මීට දශක තුන හතරකට පෙර එදිනෙදා පරිහරණය සඳහා අපි ස්වාභාවික ද්‍රව්‍යවලින් තැනූ දෑ කොතෙක් නම් භාවිත කළෙමුද? ඒවා බොහෝමක් ශාක අමුද්‍රව්‍යවලින් තැනූ පරිසර හිතකාමී දේය. කලාත්මක ගුණයෙන්ද ඒවා අනූනය. අද දින එම භාණ්ඩ බොහෝමයක් පරිහරණය කරන්නේ ඒවායේ කලාත්මක ගුණය අවබෝධ කරගෙන රසවිඳින්න වුවද එකල ඒවා භාවිත කළේ පොදු ජනයාය. ජාති, කුල මල, ආගම්, උස් පහත් භේදයකින් තොරව සිරිලක ජනයා පන්, වේවැල්, බටපොතු, පොල් ගසේ අමුද්‍රව්‍ය, තල්කොළ ආදියෙන් තැනූ භාණ්ඩ පරිහරණය කළද, අද ඒ සියල්ල වෙනුවට ප්ලාස්ටික් හා පොලිතින් ආදේශ වී අපට පරිසර ප්‍රශ්න ඉතිරිකොට දී ඇත. සීත ගඟුලෙන් පාවී මාවුස්සා කැලේට ගලාගෙන පැමිණ එහි ගොඩගැසුණු ප්ලාස්ටික් හා පොලිතීන් භාණ්ඩ දැක ඇඟ හිරිවැටෙන අප්පිරියාවක් හා භීතියක් හිතට දැනුණේය. දැන් ප්ලාස්ටික්, පොලිතීන් යනු රටවල් ඇතුළත, ජලාශ, ගංඟා හා දියදහර වසාලන අපද්‍රව්‍යයක් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් සාගර අපවිත්‍ර කරන අපද්‍රව්‍ය විශේෂයක් බවට පත්ව තිබේ.
ඇත්තෙන්ම ප්ලාස්ටික් හා පොලිතීන් යනු නරක දෙයක් නොවේ. එක් අතකින් මානව ක්‍රියාකාරකම් පහසු කරනු පිණිස මානවයාම සොයාගත් ආශිර්වාදයකි. භාවිතයේ බ්‍රේක් නැතිකම නිසා එම ආශිර්වාදය අපි ශාපයක් බවට පත්කරගෙන ඇත්තෙමු. ඇතැම් කටයුතු පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් කළ හැකිව තිබියදී අපි සීමාවකින් තොරව පොලිතින් භාවිතයට හුරුවී සිටිමු.
හැත්තෑගණන් අගභාගයේ ලංකාවට සිලිමලු ආ මුල් කාලයේ පන්ති යන සිසුවියෝ, පොත්වල පිටු අතර සිලිමලු නවා ආසාවෙන් තබාගෙන ප්‍රවේශම් කළෝය. දැන් ඒවාට කෙතරම් නීති පැනෙව්වත්, කෙතරම් ජනතාව දැනුවත් කළත් ඉවත් කරගන්නට බැරි, ඇතුවත් බැරි, නැතුවත් බැරි වසංගතයක් බවට පත්ව තිබේ. සෑම ගෙදරකම පාහේ දැන් සිලිමලු සහ පොලිතීන් මලු පිරවූ විශාල පොලිතීන් මල්ලක් තිබේ. මේවා පුළුස්සා දමන්නටත් බැරිය. විසිකර දමන්නටත් බැරිය. ප්‍රතිචක්‍රීයකරණ තැනකටම තල්ලුකොට දැමිය යුතුය.
පන්වලින් සෑදූ භාණ්ඩ පරිහරණය ඉස්සර ජන ජීවිතයටත් වඩාත් සමීප වූයේය. නාගරික ගම්බද භේදයකින් තොරව සෑම ගෙදරකම පැදුරක් දෙකක් තිබුණි. බොහෝ ගම්බද නිවෙස්වල ඉස්තෝප්පුවේ තිබුණු ලණුඇඳේ අතුරා තිබුණේ පැදුරකි. ඇතැම් නාගරික නිවාසවලද ඇඳමෙට්ට මත ඇඳ ඇතිරිල්ලක් වෙනුවට පැදුරු එලා තිබිණි. ගැමිජනයා පැදුරු වියන්නට බොහෝ දේ උපයෝගී කරගත්හ. තම්බා වියළාගත් තල්කොළවලින් පමණක් නොව පොල්කොළවලින් වියූ පැදුරුද වී හෝ වෙනත් දෑ පිරිසුදුව අව්වේ වියළාගැනීම පිණිස භාවිත වූයේය. ගෙදර පැදුරු අරන් තැබුවේ ඇතැම්විට උඩ එල්ලූ ලණු දෙකක දවටලාය. එය වාන නම් විය. වඩාත් කලාත්මක පැදුරු වියනු ලැබුවේ පන්වලිනි. සායම් දැමූ පන් උපයෝගී කරගෙන විවිධ ලස්සන රටා සහිත පැදුරු නිර්මාණය විය. පැදුරු විවීම තම විවේකය නිර්මාණාත්මක ලෙස හා ඵලදායී ලෙස මුදාහරින අපූරු විනෝදාංශයක් වූයේය. ඒ අනුසාරයෙන් නිර්මාණය වූ සංගීත හා නර්තනයන්ද තිබිණි. පහතරට ශාන්තිකර්මයක් වන නානුමුරයේ (රටයකුමේ) පැදුරුමාලේ ගීත මීට හොඳම උදාහරණයකි. පැදුරු වියනුවස් පන් නෙලන්නට යන තැන සිට පැදුරු විවීමේ කාර්යය දක්වා පැදුරුමාලේ ගීවල විස්තර කෙරේ. අගේ ඇති රිද්මයකට පහතරට බෙරයත් සමඟ මෙය ගායනා කරද්දී රටයකුමේ ඉදිරිපත් කරන්නේ අභිරූපණය ඉවහල් කරගත් රංගනයකි.
පැදුරුමාලේ කවි පටන් ගන්නේ මේ කවියෙනි.
ගාන තෙල් බඳුන් වරලස ඔමරි කො ටා
මූණ පුරා තෙල් ගාගෙන යන කල ටා
මාන බලති මිණිවන් පන් තිබෙන කො ටා
නෑණ නුඹත් එන්දැයි පන් කපන්න ටා
මූණ පුරා තෙල් ගාගෙන පන් නෙලන්නට යන්නේ මන්දැයි අයකුට සිතෙනු ඇත. විශේෂිත පන් වර්ගයක බූවාවලින් බේරෙන්නට එසේ මූණේ තෙල් ගාගෙන යන බව පිළිගත් මතයයි.
දැන් පන් පැදුරු වෙනුවට ප්ලාස්ටික්වලින් තැනූ පැදුරු ආදේශවීම මෙතෙක් රැකගෙන පැමිණි පන් ආශ්‍රිත කලාවම නාගරීකරණයට දන් දීමකි. ගෙදරක දානයක්, බණ දේශනාවක් වෙතොත් පන්සලෙන් ගෙන එන්නේද ප්ලාස්ටික් පැදුරුය.
පන්පැදුර මෙන්ම පන්මල්ලද පොදු ජනයාගේ ජීවිතයත් සමඟ මනාව බැඳුණු භාණ්ඩයක් වූයේය. අද සිලිමල්ල ගෙන ඇත්තේ එදා පන්මල්ල ගත් තැනයි. මිනිස් දෑතේත්, නිර්මාණ කෞෂල්‍යයේත්, විවේකයේත් එකතුවක් වුණු පන්මල්ල සැබැවින්ම සිලිමල්ලට වඩා දහස් වාරයක් කලාත්මක ගුණයෙන් යුක්ත වූවකි. කෙතරම් දුරට පන්මල්ල පොදු ජනයා විසින් භාවිත කළේද යන්න කාටුන් ශිල්පීන්ගේ කාටුන්වලින් දැකගත හැකිවේ. අප අතර බෙහෙවින් ජනප්‍රිය කාටුන් චරිත වන පුංචි සිඤෝ, ගජමෑන්, සිරිබිරිස් යන චරිතයන්ගේ අතේ බොහෝවිට පන්මල්ල එල්ලෙමින් තිබිණි. දුප්පත්කම සංකේතවත් කරන්නට එම පන්මල්ලේ ඇතැම් තැනක අණ්ඩ දමා හෝ සිදුරු වී ඇති බව ඇඳී තිබුණේය. පසු කලෙක පන්මල්ල නමින්ම කාටූනයක් නිර්මාණය විය.
දැනට වසර දෙකකට පමණ පෙර මා දන්නා එක් කාන්තාවක් පන්මල්ලක් පරිහරණය කළාය. ඇය කලිසමක් හා කුරුතා කමිසයකින් සැරසී එය ගමන් බිමන් රැගෙන ගියාය. යල්පැනගිය පන්මල්ල රැගෙන ගිය ඈ දෙස ජනයා දෑස් දල්වා බලා සිටියා පමණක් නොව මල්ල පිරෙන තරමට ඇයට රසවත් ප්‍රතිචාර වදන්ද ලැබුණේය. ලැබුණු එම ප්‍රතිචාරවලින් පෙනුණේ බහුතර ජනයා පන්මල්ලට බෙහෙවින් ආදරය කළ බවකි.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධියක් තිබුණ මා දන්නා එක් ආචාර්යවරයෙක් පන්මල්ලක සහතික දමාගෙන සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වූයේය.
සිලිමල්ල නිසා භාවිතයෙන් ඉවත්වූ තවත් පැසකි, වේවැල් කූඩය. පොඩිවීමකින් තොරව ඒ තුළ එළවළු හා පළතුරු ගෙන යා හැකිවිය. හවස මාර්කැට්ටුවලට යන උදවිය අතේ හා පොළට යන අම්මලා අත එළවළු කූඩය වැරදුණේ නැත. වේවැල් කූඩා හකුලාගන්නට ඇති අපහසුවද එය භාවිත කිරීමට තර්ජනාත්මක ලෙස බලපෑම් කරන්නට ඇතැයි හැඟේ. මෙය සෙනග පිරි බස්රථයක් තුළ නම් පහසුවෙන් ගෙන යා හැකි භාණ්ඩයක් නොවේ. පරණවී භාවිතයෙන් ඉවත්වෙන්නට ඔන්න මෙන්න තිබූ වේවැල් කූඩාවලට පොඩි දඟකාරයන් පා පහර දුන්නේ එය පාපන්දුවක් කොටගනිමිනි. අවුල තිබුණේ එය ඕවලාකාර හැඩයක් ගැනීමයි.
වේවැල්වලින් තැනූ අත්පන්දු විශේෂයක්ද එකල භාවිත විය. වොලිබෝල් ක්‍රීඩාවේ යෙදුණු තරුණයෝ එම වේවැල් පන්දුවලින් ක්‍රීඩා කළෝය. යමක වැදී පරාවර්තනය වන ගුණයද, සුළං පිරවූ රබර් බෝලයක තරමටම ඒවායේ තිබිණි.
වේවැල්වලින් තැනූ ක්‍රීඩා භාණ්ඩවලට කෙසේ වෙතත් පොඩිත්තෝ වේවැලට නම් ප්‍රිය නොකළෝය. ඇතැම් මවක් “දෙන්නම්කෝ උඹට හොඳ වේවැල් කසායක්” කියා දරුවන්ට තරවටු කළාය. අම්මාගේ වේවැල සඟවා තැබීම හෝ කඩාදැමීම එකල දඟකාර දරුවකු එඩිතරව කළ කාරියකි.
“මම නැහැ බයවෙන්නෙ අක්කෙ වේවැල ඇත හංගලා
අම්මා ආදරෙයිනෙ මට මොනව කළත් අක්කලා” එක ගීයක එසේ කියැවිණි.
දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින දකුණු කොරියාවේ තවමත් වේවැලට සමාන දණ්ඩක් දරුවන්ට දඬුවම් දීම සඳහා භාවිත කෙරේ.
වේවැලේ පොත්තෙන් සිහින්ව සකසාගත් වැල්වලින් පුටු විවීම දැන් අභාවයට ගොස් තිබේ. වේවැල් වෙනුවට ප්ලාස්ටික් ආදේශක (සින්තාවැල් ආදිය) ඊට එක්ව තිබේ. වේවැල් පොත්තේ ඇති ඔපය නිසාත්, ඒවායේ සවිමත් බව නිසාත් ස්වාභාවික තන්තුවක් ලෙස ඒවා පුටු වියන්නට හොඳින් ගැලපිණි.
බටපොතුවලින් වියූ උපකරණ එකල නිවෙස්වල බහුල ලෙස භාවිත වූයේය. මේවායින් බොහෝමක් මුළුතැන්ගේ උපකරණය. බටපොතුවලින් වියූ කිරිගොටුව හා කෑම මේසය වසන කූඩය මෑතක් වනතුරුම භාවිත වූයේය. බටපැළැල්වලට ඇති ඉල්ලුම වැඩිවීමත් එම කර්මාන්තය තරමක් පණක් ලබා තිබීමත් සතුටට කරුණකි. පාරම්පරික බටපොතු කර්මාන්තය වෙනත් රටවලින්ද තාක්ෂණය ලබාගෙන සියුම් ලෙස වර්ධනය කරගත හැකිව තිබූ ගෘහ කර්මාන්තයක් වුවද වේගවත් නාගරීකරණය ඉදිරියේ ඒවායේ සෞන්දර්ය නොදැකම, ඒ හැකියාව ගිලිහී යනු පෙනිණි.
පොල් ගසෙන් ගන්නා අමුද්‍රව්‍යවලින් සැදි භාණ්ඩ පරිහරණය කිරීමද අප අතරින් ගිලිහෙමින් පවතී. ඒ හේතුව මත රටේ කොහු කර්මාන්තයද පිරිහී ගියේය. මෙරටේ ගෘහාශ්‍රිත කොහු කර්මාන්තය කෙතරම් සශ්‍රීක ලෙස පැවතුණිදැයි දැනගන්නට එකල ගාලුපාරේ ගමනක් යාමම සෑහේ. අලුත්ගම හරියෙන් පටන්ගත් විට බයිසිකල් රිම් කරකවමින් කොහු අඹරන පිරිමි ගැහැනු ඒ කාලයේ මාතරට යනතුරුම පෙනෙන්නට සිටියෝය. ගෙවල් අතුගාන කොස්ස, ලණුපාපිසි, කොහුපාපිසි, කඹ, ඉරට ඉඳල ආදී මේ හැම භාණ්ඩයකම භාවිතය දැන් ශීඝ්‍රයෙන් පහත බැස ඒ වෙනුවට ප්ලාස්ටික් උපකරණ භාවිතය ආදේශ වී තිබේ.
පොල්කටුව අපට ස්වාභාවිකව ලැබුණු ඉතා අගනා දායාදයක් වුවද දැන් අප එය ඩෙංගු බෝකරන ජලරඳනයක් බවට පත් කරගෙන තිබේ. එතරම් ස්වාභාවික කෝප්පයක් ලෝකයේ කිසිම රටක ශාකයකින් ලැබෙන බවක් නොපෙනේ. රා බොන්නට පමණක් නොව, කුස්සියේ තිබූ කළගෙඩිය පොල්කට්ටකින් වසා තිබුණේ අවශ්‍ය විටෙක එයින් දිය බොන්නටය. මුළුතැන්ගෙයි තිබුණේ ලුණුපොල්කට්ටකි. දකුණේ අය ඊට කීවේ ලුණුපොලොත්ත කියාය. (දකුණේ උදවිය දණිස්සට කීවේද දණිස් පොලොත්ත කියාය) බත් හා ව්‍යංජන බෙදුවේ පොල්කටු හැන්දෙනි. මේ සියල්ලම කර ඉතිරිවන පොල්කටු වටිනා ඉන්ධනයකි.
අප යම් යම් දේ ඇසුරුම් කිරීමට කෙතරම් ස්වාභාවික දේ භාවිත කළෙමුද? අද දින ඕනෑම දෙයක් පොලිතින් බෑගයක බහා දුන්නද ඉස්සර ජනප්‍රියම ඇසුරුම වූයේ කඩදාසි ගොට්ටයි. සිල්ලර කඩේ කොලුවා කඩදාසි ගොට්ටක් ගසා ඊට ඕනෑම වියළි ආහාරයක් බහා හණනූලෙන් ගැටගසා දෙන්නට පුරුදු වී උන්නේය. ඒ කාලයේ දකුණේ බොහෝ ගැමියන්ගේ ඉණේ පිහියක් දවටාගෙන තිබුණේය. එම පිහිය බහාගෙන සිටියේ පොල්මලක කොපුවකින් හෝ පුවක් කොළපතකින් තැනූ කොපුවක් තුළයි. එම පිහිය ඔවුහු එදිනෙදා ජීවිතයේදී ක්ෂණිකව යම් යම් දේ කපා කොට නිර්මාණය කරන්නට භාවිත කළෝය. අයකුට කිරිහට්ටි ගෙනියන්නට ඕනෑවූයේ නම් ක්ෂණිකව ගොක්අත්තක් හෝ පොල්අත්තක් කපා විනාඩි දෙක තුනකදී කිරිහට්ටි ගෙන යන බහාලුමක් ඔවුහු සෑදුවෝය.
කෙසෙල් කොළයේ එතූ බත් පාර්සලයක් අනුභව කිරීමට අකැමැති කෙනකු තවමත් හමුවන්නේ කලාතුරකිනි. කෘත්‍රිම පොලිතින් සිවියෙන් එතූ (Lunch sheet) බත් පාර්සලයකට වඩා කෙසෙල් කොළයේ එතූ බත් පාර්සලයක ඇත්තේ රුචිකර ස්වාභාවික රසයකි. දැන් කාලයේ කෙසෙල් කොළයේ බත් ගෙනයාම අඩුවී ඇත්තේ කෙසෙල් කොළ හිඟවීමක් නිසා නොව, නාගරික කඩිමුඩිය නිසා කෙසෙල් කොළ සෝදා, ගින්නේ රත්කර තවාගන්නට යන කාලය හා ඉවසීම වැයකළ නොහැකි නිසාය. නිවසින් පිට එළිමහනක ආහාර ගනිද්දී නෙළුම් කොළයේ ආහාර ගන්නටද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරති.
නෙළුම් කොළයේ නමිනුත්, කෙසෙල් කොළයේ නමිනුත් දැන් අවන්හල්/ හෝටල බිහිව ඇත්තේ ඒවා ජනයාට රුචිකර නිසාය.
රටේ ජනයාගේ උපභෝගී, පරිභෝගී භාණ්ඩ පාරම්පරිකව ස්වාභාවික දේ වලින් තැනීම එක් අතකින් සංස්කෘතියේම අංගයකි. ඉහත දුන් පැදුරුමාලේ ගීය මීට හොඳම උදාහරණයකි. එම සංස්කෘතිය අප වේගවත් නාගරීකරණය ඉදිරියේ බිලි දී ඇත්තේ පමණටත් වඩා අවිවාචයෙනි. කළ යුතුව තිබුණේ පාරම්පරික හස්ත කර්මාන්ත නාගරීකරණයත් සමඟ නවීකරණයට ලක්කිරීමයි. (අප කළේ ඒවා සංචාරක කර්මාන්තය සඳහා පමණක් ඉතිරි කර ගැනීමයි) අවසානයේ අපි නොදැනුවත්වම කෘත්‍රිමකරණයට බිලිවූයෙමු. මේ අතින් ශීඝ්‍ර කාර්මීකරණයට ලක්වූ චීනයෙන් අපට උගත හැකි පාඩම් බොහෝය. බෙයිජින් නගරයේ පාරවල්, උද්‍යාන සේවා ස්ථාන තවමත් පිරිසුදු කරන්නේ ඉපල් (බට වර්ග හෝ වෙනත් ශාකයක ඉපල්) වලින් සෑදූ විශාල ඉලපතක් උපයෝගී කරගනිමිනි. චීන කම්කරුවන් මැෂිමකින් කරනවාටත් වඩා අපූරුවට ඒවායින් ජනාකීර්ණ බෙයිජින් නගරය පිරිසුදු කරන ආකාරය එහි යන ඕනෑම අයකුට දැකගත හැකිය. සියලු කාර්මීකරණයන් ඉදිරියේ උණ කර්මාන්තය ඔවුන් සූක්ෂම ලෙස වර්ධනය කරගෙත තිබේ.
ලෝකයේ රටවල් ගණනාවක් මේ වන විට පොලිතින් තහනම් කර තිබුණද අපට තවමත් එය කරගත නොහැකි වී තිබේ. එසේ තහනම් කර ගැනීමට පෙර පාරම්පරිකව භාවිත කළ සොබාවික දෑ හැකි පමණින් භාවිත කොට ඒවායේ සොඳුරු බව විඳගැනීම සිතටත් කයටත් පරිසරයටත් වැඩදායී වේ.
♦ සමන් පුෂ්ප ලියනගේ