සංවේග දනවන සාහසික සිදුවීම් පෙළක් පසුගිය සතියේ එක දිගට අසන්නට ලැබුණේ කාගේත් අවධානය ඒ වෙත යොමු කරවමිනි. නව යොවුන් පාසල් දරු පරපුරක් තරුණ පරම්පරාවක් බරපතළ සමාජ ව්‍යසනයකට ගොදුරු වී ඇති බැව් පෙනෙන්නට තිබේ. ඇතැමුන් මත්ද්‍රව්‍ය හා අපචාර වැනි සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වෙද්දී එකක් පසුපස එකක් වශයෙන් ඛේදනීය ඝාතන රැල්ලක් ඉස්මතු විය. රටේ නම කෙළෙසන තවත් පරපුරකට නරක පූර්වාදර්ශ සපයන අවරගණයේ සිදුවීම් කිහිපයක් ඊට හේතු වී තිබේ.
ගම හෝ නගරය ලෙස බේදයකින් තොරව තරුණ දරුවන් ගැටුම් ඇති කිරීම, පහර දීම, ආයුධ භාවිතය, මාරාන්තික තුවාල සිදුකිරීම හෝ ඝාතනය කිරීම දක්වා පිවිසීම බරපතළ අර්බුදයකි.
මේ ආකාරයේ ඝාතන සිදුවීම් තුනක් ඉකුත් සතියේ වාර්තා වූයේ මාතර, බේරුවල හා මොනරාගල ප්‍රදේශවලිනි. මාතර ජනාකීර්ණ නගරයේ දෙනෝදාහක් ජනතාව ගැවසෙන මාර්ගයක පාසල් වියේ තරුණ දරුවෙක් තවත් එවැනි සම වයසේ දරුවකුට පිහියෙන් ඇන මරා දැමීම රටම සසල කළ සිදුවීමකි. පසුගිය 25 වැනිදා වාර්තා වූ ඝාතනයට සම්බන්ධ සාක්ෂි සටහනක් ලෙස එම මාර්ගයේ ස්ථාපිත කර තිබූ රහසිගත කැමරාවක සම්පූර්ණයෙන් සිදුවීම පටිගත වී තිබිණ.
මාතර ඇලවේල්ල පාරේ තිබූ පන්තියක් දෙසට යන දරුවන් තිදෙනෙකි. ඔවුන් යන අතරමඟට පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදියකි. එහි පැමිණ සිටියේ ද තවත් තරුණයන් තිදෙනෙකි. ඉන් බැසගත් තිදෙනා පාරේ ගමන් කරමින් සිටි තිදෙනාට පහර දෙන අතර එක් අයකු අත වූ පිහියකින් පහර දෙන ආකාරයත් පහර කෑ අයගේ කමිසයේ කෙළවරකින් අල්ලාගෙන පහර පිට පහර දෙන අයුරුත් පෙනෙන්නට තිබිණ. පහර දී මොහොතකින් යතුරුපැදියේ පැමිණි තිදෙනාම නැගී පළායති. ඒ අතරතුර තුවාල ලද තරුණයා බිම ඇද වැටෙන අතර ඔහු රෝහල් ගත කරන්නට උදවු ඉල්ලන ඔහුගේ මිතුරෙක් ද සිටී. යතුරුපැදියක එන දෙදෙනකු සහ මෝටර් රථයක් පදවාගෙන එන අයකුගෙන් ද උදවු ඉල්ලන නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කරමින් මඟහැර යති. එසේ මඟහැර ගිය මෝටර් රථය පදවා ඇත්තේ ද ප්‍රදේශයේ ප්‍රසිද්ධ අමතර පන්ති පවත්වන ගුරුවරයකු බවට ද තොරතුරු වාර්තා විය.
කෙසේ වෙතත් අවසානයේ ත්‍රීරෝද රථ රියදුරෙක් ඉදිරිපත් වී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ තරුණයා රෝහල් ගතකර ඇති අතර පහර කා තුවාල ලැබූ තවත් තරුණයෙක් ද ඒ අතර සිටියේය. පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව සිටියේ ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි රසිඳු ගිම්හාන (19) නැමැති පාසල් දරුවෙකි. ඝාතනය සිදුකර තිබුණේ ද මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකු විසින් බවට අනාවරණය විය.
උදේ පුතා බත් නොකා යන්න ලෑස්ති වුණා. මම සැර කළාම ටිකක් කාලා ගියා. වෙනදා මගේ රත්තරන් පුතා ගෙදරින් යද්දි පුතාගේ මූණ ඉඹලා බුදු සරණයි කියනවා. ඒත් මට එදා එහෙම බැරි වුණේ මම ගේ පිටිපස්සේ වැඩක් කරන අතරේ පුතා ගෙදරින් ගිය නිසයි යනුවෙන් මියගිය දරුවාගේ මෑණියන් වූ පී. බී. නෙළුම් කුමාරි මහත්මිය පැවසුවාය.
ඝාතනය සිදුකර පළා ගිය සැකකාර සිසුවා 16 හැවිරිදිය. ඔහු තවත් සිසුන් පිරිසක් සමඟ පැමිණ 24 වැනිදා පෙරවරු 9ට පමණ මාතර බස් නැවතුම අසලදී ඝාතනය වූ සිසුවා සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවත් පසුව මාතර බෝධිය අසලදී පහර දීමක් සිදුකර තිබෙන බවත් ඉන් අනතුරුව හක්මන පාරේ ගබඩා වීදිය හන්දිය අසලදී ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වී ඇත. ඉන් අනතුරුව ප්‍රධාන සැකකරු තවත් මිතුරන් දෙදෙනකු සමඟ අතුරු මාර්ගයකින් ඝාතනයට ලක්වූ සිසුවා යන මාර්ගයට පැමිණ පහර දී ඇතැයි වාර්තා විය. ඔවුන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක් හිස්වැසුමක් සහිතව යතුරුපැදියෙන් පැමිණි බවට සාධක CCTV කැමරා දර්ශනවල සඳහන්ය.
සිද්ධියේ ප්‍රධාන සැකකරු මාතර ප්‍රධාන පෙළේ පාසලට ඇතුළත් වන්නට පෙර ඉගෙනගත් පාසලේ විදුහල්පතිවරයාට පහර දීම නිසා පන්ති තහනමට ලක්ව සිට ඇති අයෙකි. එසේම යම් සිදුවීමකට එරෙහිව පාසලේ ශිෂ්‍ය නායකයාට පහර දීමේ සිද්ධියකට සහ බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දීම ඇතුළු චෝදනා රැසකට ලක්ව සිටි අයෙකි. ඔහු සිදුවීම් වනවිට උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබමින් සිටි බව කියයි. සෙසු මිතුරන් දෙදෙනාගෙන් අයෙක් උසස් පෙළ හදාරන අතර අනෙක් සිසුවා සාමාන්‍ය පෙළ විභාගය අසමත්ව නිවෙසට වී සිටින අයෙකි. සැකකරුවන්ට යතුරුපැදියක් ලබා දී ඇත්තේ ද ඔවුන්ගේ හිතවත් සිසුවකු විසින් බව හෙළි කර තිබේ.
මොවුන්ගේ ගැටුමට ප්‍රධාන හේතුව පෙම් පලහිලවුවක් බව ද අනාවරණය වී තිබුණි. සිදුවීම පිළිබඳව අදහස් දක්වන මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතා සඳහන් කළේ සිසු පිරිසේ ගැටුම මාසයකට පමණ පෙර ආරම්භ වී ඇති බවය. මව්පියන් නිසි සොයාබැලීම් නොකිරීම හේතුවෙන් දරැවන් මෙසේ හැසිරෙන බව ද ජංගම දුරකථනය, යතුරුපැදි සහ මුදල් ලබාදීමේදී සහ ඔවුන් ඇසුරු කරන පුද්ගලයන්, යන එන තැන් පිළිබඳ අවධානයෙන් පසුවූවානම් මෙවැනි ඉරණමක් අත් නොවන බවද ඔහු පැවසීය. නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ ඇසුරු කරන බොහෝ දරුවන් තුළ ගුණ ධර්ම පිරිහී ඇති බවත් නම්‍යශීලී බවක් නැති බවත් ආචාරශීලී නොවන බව ද පෙනෙන්නට ඇති බව ද පෙන්වා දෙයි. ආරවුල් හෝ ගැටුමක් ඇති වූ විට සුහදව කතා කර විසඳුමක් ලබා ගැනීමට පෙළඹීමක් නැති ඔවුන් සම්බන්ධයෙන් පොලීසිය, ගුරුවරු පමණක් නොව සමාජයේ අවධානය යොමුවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙක් අතර වූ ගැටුමකින් පසුව එම විද්‍යාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව සිටියේ ද පසුගිය සතියේය. ඔහුට පහර දී තිබුණේ පාසලේ 9 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක් බවට ද තොරතුරු වාර්තා විය.
එම පාසලේ වාර විභාගය පවත්වා තිබුණේ 21 වැනිදාය. එදින එය ආරම්භයට පෙර සීනුව නාද කර ඇතිමුත් සැකකාර සිසුවා ඊට අවනත වී නැත. ඊට හේතු විමසූ විට ශිෂ්‍ය නායක සිසුවාට 15 හැවිරිදි සාකකාර සිසුවා පහර දී ඇත්තේ බහින්බස් වීමකින් අනතුරුවය. එහිදී සිදුකළ තල්ලු කිරීමේදී ශිෂ්‍ය නායක සිසුවා ඇද වැටී තිබෙන අතර ඔහුගේ හිස පිටුපස වැදී තිබිණ. එතැනින් ගැටුම අවසන් කර ඇති අතර දෙදෙනාම එදින විභාගයට ඉදිරිපත්ව ඇති අතර ඒ අතරතුරදී ශිෂ්‍ය නායක සිසුවාගේ හිසේ කැක්කුමක් හටගෙන තිබෙන බවද ගුරුවරියක විසින් වේදනා නාශක ඖෂධයක් ලබා දී වෙනත් සිසුවකු සමඟ ඔහු නිවසට ඇරලවා ඇති බව ද වාර්තා විය.
එහෙත් උදෑසන වූ පහර දීම හා ඇද වැටීම පිළිබඳව කරුණු කිසිවක් පාසලේදී හෝ නිවසේදී පවසා නැතැයි ද අනාවරණය වී තිබුණි. පසුව නිවසට ගිය දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් නාගොඩ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ශල්‍යකර්මයක් සිදු කර ප්‍රතිකාර ලබමින් සිට නැවත නාගොඩ යැවූ පසුව මරණයට පත්ව තිබිණ.
වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇද වැටීම නිසා දරුවාගේ මොළයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවය. මෙසේ මියගොස් තිබුණේ මොහොමඩ් තාරික් (17) නැමැති සිසුවෙකි.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේදී පෙම්වතා විසින් සිය පෙම්වතියගේ ගෙල සිරකර තියුණු පිහියකින් ඇන මරා දමා සිරුර අසල තිබූ වැවකට ඇද දැමීමත් මේ සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍යට මුදාහැරීමෙන් අනතුරුව එය රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම ද ආන්දෝලනාත්මක පුවතක් විය.
ඝාතන සිදුවීම පටිගත කරන පිරිස කතා කරන හඬ එහි පැහැදිලිව ඇසේ. අපිට බේරන්න බෑනෙ බන්.. කෙල්ල කිව්වනෙ එයා බේරගන්න එපා කියලා.. සහ උඹට මතකද පොලිසිය කිව්වා අපිට මිනී මරණ තැන්වලදි ඒවට මැදිහත් වෙන්න එපා කියලා යනුවෙන් අසන්නට ලැබේ. මේ අනුව ඝාතනය දුටු පිරිස බේරීමට මැදිහත් නොවුණු හේතුව පැහැදිලි නමුත් ඔවුනට යමෙකු විසින් ලබා දී ඇත්තේ නිවැරදි උපදේශයක් නොවන බව ද කිව යුතුය. එබැවින් ඝාතනයේ සාක්ෂියක් ලෙස පෙන්වීමට ඔවුන් එම සිද්ධිය වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදා හැරියා වන්නට හැකිය. මේ අතර අයෙක් සිදුවීම පිළිබඳව පොලීසියට දන්වා තිබූ අතර පොලීසිය පැමිණෙන විටත් ඝාතනය කළ පෙම්වතියගේ සිරුර ජලයට ඇද දමා ඒ ආසන්නයේම රැඳී සිටි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර පෙම්වතා පවසන පරිදි පෙම්වතිය අවිවාහක බව කියා ඇත්තේ බොරුවටය. ඇය විවාහක නමුත් සැමියාගෙන් දික්කසාද වීමට නියමිතව සිටි තැනැත්තියකි. ඒ අතර පෙම්වතා අනියම් සැමියකු වශයෙන් ඇසුරු කර තිබුණු අතර එය තරුණියගේ උපායශීලී මුලාවක් බව කියති.
එහෙත් තරුණයා ඇයව විවාහ කරගැනීමේ අදහසින් සිට ඇත. පෙම්වතාගේ නැගණියගේ රූපලාවණ්‍යාගාරයේ සේවයට පැමිණ සිටියදී ඇසුරක් ගොඩ නගාගෙන ඇති දෙන්නාගේ සබඳතාවයට වසර තුනකි. නමුත් වෙනත් පුරුෂයන් ඇසුරු කරන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් සැකකරු තරුණියගෙන් විමසීමේදී ඒවා ප්‍රතික්ෂේප කර තිබුණි. එහෙත් පෙම්වතියට අයත් වූ ස්කූටි වර්ගයේ යතුරු පැදියේ ආසනය තුළ සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් හමුවී ඒවා පරික්ෂාවේදී සියලු තොරතුරු හෙළි වීම නිසා ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් ගෙල සිරකර ඝාතනය කළ බවට සැකකාර තරුණයා පොලීසිය ඉදිරියේ ප්‍රකාශ කර තිබිණ.
මෙවැනි සිදුවීම් පෙළක් ඉකුත් සති කිහිපය තුළදී අසන්නට ලැබුණු අතර පුතා විසින් මව සහ පියා ඝාතනය කළ සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. ඊට පෙර වාර්තා වූයේ දියණියකගේ පොලු පහරින් මියගිය පියා පිළිබඳ කතාවකි. ඊට පෙර වාර්තා වූයේ වියපත් මවක විසින් රෝගාතුර දියණිය ඝාතනය කිරීමකි. එසේම හලාවත ප්‍රදේශයේ පාසලක වාර්තා වූයේ සිසුන් දෙදෙනකුගේ ආරවුලක් දුරදිග යාමෙන් සිදු කළ පහර දීමකදී ශිෂ්‍ය නායකයකු මියගිය පුවතකි. මේ ආකාරයේ පහරදීම් හා ඝාතන මිනිසුන් හැදීම ආරම්භ කරන පාසල් පද්ධතියේ වාර්තා වීම බරපතළ ගැටලුවකි.
වාද විවාද ආරවුල් කොතෙක් ඇතත් ගැටුමට මත්තෙන් සාකච්ඡා ඔස්සේ ඕනෑම ගැටලුවකට විසඳුම් ඇති බව මුරණ්ඩු හිත්වලට අවබෝධයක් නැත. පෙර සඳහන් කළ පාසල් දරැවන්ගේ ගැටුම් හා ඝාතනවලට ඔවුන්ගේ මව්පියන් වගකිව යුතුය. නිවසට අමතරව වැඩි වේලාවක් කල් ගෙවන පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට ද මේ වගකීම්වලින් මිදිය නොහැක. වර්තමානයේ දරුවන් ජංගම දුරකථනයට, ඉලෙක්ට්‍රොනික උපාංගවලට ඇබ්බැහි වී සිටීම ද මීට හේතුවකි.
යම් ඛේදවාචකයක් අවසානයේ පොලීසිය මැදිහත් වී ඵලක් නැත. රටේ පාලකයන්, සමස්ත පුරවැසියන් ඇතුළු සියලු දෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර
සමහර මවුපියන්ගේ වැරදිත් මේ සිද්ධිවලට හේතුවක්
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
අපරාධවලට පෙළඹුණු අය අපි දැකලා තිබුණේ වැඩිහිටි පිරිස විදිහටයි. නමුත් මෑතකාලීන සිදුවීම් පෙළක් එක්ක නව යෞවන වියේ පිරිස් මේවාට සම්බන්ධ වෙන බවක් දකින්න ලැබුණා. ඔවුන් අපරාධවලට දායක වන බව පෙනෙනවා. ඇතැම් ඒවා ක්ෂණික ආවේගය මත සිදු කළ ඒවා. සමහර ඒවා සැලසුම් සහගත බව පේනවා. පළිගැනීමේ අරමුණෙන් කණ්ඩායම් වශයෙන් සංවිධානය වූ බවද දකින්න ලැබෙනවා. නව යෞවනයේ පිරිස මේ සඳහා යොමුවීමට හේතු අතර ඔවුන් අසහනකාරී ලෙස ඉන්නා බව පෙනෙනවා. සංස්කෘතිය සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේකෙදී තරුණ පරම්පරාව තාක්ෂණයට යොමු වෙලා.
ආර්ථික රටාව, දියුණුව සමඟ ඒ සඳහා ගැටිලා ජීවත් වෙද්දී දුෂ්කරතාවලට යොමු වෙලා. එක අතකින් ළමයින් තාක්ෂණයේ ගොදුරක් වෙලා. ප්‍රචණ්ඩකාරී කාටුන් බලනවා. එවැනි පරිගණක ක්‍රීඩාවලට යොමු වෙනවා. මේ සඳහා බොහෝ පිරිස් ඇබ්බැහි වෙලා තිබෙනවා. ඇබ්බැහිය නිසා දරුවා තාක්ෂණයේ ගොදුරක් වෙලා තියෙනවා. මිතුරු ඇසුර අඩු වෙලා, තාක්ෂණික ජීවිතය වැඩි වෙලා අධ්‍යාපනය තරගයක් වෙලා. ඊට අමතරව සාමාන්‍ය ජීවිතයේ නෑදෑයෝ, ක්‍රීඩාව අහිමි වෙලා. බාහිර උත්සව ප්‍රිය සම්භාෂණවලට යන්න තරම් වෙලාව නෑ. අධ්‍යාපනය ඇසුරේ කාර්යබහුල වෙලා තියෙනවා. අධ්‍යාපනය තරගයක් වෙලා. ඇතැමුන් සාර්ථක වෙනවා. අසාර්ථක වුණු අය බොහෝවිට කොන් වෙලා තියෙනවා. මේක ගැටලුවක්.
එවැනි දරුවන්ට අත දෙන්න කෙනෙක් නෑ. එවැනි දරුවන් ගෙදර පවා කොන් වෙලා තිබෙනවා. ආදරය සැලකිල්ල අඩු වෙලා. ගෙදර මව්පියන්ගේ, සහෝදරයන්ගේ ආදරය නොලැබුණාම පිට සමාජයෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තවත් සමාජ විරෝධී පිරිස් වෙත ඔවුන් එකතු වෙනවා. ඔවුන් කල්ලි හදනවා. එකතු වෙනවා. ඔවුන් ඇතැමුන්ගේ ගොදුරු වෙනවා. තවදුරටත් ජීවිතය විනාශ වෙන තැනට උපදෙස් ලැබෙනවා. ඔවුන් සූදානම් වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්න. ඕනෑම තැනකදී බය කරලා ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට කැමති වෙනවා. මෙහෙම සංවිධානය වෙන පිරිස්වලට මත්ද්‍රව්‍ය, මත්පැන්වල බලපෑමත් වැඩියි. ජාවාරම්කරුවන් ඔවුන් භාවිතා කරනවා.
ඇතැම් මාධ්‍යවලත් බිහිසුණු සිදුවීම් පුලපුලා වාර්තා කරනවා. එවැනි සිදුවීම් අනුකරණය කරන්න උත්සාහ ගන්නා පිරිසක් ඉන්නවා. ප්‍රචණ්ඩත්වය වීරත්වයට පත් කරන මාධ්‍ය දර්ශන තිබෙනවා. මේ වැරදි ක්‍රම. සාරධර්ම වෙනුවට ප්‍රචණ්ඩ ක්‍රියා, හැසිරීම් අගයන දරුවෝ ඉන්නවා. අද දරුවන්ට සමබර විනෝදාස්වාදය ඇති කරන ක්‍රම අඩුයි. කලාවට යොමු කරන දරුවෝ අඩුයි. අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තිබෙන්නේ මේ ක්‍රමයට. කලාවට, සාහිත්‍යයට තිබෙන ඉඩ අඩුයි. මේ නිසා ගැටුමක් ආවත් දරුවන්ට සාධාරණව විසඳාගන්න තේරුමක් නෑ. පාසල්වල ගැටුම් කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම අවශ්‍යයි.
ප්‍රශ්නවලදී අන්ත කීපයකින් විසඳුම් සොයන්නේ කොහොමද? මානසිකව නොවැටී සාධාරණව හිතන්නේ කොහොමද? සාධාරණ වාසිදායක පිළිතුරු සොයන්නේ කොහොමද යන්න ඉගැන්විය යුතුයි. වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්නේ කොහොමද පෙන්වා දිය යුතුයි. ඇතැම් මව්පියන් දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය අගය කරනවා. ඒක වැරදියි. හොඳ නරක මොනවද ඉගැන්විය යුතුයි. මව්පියන් ආදර්ශවත් විය යුතුයි. තව කෙනකුට හිරිහැරයක් නොවන ලෙස ඉන්න කියා දිය යුතුයි.
දරුවෝ කුඩා කාලයේ ඉඳලාම සම වයසේ අයට සලකනවද, සුරතල් සතුන්ට ආදරය කරනවද කියලා බලන්න ඕන. පොඩි ළමයි ඉන්න ගෙදරක සුරතල් සතෙක් සිටීමත් ඉතා වැදගත්. ආදරය, කරැණාව දැක්වීමට ඉගෙනීම සඳහා ඒක හොඳ ක්‍රමයක්. ජය, පරාජය සමසේ බාර ගැනීම කුඩා කල පටන් කියාදිය යුතුයි. මේවා පොතපතේ දැනුම නෙමේ. තව කෙනෙක් පිළිබඳ සංවේදී බව ඇතිවෙන්නේ මේ කාරණා මතයි.
තමා අවදානමක් අරගෙන හරි තව ජීවිතයක් බේරාගන්න උත්සාහ කරනවානම් ඒක වැදගත් ක්‍රියාවක්. මේ සඳහා සමාජය වගේම නීතිය සහ අධිකරණ ක්‍රමයත් වෙනස් විය යුතුයි. ප්‍රචණ්ඩත්වය පෙන්වන සිදුවීම්වලට වඩා ඊට හේතු වූ කරුණු සහ උපදෙස් සහිත තොරතුරු මාධ්‍ය මඟින් පෙන්වා දීම ඉතාම වැදගත්.