2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

හැත්තෑවිය සපුරන සිංහල සිනමාව

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

 

සිංහල සිනමාවට වසර හැත්තෑවක් සපිරුණ් මේ මස 21 (ජනවාරි) දාය. ඉතින් 1947 කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපටයෙන් ඇරඹුණු සිංහල සිනමා වංශ කතාව විටෙක කර්මාන්තයක් ලෙස, තවත් විටෙක කලාත්මක නිර්මාණ භාවිතයක් ලෙසද උස්මිටිවෙමින් නූතන යුගය දක්වාම ඉතා අසීරු ගමනක යෙදෙමින් පැමිණ ඇත.

ඉන්දියානු මහා සම්ප්‍රදාය මෙරට හැමදේටම මුල්වන්නාසේ සිංහල සිනමාවේද තිඹිරිගෙය වූයේ ඉන්දියානු මහා සිනමාවයි. එකල සිංහල දෙබස් කවන ලද ඉන්දියානු සිනමා කෘති මෙන්ම ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් ලවා ඉන්දියාවට ගොස් ඉන්දියානු චිත්‍රාගාරවල රූගත කරන ලද සිනමා නිර්මාණ එකල බහුල විය. ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ මෙම තත්ත්වය හැඳින්වූයේ භාෂා 12ක් කතා කරන ඉන්දියානු සිනමාවට තවත් එක් භාෂාවක් එකතුවීමක් ලෙසිනි.

කෙසේ නමුත් ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956 දී රේඛාව සිනමාවට නැඟීමත් සමඟම අපේමයැයි කිවහැකි චිත්‍රපට නිපදවීමට ආරම්භයක් ගන්නා ලදී. එනමුදු එකල එම සිනමා කෘතිය සිංහල ප්‍රේක්ෂකයාට නුහුරු නුපුරුදු එකක්ම විය. එතරම්ම සිංහල සිනමාව ඉන්දියානු සිනමා සයුරේ ගිලී තිබිණි. එමෙන්ම 1965 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය සිනමා කෘතිය මෙන්ම ගොළු හදවත ආදී සිංහල චිත්‍රපටවලින් සිංහල සිනමාව නව මඟකට ගමන් කරන්නට විය. මෙහිදී හැත්තෑව දශකය ඉතාම වැදගත් ලෙස සිනමාව පෝෂණය වූ දශකයකි. ලෙස්ටර්ගේම නිධානය ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සුනිල් ආරියරත්නගේ සරුංගලේ ආදී චිත්‍රපට එකල තිරගත විය. මේ අතරට විජය, ගාමිණී, මාලනී, නීටා ආදීන් රඟපෑම් වාණිජ චිත්‍රපට ඉතාම ප්‍රබල ලෙස සිනමා කර්මාන්තය පොහොසත් කෙරිණි.

අසූව දශකයේ මුල්භාගය ඇරඹෙත්ම සිංහල සිනමාවට කනිිකොකා හඬන්නට විය. එතෙක් සිංහල සිනමාවට ශක්තියක් වූ ප්‍රේක්ෂකයා ඉන් ඈත්වන්නට කරුණු කාරණා බොහෝ යෙදිණි. 1983 කළු ජූලිය සමඟ සිනමාහල් ගිනි තැබීමද 1988, 1989 කාලයේ ඇතිවූ තරුණ කැරැල්ලද, ඊට වඩා උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවූ යුද්ධය නිසා ජන ජීවිතය අඩාලවීම්ද ඉතා ප්‍රබල ලෙස සිංහල සිනමාව බිඳවැටීමට හේතු වූ කාරණා වේ. එමෙන්ම රූපවාහිනී මාධ්‍ය තරුණ පරපුර විසින් ගිලගැනීම නිසා සුන්දර රසවින්දනයක් ලබාගත හැකි වූ සිනමාවට මහා ප්‍රේක්ෂක කුලකයක් අහිමි වී ගියේය.

ඒ අතරට සිංහල සිනමාව පණගැසීමට අනූව දශකය ආරම්භයේදීම විවිධ රැලි සුළි හඹා ආවත් ඒවාද රැල්ලටම ගසාගෙන යන ලදී. කෙසේ නමුත් යුද්ධයෙන් අංගවිකල තත්ත්වයට පත්වූ සිංහල සිනමාව ළමා නිර්මාණවලින් පටන්ගෙන රජකතා, බෞද්ධ කතා, ඉතිහාස කතාවලින් ඔබ්බට පැමිණීමට කාලය පැමිණ ඇත. එසේ නමුත් එලෙස නවතාවයකින් පණගැසිය යුත්තේ සිනමාව කලාත්මක මෙන්ම කර්මාන්තයක් ලෙසින්ම සිතා බලා විය යුතුය. ඒ මන්ද දැනටමත් සිංහල සිනමාවට අර්ථපතීත්වය සපයන නිෂ්පාදකයන් රැකගන්නා අතරම සිංහල චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක ජනතාවටද හොඳ දෙයක් දී ඔවුන් ද රැකබලා ගැනීම සිදුකළ යුතු නිසාය. නැතිනම් සිංහල සිනමාවට දෙවි පිහිට පැතීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන නිසාය.

♦ නයන්ත ජගත් පුංචිහේවා
වාඩිගල, රන්න