සැරයටිය වැනීමට අපට නිදහසක් තිබේ. එහෙත් ඒ අනෙකාගේ නාස් පොල්ල දක්වා පමණක්ය යන අවධාරණය සිතේ තබා ගනිමිනි. එයින් අදහස් වන්නේ අප නිදහස භුක්ති විඳිය යුතු වන්නේ අනෙකාගේ නිදහසට බාධාවක් නොවන පරිදිය යන්නයි. එහෙත් මේ රටේ සිදුවන බොහෝ දේ දකිද්දී අපට තේරුම් යන්නේ නිදහස පිළිබඳ මේ අනවබෝධය සමස්ත සමාජය පුරා දැකිය හැකි බවයි. නිදහස සමඟ සමානාත්මතාවය යන සංකල්පයකුත් සටන් පාඨයක් හැටියට පෙරට ආවේ එහෙයිනි. එමඟින් සිදුවන්නේ අනෙකාගේ නිදහස අහුරාලන ආකාරයේ ක‍්‍රියාකාරකම් වැළැක්වී යන පරිදි සියලු පුරවැසියන්ගේ අයිතීන් මෙන්ම නිදහස ද ආරක්ෂා වන ආකාරයේ පොදු ධර්මතාවයක් පිහිටුවීමයි.
මේ දිනවල කොළඹ නගරයට පිවිසෙන බොහෝදෙනාට නිදහස පිළිබඳ මේ කතාව විවිධ මුහුණුවරින් අසන්නට ලැබේ. ඒ අන් කවරක්වත් නිසා නොව නිදහස් සමරුවේ පෙර පුහුණුවීම් නිසා සිදුවන මහජන අපහසුතාව නිසාය.
විශේෂයෙන්ම කොළඹට පිවිසෙන ප‍්‍රධාන මාර්ග සියල්ල පාහේ මේ දිනවල පවතින්නේ අධික රථවාහන තදබදයකිනි. ඊට හේතුව වී තිබෙන්නේ ගාලු මුවදොර පෙදෙසට පිවිසෙන මාර්ග කොටුව පෙදෙසට පිවිසෙන මාර්ග තාවකාලිකව වසා දැමීමයි. මේ නිසා හටගෙන ඇති මාර්ග තදබදය හේතුවෙන් ඇතැම්විට කොළඹ නගරයට පිවිසෙන අයකුට ඉන් පිටවීමට හෝ නියමිත ගමනාන්තයට යාමට පැයක් පමණ ගතවන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ සෑම අවස්ථාවකදීම දුම්රියපොළේදී බස් රථයේදී කඩපිලේදී හෝ සිය සේවාව ලබාගැනීමට පැමිණි රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයේදී මිනිසුන් කතාවන දෙයක් තිබේ. එනම් පොදු මහජනයාට බාධාවක් නොවන පරිදි මේ කටයුතු සිදුකරන්නේ කෙසේද කියාය.
සැබැවින්ම මේ මිනිසුන්ගෙන් කිසිවකුත් පාහේ නිදහස් දින සැමරැම හෝ එහි පුහුණුවීම් ගැන කිසිදු කහටකින් කතා නොකරන වග අවධාරණ කටයුතුය. ජාතියක් හැටියට නිදහසේ අභිමන සැමරීම ගැන රටේ ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ අප පෙර කී පරිදිම අනෙකාගේ නිදහසයි. සැබැවින්ම මෙවැනි කාරණා පිළිතුරු සම්පාදනය කිරීම ගැන බරපතළ ලෙස වදවිය යුතු දේ නොවේ. අවශ්‍ය වන්නේ පෙර පුහුණුවීම් සම්බන්ධයෙන් විකල්ප ස්ථානීය වැඩපිළිවෙළක් වැනි සරල පිළිතුරකි. එහෙත් මේ සරල දේවල් නිසියාකාරව කළමනාකරණය නොවීම නිසා ඇතිවන ප‍්‍රතිවිපාක නම් සුළුපටු නැත. රාජ්‍ය හා පෞද්ගලික අංශවලට අහිමිවන මිනිස් පැය ගණන පමණක් විමසා බැලූවද හානියේ දිග පළල සිතාගත හැකිය. එමඟින්ද අහිමිවන්නේ පීඩාවට පත්වන ජනයාගේ නිදහසයැයි කිසිවකු හෝ තර්ක කළහොත් එය වැරුදි නැත. ඉතින් ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම දේශපාලකයන්ද සිතිය යුත්තේ නිදහස නමැති උදාර සංකල්පය රට තුළ සෑම අතින්ම ක‍්‍රියාවට නැගිය හැක්කේ කෙසේද කියාය. දේශපාලන වේදිකාවේ උදාරම් ලෙස පැවසෙන වචනවලට සැබෑ යථාර්ථයක් එක්වන්නේ එමගින්ම පමණි.