2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

රට රත්කළ සෙනසුරා!

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

සොබාදම වෙනස් වනුයේ ඉර හඳ ප්‍රමුඛ ග්‍රහ බල හරහාය. ලෝකයේ ආර්ථික, සමාජ, දේශපාලන පෙරළි සිදුවන්නේද ග්‍රහ බල හේතුවෙනි. මේවා අවබෝධ කරගන්නට පෘථග්ජන මනසට නොහැක. ස්වල්පයක් හෝ පෙනෙන්නේ මනුෂ්‍යයා විසින් තුන්වැනි ඇස නොහොත් ජ්‍යොතිෂ නැණ පාදාගත් විටය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවද ග්‍රහ උගුලේ සිරවී හමාරය. හරියටම මෙය පටන් ගත්තේ කවදාද? ඒ 2018.10.11 වැනිදා රාත්‍රී 07.20ට ගුරු ග්‍රහයා තමාගේ විසා නැකතේ හතරවැනි පාදයට පැමිණීමෙන් අනතුරුවය.

ගුරු ඔක්තෝබර් මස 27 වැනිදා රාත්‍රී 11.06ට සෙනසුරාගේ අනුර නැකතට පිවිසියේය. මේ ග්‍රහයා 2018.12.12 දක්වා අනුර නැකතට භාජනය කරන්නේය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රක්ෂේපණ ලග්නය වන්නේ මකරයයි. ඒ අනුව ලංකා මකර ලග්න කේන්ද්‍රයේ පාර්ලිමේන්තු ස්ථානය ගුරැ ග්‍රහයා විසින් මේ වනවිට දෙවනත් කරනු ලැබ හමාරය.

1971 අප්‍රේල් කැරුල්ල මෙහෙයවූයේද එදා වෘශ්චිකයේ ගමන් කළ ගුරු ග්‍රහයාය. මෙදා ජන නායකයාගේ ජන්ම පත්‍රයට සෙනසුරාගේ මහ දශාව ක්‍රියාත්මක වනවිට රාහුගේ අතුරැ දශාව බලපවත්වයි. ඒ අනුව ජන නායකයාගේ මනස අවුල් කරන්නට රාහු ක්‍රියාත්මක වෙයි. රාහු ග්‍රහයා ගිය තැන අවුල් කරන්නේය.

තවත් කෙනකුට දොර විවර කර දෙන්නට තමා විසින්ම කටයුතු කරවීම ඔහුගේ සිරිතය. ඒ වාගේම සංසාරගත පිළිගැනීම් චේතනා ඉස්මතු වී ක්‍රියාවෙන්ම ඒවා සිදුකරන බවද පෙනේ.

ලංකා මකර ලග්නය අධිපති සෙනසුරු දැනට එහි මෙම විකල ස්ථානය තුළ ගෝචර වන්නේය. මේ නිසා රටට සෙනසුරු ඒරාශ්ටකයද ලබා ඇත. මීට පෙර ගුරු ග්‍රහයා වෘෂ්චිකයේද රවි නීචයේද ගනී. ඒරාශ්ටකයේද ගෝචර පීඩාව 1970 සිට 1971 දක්වා අතර කාලයේදී ලබා දුන්නේය.

එදා නොසන්සුන්තා හා මරණ බිය රට පුරා ව්‍යාප්ත විය. ජනතාවට විෂ කැවීමටද ශනි+රාහු+ගුරැ සුසංයෝගය කටයුතු කළේය. අදටත් මතක සිටින ලෙස අප්‍රේල් කැරුල්ල දියත් විය. හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවූ අතර සමහර පුවත්පත්වලට මුද්‍රා තැබුණි. 2018.10.11 වැනිදා රාත්‍රී 7.20 සිට ප්‍රබල ලෙසම වර්ෂයක් පුරාවට ගෙන දෙන ග්‍රහ පීඩාවේදී මේවා ශ්‍රී ලංකා ධරණීතලයට ප්‍රාදූර්භූත කරන්නටද ග්‍රහ බලය ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතී.

ග්‍රහ ශක්තිය පුදුමසහගතය. මනුෂ්‍යයන් සිතන්නේ තමාට ඕන දේ සිදුකරනවා කියාය. නමුත් එය නිවැරදි නැත. වේදිකාවේ නටන රූකඩය මෙහෙයවන්නේ කලාකරැවාය. මිහිපිට මනුෂ්‍යයා මෙහෙයවන්නේ ග්‍රහයෝය. රෑකඩය නටන්නේ කලාකරුවාගේ ඇඟිලි දිගේ එන නූලෙනි. මනුෂ්‍යයා මෙහෙයවන්නේ ග්‍රහ ශක්තිය තුළින් ක්‍රියාත්මක වන කිරණ මගිනි.
2017ට නියමිතව තිබූ ජනාධිපතිවරණය 2015දී කැඳවීමට ග්‍රහ බලය උපක්‍රම යෙදීය. හිටපු ජනපති ගෙදර යැවූ ග්‍රහ ශක්තිය කිසිදා කිසිවකු නොපැතූ නව ජනාධිපතිවරයා 2015.01.08 දින බිහි කළේය.

2020දී නෙළුම් පොහොට්ටු ලකුණින් දේශපාලන පක්ෂයක් ජයගන්නා බවට රටම ඉලක්ක තබා තිබිණ. නමුත් 2018.10.11 දින සිදුවූ ග්‍රහ මාරැව මත නිදා සිටි පක්ෂයක් නැඟිටවන්නටත් එහි සියලු සාමාජිකයන් සමගි කරන්නටත් සුළු පක්ෂවල එකමුතුවක් ගොඩනගන්නටත් ග්‍රහ ශක්තිය මගින් ක්‍රියා කළේය.

පාර්ලිමේන්තුවට කඩාපැන්න කුජ + රාහු බලවේගය විසින් නිර්මාණය කරනු ලැබූ තත්ත්වයත් රාහු විසින් ජනාධිපතිවරයා අන්දමන්ද කිරීමත් මත කාටත් හොරා එ.ජා.ප නායකයා ඔසවාගන්නට ප්‍රජාතන්ත්‍රවාදය නමැති නිල ග්‍රහයෝ සමත් වූහ. එතෙකින් නොනවතින ග්‍රහ බලය විසින් එ.ජා.ප නියෝජ්‍ය නායකයා සම නායකයා කරවන්නටද උත්සාහ ගනු ලබයි.
සිතූ දේ නොම වෙයි. නොසිතූ දේම වෙයි. කල් ඇතුව සිදුකළ අපේක්ෂා ඉටුනොවී ග්‍රහ බලපෑම් මත වෙනත් විකල්ප ප්‍රතිඵල ලැබෙන බව මෙතෙක් සිදුවූ දේ අනුව සනාථ වේ. අනාගතයටද එසේ නොවී යැයි කාට කිව හැකිද?

ජ්‍යොතිෂ විද්‍යාර්ථී - 
ලංකා පුත්‍ර - 
සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00