2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ආයුර්වේද මධ්‍යස්ථානවලට අලුතින් ලයිසන්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 884

 

පංචකර්ම මධ්‍යස්ථාන, ආයුර්වේද අලෙවි මධ්‍යස්ථාන හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර සඳහා දැනට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කරමින් මෙම වර්ෂයේ සිට විධිමත් බලපත්‍රයක් නිකුත් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කළේ පසුගිය සතියේය. එසේම මෙම වර්ෂයේ සිට කංසා හා අබිං අඩංගු මෝදක වර්ගයේ ඖෂධ, රස ඖෂධ ආදිය ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විධිමත් වට්ටෝරුවකට පමණක් අලෙවි කළයුතු බවට කොන්දේසියක්ද පනවන්නට කටයුතු යොදා ඇත.

නුසුදුසු පුද්ගලයන් වෙත බලපත්‍ර නිකුත් කිරීම නිසා පසුගිය කාලය පුරාවටම ආයුර්වේදීය නාමය භාවිත කරමින් විවිධ ආකාරයේ අකටයුතුකම් සිදුකෙරෙන මධ්‍යස්ථාන පිළිබඳව වාර්තාවීම මෙම තීරණය සඳහා හේතු වී ඇති අතර, නව වැඩපිළිවෙළ යටතේ එවැනි දේ මුළුමනින්ම වැළකෙනු ඇති බවද සැලකේ.

ඉන්දියාවේ අවුරුදු තුන් දහසකටත් අධික කාලයක් තිස්සේ වැඩී වර්ධනය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට දායාද වන්නේ බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වර්තමානයේදී උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය හා ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහිම සංකලනයක් ලෙසින් පවතී. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එයටම ආවේනික වූ සම්ප්‍රදායක් තුළ පවත්වාගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් ලෙසද පිළිගෙන ඇත.

ආයුෂ පවත්වාගෙන යාමේ විද්‍යාව ආයුර්වේදය යන්නෙහි අදහස වන අතර මෙම වෛද්‍ය ක්‍රමය මූලිකවම නිවාරණය පදනම් කර ගත්තකි. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික - මානසික යන දෙඅංශයෙන්ම සුවදායී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාමට අනුබලදීම ආයුර්වේද ප්‍රතිකාරවලදී සිදුවේ. බොහෝ දෙනා ආයුර්වේදීය ප්‍රතිකාරයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන්නේද ආයුර්වේදයේ පවතින මෙම ගුණාංගයන් නිසාමය. මෙහිදී ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමයක් වන පංචකර්ම ප්‍රතිකාර කෙරෙහිද වැඩිදෙනාගේ අවධානය යොමුවී ඇත. පංචකර්ම කෙරෙහි ජනතාවගේ ඇති නැඹුරුතාවය නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පංචකර්ම මධ්‍යස්ථානද පිහිටවූ අතර ඒ සඳහා බලපත්‍ර ලබාදීමද නිරතුරුවම සිදුවිය. මෙම අවස්ථාව උපයෝගී කොට ගනිමින් සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යාමට ඇතැම් පිරිස් කටයුතු කළේ ආයුර්වේද න්‍යාය ධර්මයන්ටද පහර ගසමිනි. ස්පා (Spa) යැයි සුන්දර නාමයක් ලොවට පෙන්වමින් මෙවැනි බොහොමයක් ස්ථාන ඇතුළේ වැඩිවශයෙන්ම සිදුකෙරැණේ ගණිකා ව්‍යාපාරයයි.

ස්පා යන්න ඖෂධීය ගුණයකින් යුතු දිය ස්නානය කිරීම ලෙස අරුත් ගැන්වෙන අතර බොහෝවිට බටහිර මිනිසුන් එය හඳුනාගෙන තිබුණේ දියඇලිවලින් ගලා එන ස්වභාවික ජලය ස්නානය කිරීම, ස්වභාවික උණුදිය උල්පත්වලින් ගලා එන ජලය ස්නානය කිරීම, මුහුදු ජලයෙන් ස්නානය කිරීම ආදී ඖෂධීය ස්නානයන් ලෙසය. එසේ ස්වභාවික ඖෂධීය ජල ස්නානයක් මගින් පුද්ගලයකු ශාරීරිකවත්, අධ්‍යාත්මිකවත් පිරිසුදු වන බවටද ඔවුන් තුළ මතයක් පැවතිණ. එහෙත් වර්තමානයේ නම් බොහෝ විට ස්පා නාමය යොදන්නේ සම්බාහන මධ්‍යස්ථානවලටය. ශරීර සම්බාහනය, අත්පා සම්බාහනය, මුහුණ සම්බාහනය හා ලිංගික උත්තේජනයන් උද්දීපනය කිරීම මෙවැනි සම්බාහන මධ්‍යස්ථානවල සිදුකෙරෙන මූලික ක්‍රියාවලිය වේ. මෙහි භයානකම තත්ත්වය වන්නේ ආයුර්වේදීය නාමයට මුවාවී මෙවැනි කටයුතු සිදුකිරීමය.

සාමාන්‍යයෙන් ආයුර්වේදයට අනුව පංචකර්ම ප්‍රතිකාර කළ හැක්කේ ආයුර්වේද ශල්‍යෙව්දී සහ ආයුර්වේද විද්‍යාවේදී උපාධිධාරී සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ට පමණි. සුදුසුකම් නොලත් හෝ විෂය ප්‍රගුණ නොකළ වෛද්‍යවරයකුට තබා පාරම්පරික වෙද මහතෙකුට වුවද පංචකර්ම ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැත. එහෙත් අද වනවිට මෙවැනි වෛද්‍යවරුන්ද පංචකර්ම මධ්‍යස්ථානවල සිටිනු දැකිය හැකිය. කෙසේ වෙතත් මෙවැනි ස්ථානවල ප්‍රතිකාර කටයුතුවල තත්ත්වය පහළ මට්ටමක පැවතියත් ගණිකා ව්‍යාපාරය නම් යහමින් සිදුවේ. පංචකර්ම සඳහා බලපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේද සම්බාහන මධයස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යාම නතර කිරීම සඳහාය. 

මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ ආයුර්වේද කොමසාරිස් එල්.එම්. තිලකරත්න මහතා:

ව්‍යාජ බලපත්‍ර හා අවිධිමත් බලපත්‍ර මගින් ආයුර්වේද මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට පොලීසි මගින් අපිව දැනුම්වත් කරලා තියෙනවා. ඒ වගේම මෙම ආයතන සතුව පවතින ලිඛිත බලපත්‍ර පොලීසියෙන් අපට ලබාදීලත් තියෙනවා ඒවා නිවැරදි ඒවාද නැත්නම් ව්‍යාජ ඒවාද කියා පරීක්ෂා කර බලන්නට. මේවා පරීක්ෂා කිරීමේදී අපට තේරුණා එහි ඇති ඇතැම් බලපත්‍ර අප නිකුත් කරන ලද ඒවා නොවන බවට. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ ඉඳලා අපි බලපත්‍ර ලබාදීම විධිමත් කරලා තියෙනවා. පුවත්පත් දැන්වීම් දාලා අපේ බලපත්‍රලාභීන් දැනුම්වත් කරලා මෙම කටයුතුත ක්‍රමානුකූලව සිදුකරන්නට ගරු ඇමැතිතුමාත් උපදෙස් දීලා තියෙනවා. දැනට මේ ආකාරයෙන් බලපත්‍ර ලබාදීම ආරම්භ කරලයි තියෙන්නේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ආයුර්වේද රෝහල, ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, ආයුර්වේද නිෂ්පාදනාගාර, ආයුර්වේද වෙළෙඳසැල් හා ආයුර්වේද බෙහෙත් ගබඩා ආදිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරනවා. නිකුත් කරන බලපත්‍රය වලංගු වෙන්නේ වර්ෂයක කාලයකටයි. ඒ අනුව බලපත්‍රය අලුත් කරන්නට සිදුවෙනවා. මෙලෙස බලපත්‍රය අලුත් කිරීමට පෙර මහජන පැමිණිලි, පොලිස් පැමිණිලි හෝ නඩු කටයුතු සිදුවෙලා තියෙනවා නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඒ ඒ ස්ථානවලට ගිහින් සොයාබැලීම් සිදුකරනවා. ගැටලුවක් ඉදිරිපත් වී නැති ආයතන සඳහා බලපත්‍ර දීර්ඝ කරනවා.

මේ අවුරුද්දේ බලපත්‍රය කලින් දීලා තිබුණ බලපත්‍රවලට වඩා විධිමත් විදිහට තමයි දෙන්නේ. එවිට ව්‍යාජ හෝ අවිධිමත් බලපත්‍ර යම් ආයතනයන් සතුව තිබෙනවා නම් ඒවා ක්‍රියාත්මක නොවනෙ ආකාරයට තමයි බලපත්‍ර ලබාදීම සිදුකරන්නේ. මේ වෙද්දි ආයුර්වේද රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන 167ක් අපි ලියාපදිංචි කරලා තියෙනවා. නමුත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආයුර්වේද මධ්‍යස්ථාන තිබෙනවා කියලා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව මීට වසර 08කට පමණ කළින් පංචකර්ම මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුකරලා තියෙනවා. එම ආයතන වාර්ෂිකව බලපත්‍ර අලුත් කරලත් තියෙනවා. නමුත් දැනට එහෙම බලපත්‍ර ලබාදීමක් අප සිදුකරන්නේ නෑ. දැනට බලපත්‍ර දෙන්නේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානවලට විතරයි. පංචකර්මය එහි එන ප්‍රතිකාරයන් නිසා එයත් අර මධ්‍යස්ථානයේදීම සිදුකළ හැකියි.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ මේ වනවිට මෝදක කාණ්ඩයේ අඩංගු මෝදක වර්ග නිෂ්පාදනය කිරීම සඳහාත් අපි ලියාපදිංචි නිෂ්පාදනාගාරවලට අවසර ලබාදී තිබෙනවා. ප්‍රතිකාර සඳහා පමණක් ලබාදුන් මෙම අවසරය ඇතැම් නිෂ්පාදනාගාර වැරදි විදිහට භාවිත කරන බවට අපට වගේම පොලීසියටත් පැමිණිලි ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම රසදිය වගේ විෂ සහිත ද්‍රව්‍ය විෂ මරලා ආයුර්වේදයේදී ඖෂධ සඳහා යොදාගන්නා අවස්ථාවන් තියෙනවා. මේවා බොහෝ සුවකළ නොහැකි රෝග සඳහා භාවිත කරන හොඳ ඖෂධ. එම රස ඖෂධත් තවත් ආයුර්වේද කාණ්ඩයේ ඇති මෝදක කාණ්ඩයි.

විශේෂයෙන්ම මෝදක කාණ්ඩයේ ඖෂධ වර්ගවලින් කංසා, අබිං යොදා නිපදවන මෝදක වර්ග සාමාන්‍ය ජනතාවටත් අලෙවි කරන බවට අපට පැමිණිලි ලැබුණා. මේ කරුණු සැලකිල්ලට ගනිමින් මේ වසරේ සිට කංසා අබිං සහිත ඖෂධ හා රස ඖෂධ ආදිය ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විධිමත් වට්ටෝරුවකට පමණක් අලෙවි කළ යුතු බවටද බලපත්‍රයේ කොන්දේසි ලෙස සඳහන් කරලා තියෙනවා.

වසර ගණනාවක් තිස්සේ රටේ පැවැති ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම අනිසි තත්ත්වයෙන් භාවිත කිරීමේ අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව ගන්නා ලද තීරණ වඩා කාලෝචිතය. මේ අනුව ඉදිරියේ දී කිසිදු පැකිලීමකින් තොරව නිවැරදි ආකාරයේ සේවාවන් ලබාගැනීමට මහජනතාවට හැකිවනු ඇතැයිද මෙහිදී සඳහන් කළ යුතුය.

♦ හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00