මෙරට සිටින ව්‍යාපාරික බලවතකුගේ ආරාධනය පරිදි බ්‍රිතාන්‍යයේ සිටින ධනවත් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණියේ ලංකාවේ ඇති සුන්දරත්වය විඳගනිමින් මෙරටට අමෙරිකන් ඩොලර් මිලියන 100ක 150ක ආරම්භක ආයෝජනයක් කිරීමේ බලාපොරොත්තුවෙනි. ආයෝජනය සඳහා මෙරටට පැමිණි ඔහු ගමන් පහසුව සහ විවේකය සඳහා නැවතී සිටියේ කොළඹ නගර මධ්‍යයේ තිබූ තරු පන්තියේ හෝටල් සංකීර්ණයක් තුළය. පළමු දිනයේ රාජකාරී කටයුත්තක් සඳහා එළියට පැමිණි ඔහුට දක්නට ලැබුණේ ගමන් මාර්ගය අහුරා කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත පිරිසකි.
පැය ගණනක් මහමඟ රස්තියාදු වූ ඔහු රාජකාරි කටයුත්ත නිමාකර වෙහෙස මහන්සි වී තම හෝටලයට පැමිණියේය. තම ආයෝජන කටයුත්ත වෙනුවෙන් ඔහුට තවත් දින ගණනාවක් මේ අකරතැබ්බයට මුහුණපෑමට සිදුවිය. අවසානයේ බ්‍රිතාන්‍ය ජාතික ආයෝජකයා ඔහුට මෙරටට ආරාධනය කළ ව්‍යාපාරිකයාට කතා කොට මෙසේ පැවසීය. “ඔබලගේ රටේ සෑම දිනයකම උද්ඝෝෂණ. උදේ, දවල්, හවස කියලා ඒකට වෙලාවක් නැහැ. අපිට එළියට බැහැලා රාජකාරි කටයුත්තකට යන්නත් බැහැ. උද්ඝෝෂණ නිසා පාරේ හැමතැනම ට්‍රැෆික්. මේ විදියට ඔබලාගේ රටේ ආයෝජනය කරන එක ගැන මට දෙපාරක් හිතන්න වෙනවා.” ඔහු ඊට පසුදාම රටින් පිටව ගියේය. එයින් සති දෙක තුනකට පසු මෙරට ව්‍යාපාරිකයා ඇමතූ ඔහු කියා සිටියේ මෙරට තුළ මුදල් ආයෝජනය කිරීමට තමන් අකමැති බවය.
අප මෙය මුලින් කීවේ කොළඹ නගරයේ විවිධ ස්ථානවල ලවක් දෙවක් නැතිව කෙරෙන උද්ඝෝෂණ ගැන කියන්නටය. මෙම උද්ඝෝෂණ ව්‍යාපාර සහ පෙළපාලි හේතුවෙන් දිනපතා විවිධ ප්‍රදේශවලින් කොළඹට රාජකාරිවලට පැමිණෙන ජනතාව විශාල පීඩාවකට පත්වෙති. දිනපතා සිය නිවෙස්වල සිට රාජකාරියට පැමිණෙන පුද්ගලයන්ට රාජකාරියටත් එය අවසන් කර නිසි වේලාවට යා නොහැකිව මහත් අපහසුතාවයට පත්වූ අවස්ථා අප ඕනෑ තරම් දැක ඇත. අසා ඇත.
උද්ඝෝෂණය කිරීම අයිතියකි. ඇතැම් කාරණාවලදී උද්ඝෝෂණ අවශ්‍යය. එලෙස උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම මිනිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකමකි. එය නීත්‍යානුකූල ක්‍රියාවකි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත අයිතිවාසිකමකි. නමුත් අද වනවිට කොළඹ නගරය කේන්ද්‍ර කරගත් බොහෝ ස්ථානවල සතියේ සෑම දිනකම උද්ඝෝෂණ ව්‍යාපාර දැකගත හැකිය. එයින් රටේ සෙසු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙයි.
මෙලෙස උද්ඝෝෂණවලට පදනම් වන හේතු කාරණා කිහිපයකි.
1.ප්‍රශ්න උග්‍රවූ විට ඒවාට විසඳුම් ලබා නොදුන් විට මිනිස්සු උද්ඝෝෂණය කරති.
2.සමහර සටකපට දේශපාලකයෝ තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ජනතාව ලවා උද්ඝෝෂණ කරවති.
3.සමහර වෘත්තීය සමිති තමන්ගේ පැවැත්ම උදෙසා වෘත්තීය සමිති සාමාජිකයන් යොදාගෙන උද්ඝෝසණ කරති.
එකී නොකී මෙම කාරණා සියල්ලෙන්ම උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වුවද එයින් පීඩාවට පත්වන්නේ මහජනතාවය.
මෙම වසරේ මේ දක්වා මාසයක පමණ කාලය තුළදී ප්‍රධාන උද්ඝෝෂණ 10ක් පමණ පවත්වා ඇති අතර ඉන් 09ක්ම කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ උද්ඝෝෂණ බව පොලීසිය පැවසීය. ඒ දැන් කොළඹ හැටිය. මෙකී උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර නිසා වාහන තදබදයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. වරක් විශ්වවිද්‍යාල ශිෂයන්ගේ පෙළපාළියක් නිසා තමන්ට නියමිත වේලාවට සිය කුඩා දියණිය කැඳවාගෙන යාමට නොහැකි වූ බව කියමින් එක් පුරවැසියෙක් කොළඹ උද්ඝෝෂණ පෙළපාලි තහනම් නියෝගයක් ඉල්ලා උසාවි ගියේය. මෙලෙස උසාවි නොගියත් පාරවල් ඇහිරෙනා ආකාරයට විවිධ කරදරවලට මුහුණ දුන් දහස් ගණන් දෙනා කරබාගෙන සිටිති.
අපේ රටට මෙම උද්ඝෝෂණ විරෝධතා ව්‍යාපාර හඳුන්වා දුන්නේ වාමාංශික ව්‍යාපාරයයි. එහෙත් එම ව්‍යාපාර හැමදාමත් ඔවුනගේ යටතේ පැවතියේ නැත. අනෙක් දේශපාලන පක්ෂ, සංවිධාන හා වෘත්තීය සමිතිද ඒ ආයුධය පාවිච්චි කරන්න පටන් ගත්තේය. මේ වනවිට ඇතැම් උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා අයිතිකරුවෙකුද නැත. ආණ්ඩුවට විරුද්ධව විරෝධතා තරමට මෙන්ම ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට එරෙහිව කෙරෙන උද්ඝෝෂණද අද දැකගත හැක්කේ මේ නිසාය. මෙම සියලුම දේ තුළින් පීඩාවට පත්වෙන්නේ පොදු මහජනයාය.
ඇතැම් දේශපාලන පක්ෂ, සංවිධාන හා වෘත්තිය සිමිතිවල පැවැත්මට විරෝධතා ව්‍යාපාර අවශ්‍යය. විරෝධතා ව්‍යාපාරයක් සාර්ථක වූයේයැයි ඔවුන්ට දැනෙන්නේ ඊට වැඩිම අවධානයක් යොමුවූ කාලයේදීය. තවත් ලෙස කිවහොත් උද්ඝෝෂණ ව්‍යාපාරයකට අවධානය යොමුවන්නේ එයට පහරදී, ජල ප්‍රහාර, කඳුළු ගෑස් ගසා ඔවුන් මර්දනය කිරීමට කටයුතු කිරීමෙනි. එවිට ඇතිවන ගැටුම ජනමාධ්‍ය විවිධාකාරයෙන් වාර්තා කරයි. මේ ආකාරයට මාධ්‍ය ප්‍රචාරය වැඩියෙන් දිනාගැනීමේ අරමුණින් සිදුකෙරෙන උද්ඝෝෂණ ද වෙයි.
කොළඹ කොටුව හා පිටකොටුව, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල මහත් ගැටලු ඇති කරමින් නිරතුරුවම උද්ඝෝෂණ පැවැත්වීම නිසා ඒ සඳහා කොළඹ ප්‍රදේශයෙන් සහ පාර්ලිමේන්තුව අවට ස්ථානයකින් නිශ්චිත ස්ථාන දෙකක් ස්ථිරවම වෙන්කිරීමට මේ වනවිට රජය සැලසුම් කර ඇත. එය ඉදිරියේදී ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීමට සැලසුම්කර ඇති අතර ඉන් පසුව සියලුම උද්ඝෝෂණ විරෝධතා මෙම ස්ථාන දෙකට සීමා වනු ඇත.
මෙම කරුණු කාරණා කෙසේ වෙතත් තමන් අකමැති දෙයකට විරුද්ධවීම සඳහා සංවිධානය වීමට ඇති අයිතිය ප්‍රජාත්‍රන්තවාදයේ මූලික ලක්ෂණයකි. එදිනෙදා ජන ජීවිතයට කොතරම් බාධක පැමිණියද විරොධතා උද්ඝෝෂණවලින් සිදුවන යහපතක්ද තිබේ. ඒ රටේ ප්‍රජාත්‍රන්තවාදය එයින් පිළිඹිමු වන හෙයිනි. ආණ්ඩුවක් ප්‍රජාත්‍රන්තවාදී නැතැයි කියමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙන විට ඉන් හෙළිවන්නේ රටේ ප්‍රජාත්‍රන්තවාදය නොනැසී තිබෙන බවයි.
♦ හසිත් අංජන