සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු විදුලි සෝපානයට හිරවී මරු වැළඳගත් සංවේදී පුවත බොහෝ දෙනකු තුළ කම්පනයක් මෙන්ම කිසියම් බියක්ද ඇතිකරලීය. අහස උසට නැඟෙන ගොඩනැගිලිවල පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම බිය පැතිරෙමින් පවතී. විශේෂයෙන්ම යම්කිසි අනතුරක් සිදුවූ විටදී ආරක්ෂිතව පිටවීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමේ ගැටලු පැන නැගී තිබේ.
කොළඹ පවතින සුවිසල් ගොඩනැගිලි අතුරින් 90%ක් නේවාසික මහල් නිවාස ගණයට අයත් වේ. මෙම මහල් නිවාස තුළ දහස් ගණනින් පවුල් ජීවත් වෙති. පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින සිදුවූ මෙකී අනතුර සමඟ මෙවැනි ගොඩනැගිලිවල පවතින විදුලි සෝපාන පද්ධතිවල ආරක්ෂාව පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය.
එම අනතුරින් පසුව පළවූ වාර්තා පෙන්වා දී ඇත්තේ ග්‍රීන් ලංකා ටවර් (Green Lanka Tower) ගොඩනැගිල්ලේ විදුලි සෝපානය වසර 30ක් පැරැණි බවය. එහි ක්‍රියාකාරීත්වය උපරිමය නොතිබීමට නඩත්තු කටයුතු නිසි පරිදි සිදුනොවීම හේතුවක් වී ඇතිබව මෙම වාර්තාවේ සඳහන්ය. එම සෝපානය තුළ දොළහකට අධික පිරිසක් ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි තවත් පිරිසක් මත පළ කරති.
මෙලෙසම ගොඩනැගිලි නිර්මාණ ආයතන විසින් නේවාසික ගොඩනැගිලිවල පැවතිය යුතු ගිනි නිවීම් මර්දන කටයුතු සම්බන්ධයෙන් අවධානය ද යොමුකර ඇත. මෙවැනි ගොඩනැගිල්ලක හදිසි විශාල ගින්නක් ඇතිවූ විට ගිනි නිවන පද්ධති ප්‍රමාණවත්දැයි ඔවුන්ට ගැටලුවක් පැනනැගී තිබේ. ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න සඳහන් කරනුයේ මහ කොළඹ ප්‍රදේශවල කැපීපෙනෙන සේ ඉදිවෙන ගොඩනැගිලි යනු සිදුවීමට ඉඩ තිබෙන ඛේදවාචකයක් බවයි.
අපගේ ගිනි නිවන භටයන්ට මහ ගින්නක් ඇතිවූ විට එය මර්දනය කිරීමට තරම් ප්‍රමාණවත් උපකරණ නැහැ. ඔහු පවසයි.
ඉතා උස ගොඩනැගිලිවල ඇතිවිය හැකි ගිනි නිවීම් වැළැක්වීම සඳහා ගුවනේ සිට ක්‍රියාත්මක කරන උපකරණ සහ යෝධ ගින්නකදී එය පාලනය කරගැනීම සඳහා පුහුණුව ලැබූ පුද්ගලයන් අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතන සංගමයක් වන Major constructors of Sri Lanka ශ්‍රී ලංකාවේ ගිනි වැළැක්වීමේ ධාරිතාව දුර්වල බව පිළිගනු ලබයි. එහි ප්‍රධාන නිලධාරී බ්‍රිගේඩියර් මධුර විජේවික්‍රම උස ගොඩනැගිලිවල හටගන්නා මහ ගිනි මැඩපැවැත්වීම සඳහා විශාල ධාරිතාවයක් අවශ්‍ය බව සඳහන් කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මහ ගිනි වැළැක්වීම සඳහා විශේෂිත හෙළිකොප්ටර් යානා නොමැති බවද ඔහු සඳහන් කරයි. කොළඹ සහ ඒ අවට තදබදය පවතින පළාත්වල මහල් දහයකට වැඩි හෝ මීටර් 30ට වඩා උස සියලු ගොඩනැගිලි තුළ ගිනි වැළැක්වීමේ දියබිඳු වෑස්සෙන පද්ධතියක් තිබිය යුතු බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එසේම මහල් හතරට වැඩි ගොඩනැගිලිවල ජෙනරේටරයක් තිබිය යුතු බවද සඳහන් කරයි.
කෙසේ වුවද කොළඹ ගිනි නිවන ඒකකය තමන් සතු ධාරිතාවය ප්‍රමාණවත් බව සඳහන් කරයි. ඔවුන් ප්‍රකාශ කරනුයේ රජයේ ඉදිකිරීම් කර්මාන්තයේ නියාමක වන Construction Industry Development Authority (CIDA) ආයතනයත් සමඟ ඒකාබද්ධ වී ගිනි නිවීම් ක්‍රමවේද සම්බන්ධව යාවත්කාලීනව පසුවන බවයි. ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී පී.ඩී.කේ.ඒ. විල්සන් සඳහන් කරනුයේ තමන්ගේ ආයතනය මහල් 14 දක්වා උසින් යුත් ඕනෑම ගොඩනැගිල්ලක හටගන්නා ගිනි මැඩපැවැත්වීම සඳහා සන්නද්ධව සිටින බවයි. ගිනි ආරක්ෂක රෙගුලාසිවලට අනුව සෑම ගොඩනැගිලි සැලැස්මකම ගිනි නිවීම් දෙපාර්තමේන්තු අනුමැතියට යැවිය යුතු බවද ඔහු සඳහන් කරයි. දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එහි අඩුලුහුඬුකම් පෙන්වා දීමට කටයුතු කරනු ඇත.
%සීඩා^ ආයතනය සඳහන් කරනුයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමවා එය නිමකළ බවට සහතිකය අදාළ පළාත් පාලන අධිකාරියෙන් ලබාගත් පසු එම ගොඩනැගිලිවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු නියාමනයක් නොමැති බවය. එහි අධ්‍යක්ෂ සචින්ද්‍ර අමරසේකර සඳහන් කරනුයේ නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පළාත් පාලන අධිකාරිය ඉදිකිරීම් නිමවීමේ සහතිකයක් ලබාගැනීමට අයැදුම් කිරීමට පෙර විදුලිය, ජලය, විදුලි සෝපානය සහ ඉහළ වහළවල ජල කාන්දුව වැළැක්වීමේ ක්‍රමවේද යථා පරිදි සකස් විය යුතු බවයි.
විදුලි සෝපානය නඩත්තුව පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙනු ලබන්නේ අදාළ විදුලි සෝපාන සමාගම සමඟ නඩත්තු ගිවිසුමකට එළඹෙන ගොඩනැගිල්ලේ අයිතිකරැ මත බව ක්‍රිස්ටෝපර් විජේවීර පවසයි. මෙය ගොඩනැගිලි ඉදිකිරීම් නිමවීමෙන් පසුව ගත යුතු පියවරකි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ පවසන්නේ ඉදිකිරීම් ප්‍රවීණයන් විසින් නිකුත් කරනු ලබන සහතිකය සම්බන්ධයෙන් තම අධිකාරිය විශ්වාසය තබන බවය. ගොඩනැගිල්ලේ යටිතල පහසුකම්වල, නඩත්තු කටයුතුවල සේවා ගිවිසුමට එළැඹීමට ගොඩනැගිලි ඉදිකරන්නන් වගකිව යුතු බවද ඔහු සඳහන් කරයි. එවැනි ගිවිසුම් වාර්ෂිකව යාවත්කාලීන කෙරේ.
ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ලේ විදුලි සෝපානය තුළ ඔපරේටර්වරයකු සිටියේ නම් නියමිත ප්‍රමාණයට වඩා පිරිසක් ඇතුළු කර නොගැනීමෙන් එම අනතුර වළක්වා ගැනීමට හැකිව තිබූ බවද ඔහු සඳහන් කරයි.
Sunday times පුවත්පත ඇසුරෙනි
දිශානි ජයමාලි කරුණාරත්න