සම්මානනීය ලේඛිකා තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක
මෝපසාන් කෙටිකතා පරිවර්තන කෘතිය පළකරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි තිරංජනී සුනේත්‍රා රාජකරුණානායක පසුව නවකතා ඇතුළු විවිධ ක්ෂෙත්‍ර ඔස්සේ කෘති ලියන රචිකාවියක ලෙස කීර්තියට පත්වූවාය. ඇගේ නවකතා රාශියක් විවිධ සම්මාන උළෙලවල නිර්දේශ වී ඇති අතර පොදු පුරුෂයා සහ කවි කඳුරට රාජ්‍ය සම්මාන සහ ස්වර්ණ පුස්තක සම්මාන හිමිවිය. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම නිර්මාණකරණයේ යෙදෙන සුනේත්‍රාගේ අලුත්ම නවකතාව මියුරු හඬයි. එය විදර්ශන ප්‍රකාශනයකි.
ඔබේ අලුත්ම නවකතාව මොන වගේ කතා සංකල්පයක් ද තේමා කරගෙන තිබෙන්නේ?
වැඩිහිටියන් වැඩිපුර නොසිතා කරන දේවලින් පවුල් අවුල්වෙලා තියෙනකොට ළමයින්ට ඒකේ බලපෑම එන්නේ කොහොමද? ඔවුන් ඒකට විරුද්ධව මුහුණ දෙමින් කැරලි ගහන්නේ කොහොමද කියලයි මියුරු හඬ කතාවෙන් කියැවෙන්නේ.
ඔබ විවිධ ශානරයන් ඔස්සේ නවකතා ලියනවා. මෙවර මොරටුව ප්‍රදේශයේ ධීවර පවුලක් කේන්ද්‍රකරගෙන තිබෙනවා...?
ඔව්... මම මෙයට පෙර ධීවර පවුලක් වටා ගෙතුණු කතාවක් කියලා නැහැ.
ඔබ ධීවර ජනාවාසවල චරිත පිළිබඳ ලිවීම සඳහා අධ්‍යයනයක් කළාද?
එහෙම විශේෂ හැදෑරීමක් කළේ නැහැ. අපි පුංචි කාලේ නිවාඩුවට වෙරළබඩට එනවා. මම පුංචි කාලේ ඉඳන්ම ධීවර ගෙවල්, ඒ සමාජය ගැන කුතුහලයකින් හිටියේ. මම විවාහ වුණාට පස්සේ මොරටුව ස්ටේෂන්එක ළඟ ගෙදරක අවුරුද්දක් විතර හිටියා. එතකොට අපේ ගෙදර වැඩට ආවා කොරළවැල්ලෙ ධීවර පවුලක කාන්තාවක්. මේ කාන්තාව හා කතාබහ කිරීමෙන්ද ධීවර සමාජයේ අත්දැකීම් ලබාගත්තා. අඟුලානේ අපේ ඥාතියෙක් හිටියා. එහේ ගිහිනුත් වෙරළ ආශ්‍රිත සමාජය ගැන දැනගත්තා. ධීවර කතා ගොඩාක් අහගත්තා. ඇත්තටම ධීවර සමාජයක චරිතයක් වුණත් හිත ඇතුළට බැහැලා ඒ හිත් කියවන්න නිර්මාණශීලී කෙනෙකුට එච්චර අමාරැ නැහැ. මගේ නවකතාවේ තිබෙන චරිත වගේ මිනිස්සු අඟුලානේ, කොරළවැල්ලෙ සෑහෙන්න ඉන්නවා.
ඔබේ කතාවට තේමා වූ සමාජයේ විශේෂත්වයක් දුටුවාද?
ඔව්. මොරටුවේ තමයි අන්ත ධනවත් මිනිසුන්ට අන්ත දුප්පත් නෑයෝ ඉන්නේ. ආර්ථික සමෘද්ධියෙන් වෙනස් මට්ටමක හිටියත් ඒ මිනිස්සු නෑදෑකම් පවත්වාගෙන යනවා. ඕනෑම පොහොසත් මිනිහෙකුට වඩුවෙක් නෑයෙක් විදිහට ඉන්න පුළුවන්. මම මේ සිද්ධි අවුරැදු ගාණක් නිරීක්ෂණය කරලා තමයි මියුරැ හඬ ලිව්වේ.
ඔබේ නවකතා විටෙක චීනයේ චරිත ඔස්සේ දිවයනවා. තවත් විටෙක චෙන්නායි නගරයේ පුද්ගලයන් තේමා කරගන්නවා. උඩරට පළාත, රත්නපුර ප්‍රදේශ කේන්ද්‍ර කරගන්නවා. මෙලෙස විවිධ ශානරයන් ඔස්සේ ලිවීමට අත්දැකීම් සොයාගන්නේ කෙසේද?
ලංකාවේ නම් විවිධ පළාත්වල මම ජීවත්වෙලා තිබෙනවා. අවුරුදු පනස් ගණන්වලදී අඛණ්ඩව ඉන්දියාවට යාමට පටන්ගත්තා. වෙනත් රටවල සංචාරය ආරම්භ කළා. පුංචි කාලෙත් තාත්තා රජයේ රුකියාවෙන් විවිධ පළාත්වලට මාරැවුණාම ඒ පළාත්වල ජීවත් වුණා. විවිධ මිනිස්සු ආශ්‍රය කිරීමට ඉඩ ලැබුණා. හුඟාක් ඉක්මනින් වෙනත් කෙනෙක් සමඟ මිත්‍රවීමේ හැකියාවක් මට තිබෙනවා. අම්මලා පොඩි කාලේ මට වෙනත් අය ආශ්‍රය කිරීමට කිසිම තහංචියක් දැම්මෙත් නැහැ. මේ නිසා විවිධ තලවල මිනිසුන්ගේ ජීවිතවලට සමීප වී ඒ අත්දැකීම් උකහා ගැනීමට ඉඩ ලැබුණා.
ඔබගේ සමහර පොත් එක්වරම කියවාගෙන යාම දුෂ්කර බව පැවසුණත් “මියුරු හඬ* වේගවත් ගලායාමක් සහිත සරල බස් වහරක් සහිත නවකතාවක් බව පේනවා...?
ඔය සරල භාෂා රටාව තමයි එම කතාව විසින් ඉල්ලා සිටින්නේ. මේක සැහැල්ලු සරල සාමාන්‍ය මිනිසුන්ගේ කතාවක්. ඒකට මගේ දාර්ශනික අදහස් බලෙන් ඔබ්බවන්න බැහැ. මෑතකදී මම ලියූ ශ්‍රීශාන්ත් ඊට වඩා ගැඹුරු පොතක්.
ඔබ ඉංග්‍රීසියෙන් කෘති කිහිපයක් ලියා තිබෙනවා. ඔබේ සිංහල නවකතා ඉංග්‍රීසියට පරිවර්තනය වෙලාත් තිබෙනවා. නමුත් අපේ සිංහල නවකතා ලේඛකයන්ට තවම ජාත්‍යන්තරයට යාමට හැකිවෙලා නැහැ නේද...?
අපට ජාත්‍යන්තරයට යන්න බැහැ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. විශාල පරිසරයකට ගැලපෙන කතාවක් විය යුතුයි. කලාත්මක අගය වගේ දේවල් ඔවුන් බලන්නේ නැහැ. ඔවුන්ට පිටු 10න් 10ට වගේ සෙක්ස් සිද්ධි තියෙන්න ඕනෑ. ඒවාට අහුවෙන එක වෙනම කතාන්දරයක්. ජාත්‍යන්තරයේ පළවුණා කියලත් හැම නවකතාවක්ම උසස් වෙන්නෙ නෑ. තස්ලිමා නස්රින්ගෙ ලජ්ජා බලන්න. ඒක ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධයි. නමුත් උසස් පොතක් නොවේ. ඒක පත්තරේක ගිය ලිපි ටිකක් වගේ. ඒක ජාත්‍යන්තරයට යන්නේ වෙන දේශපාලන හේතුවක් උඩ.
නමුත් ශ්‍යාම් සෙල්වදුරෙයි, ෂෙහාන් කරුණාතිලක වගේ ඉංග්‍රීසියෙන් ලියන ලාංකිකයන්ගේ පොත් ජාත්‍යන්තරව පළවෙනවා නේද...?
ඔව්. ශ්‍යාම්ගේ පොත්වලට මමත් කැමතියි. ඔහුට කැනඩාවේ වෙළෙඳපොළකුත් ඇති. නමුත් ඔහුගේ පොත් හුඟාක් රටවල අය දන්නේ නැහැ. එහෙම ලෝකෙ පුරාම ප්‍රකටවෙලා ඉන්නේ ජාත්‍යන්තරයෙ පොත් ලියන අයගෙන් ඉතා ටික දෙනයි. ඉංග්‍රීසියෙන් ලියන ලාංකික හුඟ දෙනෙකුට සිංහල කතා කරන්නත් බැහැ.
ඔබේ නවකතා කිහිපයකටම රාජ්‍ය සාහිත්‍ය, ස්වර්ණ පුස්තක සම්මාන ලැබුණා. සමහරු කියන්නේ සම්මාන ලැබීමේ සිවිල් බලයක් ඔබ සතු බවයි...?
(සිනහවෙමින්) කෙහෙන්ද අනේ එහෙම සිවිල් බලයක්. එහෙම තියනවා නම් ගිය අවුරැද්දේ පිටවුණු ජයන් නවකතාවටත් සම්මාන ලැබෙන්න එපායැ. මම සම්මාන විනිශ්චය මණ්ඩලවල අය අඳුරන්නෙත් නැහැ. පොත් දොරට වැඩීම්වලට යන්නෙත් නැහැ. සම්මාන නොලැබිච්ච කෙනෙක් හිතේ අමාරුවට මාව විවේචනය කරනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නොවේනේ.
සමහර ලේඛකයන් හැමදාම ජනප්‍රියත්වයේ රැඳෙන්න හිතනවා. ඒක අසීරුයි නේද...?
ලෝක සාහිත්‍යය එක්ක බලනවිට වුණත් පේන්නේ කාටවත් හැමදාම පවතින්න බැරි බවයි. ප්‍රංශයේ සම්භාව්‍ය ලේඛකයන් වන ෆ්ලෝබෙයාර්, ගී ද මෝපසාං වගේ අයගේ කෘති දැන් පරපුර කියවන්නේ නැති බව ආරංචියි. අපි පැරණි රැසියන් සාහිත්‍යය ඔළුව උඩ තියාගෙන හිටියට දැන් රැසියන්කාරයෝ ඒවා කියවන්නේ නැහැ. අපි එනවා. යනවා. අනිත් සියලු ධර්මතාවලට තියන පොදු න්‍යායට අපිත් යටත්. අපි වගේ රටක පොත් ලියමින් ජීවත් වීමට ලැබීමත් ලොකු දෙයක්.
ඔබ වෘත්තීය ලේඛිකාවක් වශයෙන් කටයුතු කරනවා. කලකට පෙර ප්‍රවීණ සාහිත්‍යධරයන් පවා කිව්වේ ලංකාවේ වෘත්තීය ලේඛකයන්ට පැවැත්මක් නැති බවයි...?
දැනට දශක කිහිපයකට පෙර අද වගේ පොත්වලට පුළුල් වෙළෙඳ පොළක් තිබුණේ නැහැ. කොළඹ පොත් ප්‍රදර්ශනය වගේ ප්‍රවර්ධන ක්‍රම තිබුණෙත් නැහැ. ඒ කාලේ පොත් පළකරවා ගැනීමත් අදට වඩා දුෂ්කරයි. බොහෝ විට ලේඛකයන්ටම පොත් මුද්‍රණය කරගැනීමට සිදුවුණා. මම මුලින්ම පොත් පළකරනවිටත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පළමුවෙනි පොත මුද්‍රණය කළේ කාර්එක විකුණලා. හැබැයි දෙවැනි පොත වන සඳුන් ගිර ගිනි ගනී නවකතාව කිසිම විවේචනයක්, ප්‍රචාරයක් නැතිව මාස තුනක් ඇතුළත පොත් 2000ක් අලෙවි වුණා. එහෙම ආරම්භ වුණු පාඨක පිරිස ක්‍රමයෙන් වැඩි වුණා.
අද නවක තරුණ ලේඛකයන් රාශියක් නවකතා ලියන බව පේනවා. අලුත් පරපුරට ප්‍රවීණයෙක් වශයෙන් ඔබ දෙන උපදේශය කුමක්ද?
හුඟදෙනෙක් සාහිත්‍ය මාසේ පොත් ප්‍රදර්ශනයට දාන්න හිතාගෙන කලබල වෙලා ලියනවා. එහෙම හදිසි වෙන්න නරකයි. ඒ වගේම අනුන්ගේ පොත්වල කොටස් අරගෙන, චිත්‍රපටි බලලා පොත් ලියන්න එපා. තමන් ලියන දේට අවංක විය යුතුයි. ඒ වගේම පොත පළවූ පසුව එය ප්‍රචාරය කරගැනීමට ආත්මය පාවා දෙන්න එපා. සම්මාන නොලැබුණා කියලා දුක්වෙවී ඉන්නත් එපා. දේශපාලනයේ තිබෙන වෛරීය සිතුවිලි සාහිත්‍යයට ගාවගන්න එක වැරදියි. සමහරැ අනුන්ගේ පොත් හෙළාදකින්න උත්සාහ කරනවා. වෙනත් අයකුගේ පොතකට සම්මානයක් ලැබුණාම ජාතික අපරාධයක් කළා වගේ විවේචනය කරනවා. මටත් සම්මාන නොලැබුණු අවස්ථාවල සම්මානලාභීන් විවේචනය කරන්න තිබුණනේ. මම කවදාවක් එහෙම කරලා නැහැ. මගේ පොතක් ගැන ලියන්න කියලාවත් කිසිම පත්තරයකට කියලා නැහැ.
දැන් ලේඛකයන්ගේ ලිවීමත් රේස් එකක් වෙලා. එහෙම නොවී කල්අරගෙන ස්වතන්ත්‍ර නිර්මාණ කිරීමෙන් නිර්මාණ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිකරගත හැකිවේවි.
කුසුම්සිරි