2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ෆේස් බුකියෙන් මරාගත් සුන්දර මිනිසා

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

 

ජීවත්ව සිටිනා මිනිසකු වෙනුවෙන් සුදු කොඩි එල්ලන්නට සැරසෙන, මිනිස් භවයක උපත ලද අමනයන් අප සමාජයේ නැතිවා නොවේ. කාලයක් මේ රටේ සුවහසක් ජනතාවගේ ආදරය දිනාසිටි ආදරණීය කලාකරුවකු වන ප්‍රින්ස් උදය ප්‍රියන්ත වසර දෙකකට අධික කාලයක් රෝගාතුර වී ලෙඩ ඇඳේ සිටියදී මේ සිද්ධියට මුහුණ පෑවේය. අසූව අනූව දශකයන් තුළ රටේ සංගීත ක්ෂේත්‍රයට නව වෙනසක් ඇතිකළ පිරිස අතරට ප්‍රින්ස්ද එකතු වේ. නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ග්‍රේෂන් ජයමහ, ශාලිකා අබේවික්‍රම ඒ කාලයේ තරුණ හිත්වල ලැඟුම්ගත් අපූරු කලාකරුවෝ වූහ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ මොවුන් නැතිවම බැරි කලාකරුවෝ වූහ.

ප්‍රින්ස් ගැයූ ඔබ පෑ පෙම් සිනා, සඳ කුමාරියක් දීගෙට යනවා... ගීත එදා තරුණ හිත්වලට කතා කළ අපූරුතම ගීත නිර්මාණ විය. ප්‍රසංග වේදිකාවේද පුංචි කෙසඟ සිරුරක් ඇති ප්‍රින්ස් ගැයූ ගීත බොහෝ දෙනාගේ සිත් ඇදගත්තේය. ඇතැම් දිනවල එකම දවසක ඔහු ප්‍රසංග වේදිකා දෙක තුනක ගීත ගායනා කළේය. ඒත්... ඔහුට මහන්සියක් නොදැනුණේය. ඔහු ඒ තරමටම ගීතයට පෙම් බැන්දේය. ඇල්පිටියේ ජීවත් වූ මේ පුංචි කලාකරුවා මුළු රටේම පමණක් නොව විදෙස් සංචාරවලදීද නැතිවම බැරි ගායකයෙක් විය.

ඒත්... ජීවිතේ අපි නොසිතන බොහෝ දේ අප හමුවට එයි. 2015 දෙසැම්බර් මාසයක් ප්‍රින්ස්ට උදානොවී තිබුණානම් අදද ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවේ එදා මෙන්ම ගී ගයමින් සිටිනු ඇත.

2015 දෙසැම්බර් කාලය අයියට වැඩ ගොඩාක් තිබුණා. එයා ෂෝ ගොඩකට ඒ වසරේ සහභාගි වුණා. ඒ ගැන එයා හිටියේ සතුටින්. ඒත්... එක දවසක් අයියට උණ ගත්තා. එයා බෙහෙත් ගත්තට අඩුවුණේ නෑ. පස්සෙ අයියව නවලෝක රෝහලට එක්කරගෙන ගියා. එහේ නේවාසිකව අයියට ප්‍රතිකාර කළා. අයියට ගොඩාක් අමාරු වුණා. අයියගේ කකුල පණ නැතිව පවා ගියා. එයාට මුලදී කාවවත් අඳුරගන්න බැරිවුණා. පුදුම විදිහට අයියා දුර්වල වුණා.

ශිරෝමි ප්‍රියංගිකා නම් වූ ප්‍රින්ස්ගේ නැගණිය ඒ අතීතය නැවත මතක් කළාය.

මාස කීපයක්ම ප්‍රින්ස්ට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ප්‍රින්ස් තවමත් තනිකඩව ජීවත්වෙන කලාකරුවෙකි. ඔහුගේ මව මියගියේද කුවෙට් රටේදීය. තම මෑණියන්ට දැඩිව ආදරය කළ ප්‍රින්ස් මෑණියන්ගේ දේහය ලංකාවට ගෙන ආවේය. ඒ සඳහාද ඔහුට විශාල මුදලක් වැය විය. සංගීත ප්‍රසංගවලින් හම්බකරගත්තු මුදල් ප්‍රින්ස් මේ වෙනුවෙන් වැය කළේය. නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිද්දීද ප්‍රින්ස් වෙනුවෙන් විශාල මුදලක් වැය විය. එන්නත් වෙනුවෙන්, බෙහෙත් වෙනුවෙන්, රෝහල් ගාස්තු වෙනුවෙන්, විශාල මුදලක් වැය විය. ප්‍රින්ස් හරි හම්බකරගත්තු පෞද්ගලික බස්රථ සහ ඇල්පිටිය නගරයේ පවත්වාගෙන ගිය කඩ කීපයද ප්‍රින්ස්ගේ රෝගය වෙනුවෙන් විකුණා දමන්නට සිදුවිය.

ඒ විතරක් නොව, ප්‍රින්ස් වෙනුවෙන් මේ රටේ බොහෝ කලාකරුවන්, කලාකාරියන් මෙන්ම ප්‍රින්ස්ගේ ආදරණීය රසික රසිකාවියෝද අත්වැල් බැඳගත්හ. ඔවුහු ප්‍රින්ස් වෙනුවෙන් සංගීත ප්‍රසංග පැවැත්වූහ. ප්‍රින්ස් වෙනුවෙන් අරමුදලක් ඇතිකර මුදල් එක්රැස් කළහ.

මාස කීපයකට පස්සේ අයියට හොඳ වුණා. සියයට අසූවක් විතර අයියට හොඳ වුණා. එයාව අපි ගෙදර එක්කරගෙනත් ආවා. හැබැයි එයාට සැරෙන් සැරේ මතකය අඩුවුණා. සමහර වෙලාවට එයාට අපිව අඳුරගන්න පුළුවන් වුණාට සමහර වෙලාවට එයාට අපිව අඳුරගන්න බෑ. අයියට දියවැඩියාවත් තියෙනවා. ඒත් ඒ දවස්වල එයා ඉල්ලන්නෙම සීනි දාලා තේ, එහෙම නැත්නම් පැණිරස දේවල්. අනේ ඉතින් අපි කොහොමද දෙයියනේ... ඒවා දෙන්නේ. සමහර වෙලාවට ඒවා අපි නොදුන්නහම චුට්ටක් කේන්තිත් යනවා. අනේ... ඒත් අපේ අයියා හරිම හොඳ සහෝදරයෙක්. ඉස්සර එයා සින්දු කියන්න යද්දී පවුඩර් ටිකක්වත් ගාන්නේ නෑ... අපි එයාට විහිළු කරද්දි අයියා අපි දිහා බලලා හිනාවෙනවා විතරයි. හරිම චාම් ජීවිතයක් අයියට තිබුණේ. අයියා අම්මට පුදුම විදිහට ආදරෙයි. අම්මගේ මරණයත් අයියගේ ජීවිතයට ලොකු කම්පනයක් ඇති කළා...

පළමුවර නවලෝක රෝහලෙන් සුව වී නිවසට ආ ප්‍රින්ස් ටිකින් ටික සුවපත් විය. ඔහුගේ හෙවණැල්ල මෙන් සැමවිටම ආදරණීය නැගණියත්, ඇගේ පුතුනුවනුත් සිටියහ. මේ නිසා ප්‍රින්ස් යළිත් ප්‍රසංග වේදිකාවට ගොඩවැදෙන්නට පවා ලක ලෑස්ති විය. ඔහු කීපවතාවකදීම නැවතත් ගීත ගායනා කළේය. ඔහුගේ ආදරණීය රසික රසිකාවියන්ට මේ ආරංචිය සුභ ආරංචියක් විය. ප්‍රින්ස්ගේ ආදරණීය කලා මිතුරෝ ඔහු ප්‍රසංග වේදිකාවට නැගෙනා තුරු බලාගෙන සිටියහ.

ඒත්... ආයෙමත් ප්‍රින්ස් අසනීප විය. ඒ 2016 දෙසැම්බර් මාසයෙයි. හරියටම වසරකට පසුව ආයෙමත් ප්‍රින්ස් නවලෝක රෝහලට ඇතුළු කරනු ලැබීය. පෙරටත් වඩා ප්‍රින්ස්ගේ තත්ත්වය නරක අතට හැරිණි. නමුත් නවලෝක රෝහලේ වෛද්‍යවරු හා සේවක මඬුල්ල මේ ආදරණීය කලාකරුවා වෙනුවෙන් කළ හැකි හැම කටයුත්තක්ම කළහ. ප්‍රින්ස්ට දරුණු ලෙසින් උණ වැළඳුණේය. ඔහුට සිහිය නැතිවිය. නමුත් ටිකින් ටික නැවතත් ප්‍රින්ස් සිහිය ලැබුවේය. දින කීපයකට පසුව නැවතත් ප්‍රින්ස්ට නිවස බලා යාමට හැකිවිය.

නමුත්... සිදුවූයේ වෙනත් දෙයකි. ප්‍රින්ස් වෙනුවෙන් බොහෝදෙනා වෙහෙසෙද්දී බෝධි පූජා පවත්වද්දී ඔහුගේ අරමුදල වෙනුවෙන් හැකි පමණින් උදව් උපකාර කරද්දී ඔහුට නිවන් සැප ලැබේවා ලෙසින් මුහුණු පොතේ දැන්වීම් පළකරන්නට තරම් ඇතැම්හු සහාසික වූහ. පසුගිය දින කීපය තුළ මුහුණු පොතේ හා අන්තර්ජාලයේ ප්‍රින්ස් මිය ගිය බවට සටහන් තැබීය. මේ සිද්ධිය ප්‍රින්ස්ට සමීපවූවන්ගේ මහත් කම්පනයට හේතුවිය.

අයියට 2016 දෙසැම්බර් ආයෙත් අසනීප වුණා. එයාට ඉක්මන් ප්‍රතිකාර කරලා දෙන්න ඕනේ නිසා නවලෝක රෝහලේ දින කීපයක් නතර කරලා අපි අයෙත් ගෙදර ගෙනාවා. දින හයට අයියගේ වියදම් ලක්ෂ විසිපහක් වුණා. අන්තිමට අපේ තිබුණු ඉඩම් දෙකක් විකුණලා මේ මහ ගෙදරත් ෆිනෑන්ස් කම්පැණියකට උගස් තියලයි අපි ඒ සල්ලි ටික ගෙව්වේ. තව ලක්ෂ හයක රෝහල් බිලක් තියෙනවා.

නමුත් අයියට හොඳටම හොඳ නෑ. එයාට සිහිය එච්චර නෑ. අපිව හරියට අඳුරන්නේ නෑ. කෑම බීම ගන්නේ හරිම අඩුවෙන්. ඒ ගත්තත් ඒ දේවල් හැම එකක්ම ආමාශයට යන්නේ නැහැලු. සමහර ඒවා පෙනහළුවලට යනවා. ඒ නිසා බොන දේවල් විතරයි වැඩිපුර දෙන්නේ. ඒ එහෙම ටිකක් දුන්නත් හොඳටම කහිනවා. පව්... අයියා දැන් ගොඩාක් දුර්වලයි.

ශිරෝමිකා පවසන්නීය.

අයියා වෙනුවෙන් ගොඩාක් අය අපිට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් පින්. ඒ අතරේ අයියා මැරුණා කියලා සමහරු අන්තර්ජාලයේ දාලා. තව සමහරු අපිට කෝල් කරලා පවා ඇහුවා... අනේ බුදුන් වඳින අත්දෙක එකතු කරලා වඳින්නම් ඒ වගේ කතානම් බොරුවට අයියට කියන්න එපා... අපිට අයියා වටිනවා... ඒ වගේ මිනිස්සු අපිට උදව් නොකළත් කමක් නෑ... ඒනිසා ඒ වගේ කතා හදන්න එපා... මේ තාක් අයියට ගොඩාක් අය උදව් කළා. ඒ හැමෝටම ආයෙත් පින්... ඒ අයගේ ආශිර්වාදයෙන් අයියා ආයෙමත් සින්දු කියාවි...

ඔහුට ආධාර කිරීමට කැමැති පින්වතුන් හට පහත සඳහන් ගිණුම් අංකයට මුදල් යැවිය හැකිය.
ගිණුම් අංක :-
කොමර්ල්ෂල් බැංකුව
8103017799- ඇල්පිටිය ශාඛාව
ශිරෝමි ප්‍රියංගිකා
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
100948803862 - ඇල්පිටිය ශාඛාව
ශිරෝමි ප්‍රියංගිකා

♦ දිශානි ජයමාලි කරුණාරත්න