2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

අර්බුදයෙන් බැටකන පාසල් දරුවන්ගේ නිල ඇඳුම

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

හුංගම අධ්‍යාපන කලාපයේ සහ ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක දරුවන්ට වව්චර් වෙනුවට රෙදි ලබාදී ඇතිඅතර මේ රෙදි බාල වර්ගයට අයත් රෙදි බවත් ඇතැම් දරුවන්ට ප්‍රමාණවත් තරමේ රෙදි නොලැබී ඇති බවත් මීට වසරකට පමණ ඉහතදී මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි.

රජය පාසල් දරුවනට නොමිලේ නිල ඇඳුම් ලබාදෙන්නේ අධ්‍යාපනය ආයෝජනයක් ලෙස සලකාගෙනය. නොමිලයේ නිල ඇඳුම්, නොමිලයේ පෙළපොත් ඇතුළු නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන එකම රාජ්‍ය ශ්‍රී ලංකාවයැයි සැලකීමේ වරදක් ද නැත. තත්ත්වය එසේ වුවද දැනට වසර දෙකක පමණ සිට පාසල් දරැවන්ට නොමිලයේ නිල ඇඳුම් ලබාදීම යම් ආකාරයක ගැටලුවක් බවට පත්වී තිබේ. පෙර පාසල්වලින් ලබාදුන් නිල ඇඳුම් වෙනුවට පැවති යහපාලන රජය විසින් හඳුන්වාදුන් වව්චර් ක්‍රමයට එරෙහිව නොයෙක් අවස්ථාවල ගුරැ සංගම් මෙන්ම ශිෂ්‍ය සංගම්ද විවිධ අවස්ථාවල හඬ නැගුවේය.

නිදහස් අධ්‍යාපනය තුළ පසුගිය කාලය තිස්සේ අපේ රටේ දරු දැරියන්ට පෙළපොත් මෙන්ම නිල ඇඳුම් රෙදි ලබාදීම මෙරට රජයන් විසින් ක්‍රියාත්මක කළ සුභවාදී පියවරකි. මෙලෙස කාලයක පටන් පෙළපොත් ලබාදුන්නද නිල ඇඳුම් නොමිලයේ ලබාදීම අරඹා දැනට වසර 25කි. 1993 වසරේ සිට පාසල් දරුවන් ලක්ෂ 43කට පමණ මෙලෙස නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් සඳහා වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 2300කි.

පසුගිය යහපාලන රජය විසින් සිසුන්ට ලබාදුන් වව්චර ක්‍රමය නවතා නැවත පැරණි ක්‍රමයටම 2019 වසර සඳහා නිල ඇඳුම් ලබාදීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබූ නමුත් ලබන වසර සඳහා වන නිල ඇඳුම් ලබාදීම 2019 වසරේ ප්‍රථම වාරයට කල්ගොස් ඇති බව මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

අධ්‍යාපන අමත්‍යාංශයේ ආරංචි මාර්ග අනුව මෙලෙස සිසුන් හට ලබාදෙන නිල ඇඳුම් සහ පෙළපොත් ලබාදීම 2019 ප්‍රථම වාරය තෙක් කල්ගොස් ඇත්තේ ආණ්ඩු පෙරළියත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වනවිට හටගෙන ඇති අර්බුදය හේතුවෙනි.
සෑම වසරකම තෙවැනි පාසල් වාරය නිමාවීමත් සමඟම දරැවන්ට පෙළපොත් සහ නිල ඇඳුම් ලබාදෙන අතර මෙසේ නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ ප්‍රථම පාසල් වාරයට කල්යෑම නිසා බොහෝ දුෂ්කර පාසල්වල සිසු සිසුවියෝ අපහසුතාවයට පත්වී සිටිති.

මෙලෙස ලබන 2019 වසරට අදාළ නිල ඇඳුම් පාසල් සිසුන්ට නොලැබීම පිළිබඳව දේශයේ අපි ගුරැ සංගම් කිහිපයකින් විමසීමක් කළෙමු.

ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති - මොහාන් වීරසිංහ

පසුගිය කාලය පුරාවටම වසරේ මේ කාලසීමව වෙනකොට රජය විසින් පාසල් නිල ඇඳුම් ලබාදීම සිදුකරනවා. නමුත් මේ වසරේ එය කිසිම දරුවෙක්ට ලැබිලා නැහැ. ආරංචි මාර්ගවල හැටියට ලබන වසරේ තමයි මේ නිල ඇඳුම් පාසල් වෙත ලබාදෙන බව පැවසෙන්නේ. දුෂ්කර පාසල්වල දරුවන් බොහෝ පිරිසක් මේ පාසල් වාරය නිමා වනවිට නිල ඇඳුම් ලබානොදීම නිසා මහත් අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. රටේ හෙට දිනය  බාරගන්න ඉන්නේ මේ දරුවන්. ඔවුන්ගේ බලාපොරොත්තු නැතිවෙන විදියේ වැඩක් තමයි මේ වෙනකොට මේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට වගකිව යුතු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ලබන වසරේ ප්‍රථම පාසල්වාරයේ ප්‍රථම සති දෙක තුළවත් ඒ දරුවන්ට අදාළ නිල ඇඳුම් ලබා දෙන ලෙසට.

ලංකා ගුරු සංගමයේ ලේකම් - ජෝසප් ස්ටාලින්

රජයක් වුණාම රටේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සහ ඊට අදාළ සියලු දේ ගැන සොයාබැලිය යුතුයි. ඒ වගේම තමයි ලබන වසර සඳහා වන නිල ඇඳුම් මේ වසර අවසන් වාරයට පෙර ලබාදීය යුතුව තිබුණා. නමුත් එය එසේ වුණේ නැහැ. එමෙන්ම පෙළපොත් බෙදාදීමක් පසුගිය දින කිහිපය වනතුරැ නිසි ලෙස ඉටුවී තිබුණේ නැහැ. 

මේක ඇත්තටම දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් මත ඇති වෙනවා කිව්වත් මේවා කඩිනමින් කරන එක නිලධාරීන්ගෙත් වගකීමක්. නමුත් කිසිදු නිලධාරියකු ඒවට අවශ්‍යය පියවර ගෙන නැහැ. මේ කරන හැමදෙයක්ම අපහසුතාවයට පත්වෙන්නේ රටේ දරැවන් ඒ නිසා රටේ දරැවන්ට ඒ නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් පෙළපොත් නිසි වෙලාවට ලබාදීම රජයේ මෙන්ම ඒ රාජ්‍ය නිලධාරීන්ගේද වගකීමක්.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් - මහින්ද ජයසිංහ

සාමාන්‍ය ක්‍රමය තමයි සෑම වසරකම පාසල් වාරය අවසන් වෙන්න කලින් මේ රටේ දරුවන්ට නිල ඇඳුම් ලබාදීම. නමුත් මේ පාර තවමත් පාසල්වලට එය ලැබී නැහැ. මොකද මේ නිල ඇඳුම් රෙදි හම්බ වනතුරු දරුවන් විශාල ප්‍රමාණයක් බලාඉන්නවා. පසුගිය 26 වැනිදා අලුතින් පත්වුණු ආණ්ඩුව ගත්ත තීන්දු තීරණ නිසා තමයි මේ විදියේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද නිල ඇඳුම් වව්චර් තමයි දැන් වසර දෙකක් පමණ කාලයක් ලබාදුන්නේ. නමුත් පසුගියදා රැස්වුණු කැබිනට් රැස්වීමකදී තීරණය වෙනවා නිල ඇඳුම් වව්චර් වෙනුවට නැවත පෙර ලෙසට නිල ඇඳුම් රෙදි ලබාදෙන්න ඒ තත්ත්වය යටතේ තමයි මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙන්නේ. මොකද මේ කාලසීමාවත් එක්ක අපි දකින දේ තමයි මේ විදියට නිල ඇඳුම් දෙන්න ඔවුනට කාලයක් නැහැ. එහෙම කාලයක් නැති බව දැන දැනම මේ තීරණය ගැනීම නිසා තමයි මේ අර්බුදය මතුවෙලා තියෙන්නේ. දරුවන්ට පෙර වසරවල මෙන් නෙවෙයි හිස් අතින් තමයි මේ වාරය නිමාවෙලා ගෙදර යන්න වෙලා තියෙන්නේ.
ලබන වසර සඳහා නිල ඇඳුම් ලබාදීමට අදාල කැබිනට් මණ්ඩල තීරණය මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී නොමැති හෙයින් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී තිබේ.

නිල ඇඳුම් සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසු අවම වශයෙන් දරුවන් අතට රෙදි පත්කිරීම සඳහා මාස තුනක පමණ කාලයක් ගතවන අතර පවතින තත්ත්වය මත දරුවන් අතර නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ මාර්තු මාසය ද ඉක්මවා ඇතිබව අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් මෙම අර්බුදය නිමාකර ලබාන පාසල් වාරය ආරම්භයේදීම පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට රජයේ මෙන්ම අදාළ නිලධාරීන්ගේද වගකීමකි.

 හසිත් අංජන