මම මම මේ හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. ඇය සිය ප්‍රථම කාව්‍ය එකතුවෙන්ම පරිණත ලක්ෂණ පළකිරීමට සමත් බව මෙහි කවි සියුම් ලෙස කියවන විට පෙනේ.
කිවිඳිය තම නිර්මාණ ඔපමට්ටම් කර සුමට කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. එය නවක නිර්මාණකාරියක වශයෙන් ධනාත්මක ලකුණක් මතු කරන්නකි.
සමාජයේ දූෂිත දේශපාලන මඩගොහොරුවේ අත්දැකීම් මෙන්ම පුද්ගල අත්දැකීම් ද කාව්‍යොක්ති බවට පත්කිරීමට හර්ෂනී ගෙන ඇති වෙහෙස අගය කළ යුතුය.
වප් මඟුල නම් කවිය අද සමාජයේ සුලබ දේශපාලන නායකන්ගේ වප් මඟුල් උත්සවයක් ගැනය. එහිදී කිවිඳිය සඳහන් කරන්නේ කසී සළු දවටාගෙන සීසාන රජු නොව ඔහු පසුපස යන වන්දිභට්ටයන්ගෙන් කුඹුර මැඩවෙන බවය. වප් මඟුල රජුන්ට උළෙලක් වුවත් ජනතාවට එය තැවුලක් බව අවසානයේ සඳහන්ය.
“කසී සළු දවට ගෙන
සූසැට බරණ ලාගෙන
ගොනුන් ගෙන පෙරටුවට
සීසායි රජු ලියැද්දට බැස
ධජ සේසත් රුගෙන
දාසයන් යයි එරජ පසුපස
උන් දැන හෝ නොදැන
එවෙල මැඩවෙති උන්ගෙ දෙපයට”
(11 පිට)
වර්තමාන සමාජය ගොදුරු කරගෙන ඇති සමාජ ජාල නිසා සිදුවන විපර්යාසය හර්ෂිනී අපූරු ව්‍යොක්තියක් බවට පත්කරගෙන ඇත්තේ පාඨකයා තුළ චිත්ත රූප මැවෙන අයුරිනි. බොහෝ ෆේස්බුක් පිටුවල දරුවන්ද බිරින්දෑවරුද තුරුළු කරගෙන සිටින පවුලක රූප ඇතුළු කර තිබුණත් පිරිමි/ කාන්තා දෙපක්ෂයම එහිදී රඟපාන්නේ වෙනත් චරිත බව කිවිඳිය සයිබර් මල් කවියෙන් අවධාරණය කරවයි. එය වර්තමාන සමාජයේ සුලබය.
“මොන බොරුද?
ඒ වගේද මුණූ පොතේ ආදරය
“ඉර ඇහැරෙන්න කළින්
ඔන්න මං ආවා
ගුඩ් මෝනිං කෙල්ලෙ
මහත්තයා තව නිදිද?”
(පිට 18)
බොහෝ විවාහක පිරිමින් ද විවාහක කතුන්ද මූණු පොත හරහා තවත් පිරිසකට ආකර්ශනය වෙති. පිරිමින්ට සමාජ ජාලාවලින් කතුන් රවටා ගැනීම ඉතා පහසුය. ඔවුහු ආටෝප කතාවලින් කතුන් ගොදුරු කර ගනිති.
“එයාටත් එහා එයා
ඔයා නං හරි රිලැක්ස්
බරක් නැති ආදරය
ඔයාගේ තව නමක්
“උයනවට වඩා ලියන එක
මට සැපයි ඇත්තටම
ඔයාගේ ආදරය
මල් වුණත් කිති කවයි
ඊයේ රූ නින්ද
ඔව් හරිම සුන්දරයි
ඒ හීනවල හිටියේ
ඔයාමයි සහතිකයි!”
(පිට 19)
සයිබර් අවකාශයේ ව්‍යාත්වය ගෙනහැරපාන කිවිඳිය මේ මාධ්‍යයේ අතරමංවූවන්ට ඉඟියක් ද දෙන්නීය.
“පර වුණත් සයිබරයේ මල්
තියෙයි නුඹටත් හෙටක්
නාලිනී එනකල්
ඉන්නවද නුඹ බලන්”
(පිට 20)
බොහෝ අත්දැකීම් මානුෂික දෘෂ්ටියකින් බැලීමට හර්ෂිනී උත්සාහ කර තිබේ. විමුක්ති, ගෑනු සිත, නික්මෙන්න අවසයි, සුළු වරද, මව්වරැන්ගේ දිනය වැනි කවිවල එම ගුණය කැපී පෙනේ. හර්ෂිනී පුෂ්පමාලා දිගින් දිගටම කාව්‍යකරණයේ නිරත වන්නේ නම් ඇය අතින් වඩාත් ඉහළ මට්ටමේ නිර්මාණ බිහිවන බවට ඉඟියක් මෙම කෘතියෙන් විෂද කරයි. ඒ අතරම අක්ෂර වින්‍යාසය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබුණු බව ද පැවසිය යුතුය. මම මම මේ රාජගිරිය අගහස් ප්‍රකාශනයකි.
පාඨක