2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ජාතිවාදයේ ඛේදවාචකයක් - ගිලිහුණු රෝස මල

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 163

මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකික ලේඛකයකුගේ පන්හිඳට විෂය නොවූ චරිත වටා ගෙතුණු නවකතාවකි. බී.කේ.එස්. පෙරේරාගේ ගිලිහුණු රෝස මල ශතවර්ෂ පහකට අධික කාලයක් පුරා අපේ රටේ වාසය කරන සහ ලොව වෙනත් රටවල් පුරා විසිරී ඇති බර්ගර් ජාතිකයන් පිළිබඳ මතකය අවදි කරන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.

පිටු 150ක් පුරා විහිදී යන මෙම නවකතාව “දිවයින හැර නොයමින් තවමත් මෙරට වෙසෙමින් අප සමාජයේ විවිධත්වය රුකදීමට උරදෙන ශ්‍රී ලාංකීය බර්ගර් ජනතාව” වෙත පිළිගන්වන බව කර්තෘ පොතේ සඳහන් කර ඇත. අප රටේ ජීවත් වන බර්ගර් ජනතාව ඉතාම සුළු සංඛ්‍යාවක් වන අතර අද වනවිටද ඔවුන් කිසිදු ගැටුමක් නොමැතිව සිංහල ජනතාව සමඟ සුහදව කල්ගෙවනු දැකගත හැකියි. විවිධ ජාතීන් සමඟ වර්ගවාදී, ආගම්වාදී ගැටුම් මෙරට විටින් විට මෝදු වුවද බර්ගර් ජනතාව සමඟ එවැනි ප්‍රශ්නයක් ඇති නොවීම නිසාම දෙපිරිස අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධය ස්ථාවර වී තිබේ. බර්ගර් ජනතාව අප රටට පැමිණ ඇත්තේ සුදු අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව ග්‍රහණයට ගත් කාලවකවානුවලදීය.

මෙම නවකතාවේ ජනක නම් ශ්‍රී ලාංකික තරැණයා සහ ජෙනී නම් බර්ගර් ජාතික සුරෑපී තරැණිය සමඟ ඇතිවූ ආදර සම්බන්ධයට අදාළ සිදුවීම් රුසකි. මෙය හුදු ආදර කතාවක් ලෙස මතුපිටින් පෙනුණද එයට වඩා ගැඹුරැ අර්ථයක් කතාව තුළ සියුම් ලෙස ගමන් කර ඇති බව පොත කියවීමෙන් පසු පසක් විය. ජාතීන් අතර තිබිය යුතු සහජීවනය, සමගිය සහ එකමුතුභාවය ගොඩනැගීම සඳහා මෙම ග්‍රන්ථයේ චරිත හසුරැවන ආකාරය යම් තරමකට හෝ සමත් වී ඇති බව දැකගත හැකිය. ජාතීන් අතරින් වෙනස් වුවද සියල්ලන් තුළ දිවෙන රක්ත රැධිරය හා සමගාමී සිතුම් පැතුම් ඔවුන් සදාකාලික බන්ධනයකට ලක්කිරීමට මහෝපකාරී වන බව ප්‍රත්‍යක්ෂ කරයි.

ඇල්ස්ටන් මහත්තයාගෙ ලොකු දුවත් එක්ක බයිසිකලේ පැදගෙන යනවා දැක්ක කියලාමට එක්කෙනෙක් කිව්වා.
දිනක් අම්මා මා වෙත පැවසුවේ මගේ මුහුණ දෙස විපිළිසරයෙන් බලමිනි.

ඔව්! කඩේ යනකොට හම්බවුණාම කතා කර කර යනවා. ඒකේ ඉතින් වැරුද්දක් නැහැනේ... මම අසමි

ඔව් ඔයාටයි මටයි වැරැද්දක් නැති වුණාට වැරදියට පේන අය ඉන්නවානේ. ඒකනේ ඔහොම ඒවා ඇවිත් මාත් එක්ක කියන්නේ.

අම්මා එම චෝදනාවෙන් මා නිදහස් කොට එම පුවත දැනුම් දුන් කෙනාටම ගසා දාම්මාය. (24, 25 පිටු)

මෙම සංවාදයෙන් හැඟවෙන්නේ ජනකගේ මව වුවද තම පුතා අන්‍ය ජාතික තරුණියක් ඇසුරු කිරීමට එරෙහිව තදබල විරෝධයක් නොදැක්වූ බවය. දුම්රිය එක් රියදුරුකු වූ ඔහුගේ පියාද මව තරම්වත් මෙම ජාතීන් දෙකේ ආදරයට හරස් වූ බවක් දක්වා නැත. මේ අනුව පෙනීයන්නේ අද ඇතැම් සිංහලයන් අතර පවා කුල, ධන, වර්ගවාදී පටු බේද නිසා දරුවන්නේ සම්බන්ධතාවලට විරෝධතා දැක්වීමේ ආකල්පයට මෙම කතාවෙන් අතුල් පහරක් එල්ල කරන බවය.

සිංහල ද්‍රවිඩ ගැටුම් පැවැති කාලයේදී විනෝදන් නැමැති ද්‍රවිඩ ගැටවරයකු ස්වකීය වාහනයේ ඩිකිය තුළ දමා ගෙන ආරක්ෂාකාරීව දුම්රිය නිවාස කරා ප්‍රවාහනය කිරීමට ජනක ඇතුළු මිතුරන් දිවිපරදුරවට තබාගත් උත්සාහය මෙහි සජීවී ලෙස චිත්‍රණය කර තිබේ.

ඔවුන්ගේ ප්‍රේමයට විරුද්ධවාදීන් හෝ සතුරන් නොසිටියේය. එහෙත් සතුරා පැමිණියේ දැනුවත්ව නොවේ. නොදැනුවත්වය. ජෙනීගේ ප්‍රේමයද, විනෝදන්ගේ මිතුදමද ජන කලාගේ ලෝකයේ සීමාමායිම් පුළුල් කර තිබේ. ජෙනී සහ විනෝදන් යන වෙන් වෙන්ව වුවද මුහුණ දුන්නේ එකම ගැටලුවකටය. ඒ අවස්ථාවේදී ඔවුන්ට තෝරා ගැනීමට සිදුවූ විකල්පය නිවැරදිද?

ජාතිවාදී කලබල හේතුවෙන් ශ්‍රී ලාංකීය බර්ගර් ජනතාව ද බලාපොරොත්තු නොවූ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවිය. මේ නිසා බර්ගර්වරැන් රුසකට ශ්‍රී ලංකාව අතහැර දමායාමට සිදුවිය. ඒ ප්‍රතිඵලය ජෙනීට ද අතිවිඳීමට සිදුවිය. අන්තිමට ජනකට සිය ආදරයට තිත තැබීමට ද මේ ප්‍රතිඵලය බලපෑවේය. එසේම විනෝදන් වැනි මිතුරෙකු අහිමි කිරීමටද හේතුවිය.

මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි.
සරත් විජයවර්ධන
 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00