්සැල්වදෝරය ගෝල 3-0 ලෙස ජයගත්තා. තරගයෙන් පසු දෙරටේම වාර්ගික ගැටුම සීඝ්‍රයෙන් ඉහළ ගියා.

අවසන් තීරණාත්මක තරගය 1969 ජුලි 26 වැනි දින මෙක්සිකෝ සිටිහි පැවැත්වූ අතර ගෝල 3-2 ලෙස එල්සැල්වදෝරය ජයගෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා.

මේත් සමගම හොන්ඩියුරාස් තුළ සැල්වදෝර් වැසියන්ට අයත් බිම් විනාශ කරමින් මිනිසුන් මරා දමමින් ගැටුම් උපරිම මට්ටමකට ළඟාවුණා. රාජ්‍ය දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අත්හැර දැමු අතර 1969 ජූලි 14 දින එල්සැල්වදෝර් ගුවන් හමුදා හොන්ඩියුරාසයේ ප්‍රධාන ගුවන්තොටුපළට බෝම්බ හෙළනු ලැබුවා. ජූලි 15 වැනි දින භුමියේ සටන් ඇරඹුණු අතර සැල්වදෝර් හමුදා හොන්ඩියුරාස් අගනුවර වෙත ඇදෙන්නට වුණා. මේ අතර හොන්ඩියුරාස් ගුවන්හමුදා ද සැල්වදෝර් ගුවන්තොට හා ඉන්ධන ගබඩා වෙත බෝම්බ හෙළනු ලබනවා. නිකර්ගුවාව හොන්ඩියුරාසය වෙත යුධා ආධාර සැපයුවා.

හොන්ඩියුරාසයේ ඉල්ලිම මත Organization of American States මැදිහත්කරැවකු ලෙස ඉදිරිපත් වන අතර සම්බාධක පැනවීමේ තර්ජනය, යුධ ශක්තියේ හීනකම, ඉන්ධන යුධායුධ හිඟය වැනි කරුණු හේතුවෙන් එල්සැල්වදෝරය ද හොන්ඩියුරාස් හා සටන් විරාමයකට එකඟවෙනවා. පසුව අගෝස්තු මාසයේදී සැල්වදෝර් හමුදා හොන්ඩියුරාසයෙන් ඉවත්කරගන්නා අතර විශාල අනවසර සංක්‍රමණිකයන් පිරිසක් නැවතත් එල්සැල්වදෝරය වෙතටම පැමිණෙනවා.

හොන්ඩියුරාස් පරදා 1970 ලෝක කුසලානයට ගිය එල්සැල්වදෝරයට මොකද වුණේ?

බෙල්ජියමට එදිරිව ගෝල 3-0 කින්ද,  මෙක්සිකෝවට එදිරිව ගෝල 4-0 කින්ද, සෝවියට් රුසියාවට එදිරිව ගෝල 2-0කින්ද පරාජය වෙමින් මූලික වටයෙන්ම ගම්බිම් බලා ඒමට එල්සැල්වදෝරයට සිදුවෙනවා.

ජීවිත සියගාණක් අහිමි කළ යුද්ධය පැවතුණේ දින 4ක පමණ කාලයක් පමණයි. නමුදු පාපන්දු යුද්ධය නිසා රටවල් දෙකෙහිම ඇතිවූ දේශපාලන, ආර්ථික හා සාමාජිය ගැටලු රාශියක් අදත් නිරාකරණය වී නැහැ. නමුත් මේ ගැටලුව නිසා බහුජාතික කෙසෙල් සමාගම් නම් හොඳහැටි මඩිය තර කරගත්තා.

►රොෂින් ප්‍රනාන්දු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00