2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

සිගරැට් බීම නැවැත්වූ ගමක්!

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 154

 

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකාවෙන් මත් උවදුරු දුරුකිරීමේ වැඩපිළි‍ෙවළ රටපුරා ක්‍රියාත්මක කරමින් පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනය පුත්තලම ආනන්ද ජාතික පාසලේදී පසුගියදා පැවැත්විණි. එම සමුළුවට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 16 පුරා මේ වනවිටත් මත් උවදුර දුරු කිරීම සඳහා විවිධ වැඩසටහන් සම්මන්ත්‍රණ, දේශන පැවැත්වෙමින් පවතී.

පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක් වන මහකුඹුක්කඩවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වන අශෝක මහතාගේ උනන්දුවෙන් උත්සහයෙන් කැපවීමෙන් පුත්තලම මූලික රෝහලේ මනෝ වෛද්‍ය බුද්ධි ජයසිංහ මහතාගේ මඟ පෙන්වීම මත මහකුඹුක්කඩවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මත් උවදුර නිමා කිරීමේ පළමු පියවර ලෙස කඩහිමියන් සමඟ සාකච්ඡා කර මත් උවදුරින් සිදුවන බරපතළ තත්ත්වය පැහැදිලි කෙරිණි. ඒ සමඟ එක් දිනක් දුම්වැටි අලෙවි කිරීම නවතා දැමීමට ඔවුන් තීරණයක් ක්‍රියාත්මක කර ඇත.

ස්වකීය කැමැත්තෙන් එම තීරණය ගත් වෙළෙඳසල් හිමියන් ඒ වනවිට මිලදී ගෙන තිබූ දුම්වැටි අලෙවි කර නිමවූ පසුව අලෙවිය සඳහා යළි මිලදී ගැනීම නතර කිරීමට පියවර ගෙන ඇත්තේ සමාජයෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරයට ඇගයීමක් ලබා දෙමිනි.

රටක මත් උවදුර මුලිනුපුටා දැමීමට නම් ග්‍රාමීය මට්ටමින් එය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ බව වටහා ගත් මහකුඹුක්කඩවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තම අරමුණ කරා යාමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මෙන්ම ග්‍රාමීය ජනතාවගේ වැඩි සහයෝගයද ලැබිණි. එක්දිනක දුම්වැටි අලෙවිය නතර කිරීමත් සමඟ ජනතාවගේ වැඩි ඉල්ලුමක් වූයේ සම්පූර්ණ දුම්වැටි අලෙවිය නතර කිරීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරික්ෂක  එච්.එම්. ලලිත් අශෝක

අපි මුලින්ම කළේ පාසලේ වෛද්‍ය කඳවුරක් තියලා පාසල් ළමුන්ව දැනුවත් කළා. එහිදී එයාලගේ ගැටලු ඉදිරිපත් වුණා. දරුවන්ගේ මව්පියන් මත් උවදුරට ඇබ්බැහිවීම නිසා පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. දුම්වැටි සඳහා ඇබ්බැහි වෙලා දිනකට ඒ සඳහා විශාල මුදලක් එක් අයකු වෙනුවෙන් වැය කිරීම නිසා පවුලේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බව පාසල් දරුවන්ගේ කතාවලින් තේරුණා.

පියා දිනකට රුපියල් 1000ක් හොයලා මත්වැටි සඳහා රුපියල් 200 වැය කරන කොට ඉතිරි මුදලින් නිවසේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට මවට සිදු වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් කඩා වැටෙන ආර්ථික සමග පවුල් ආරවුල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් අපි ගම්මානවලට ගිහින් කළා. ඒ සඳහා මූලිකව සහයෝගය ලැබුණේ මනෝවෛද්‍ය බුද්ධික ජයසිංහ මහතායි. ජනතාව තේරුම් ගත්තට පස්සේ අපි කළේ කඩහිමියන් හමුවෙලා දුම්වැටි අලෙවි කරන එක ඒ අයගේ කැමැත්තෙන්ම නතර කරන තත්ත්වයට ඒ අයගේ මනස හැදුවා.

පන්සල, ප්‍රදේශීය ලේකම් කාර්යාලය, සියලුම රාජ්‍ය නිලධාරී මේ සඳහා කැපවුණා. මේ විදිහට කරලා අපි මත් උවදුර අපේ ප්‍රදේශයෙන් නැති කිරීමට පියවර ගන්න කොට ජනතාව ගිහින් කඩ හිමියන්ට බුලත් හුරුළු දීලා පිළි ගත්තා. ඒ අය කරපු කැපකිරීම නිසා අද වනකොට කුඹුක්කඩවල දුම්වැටියක් දකින්න නැහැ. දුම්වැටියක් විකුණලා ලැබෙන සුළු ලාභයට වඩා විනාශ වන ජීවිත පිළිබඳව කල්පනා කර දුම්වැටි අලෙවිය නතර කළ අපේ සහෝදර කඩ හිමියන් වගේ රටේ සියලුම වෙළෙඳසල් හිමියන් කල්පනා කළා නම් මේ වනවිට මත්උවදුරින් නිදහස් රටක් බවට අපේ රට පත්වෙලා.
මහකුඹුක්කඩවල ප්‍රදේශය මතින් තොර කලාපයක් බවට පත් කිරීමට හැකි වුණේ ජනතාවගේ උනන්දුව මෙන්ම කඩ හිමියන්ගේ කැපකිරීම නිසයි. අපි ඒ අයව උත්සවයකට ගෙනල්ලා ඇගැයීමට ලක් කළා.

මේ පිළිබඳව පුත්තලම මූලික රෝහලේ මනෝ වෛද්‍ය බුද්ධික ජයසිංහ මෙසේ කියයි. 

මේ පිළිබඳව අපි ජනතාව දැනුවත් කළාම ඒ අය තත්ත්වය තේරුම් අරගෙන විශාල කැපකිරීමක් කළා. බොහෝ දුරට මත්උවදුර පිළිබඳව ඒවා භාවිත කිරීමෙන් සිදුවන හානිය දන්නේ නැහැ. අපේ යුතුකම වගකීම තමයි ඒ අයට තේරුම් කරලා දීලා යහපත් තත්ත්වයට පත් කරන එක ඒ සඳහා තමයි අපි කැපවෙලා කටයුතු කළේ. එහි ප්‍රතිඵල තිබෙනවා. රට පුරා මෙවැනි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම තුළින් රටේ මත් උවදුරට තිත තැබිය හැකියි.

රෝවන් පෙරේරා පුත්තලම