2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ඩබල් ඩෙකර් බස් එකේ පොත් කියවපු කාලේ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:31 191

සැහැල්ලු සිතින් හා ඉහිල් වූ ගතින් යුතුව සැප පුටුවක දිගාවී නවකතාවක් කියවීම තරම් මෙලොව වෙනත් සැපක් නැතැයි කතා රචකයකු ශතවර්ෂ දෙකකට පමණ පෙර කියා තිබේ. කතා රචකයකුට තම පාඨකයා හට කෙතරම් සැහැල්ලුවක් පිරිනැමිය හැකිදැයි මේ කියමනෙන් පෙනේ.

අදටත් මේ කතාව මෙලෙසම වලංගු වුවත්, මේ තරගකාරී සමාජය තුළ මේ කලබලකාරී පරිසරය තුළ, ඉහත කී සැහැල්ලු හිතත්, ඉහිල් වූ ගතත්, සකසා ගැනීමට පාඨකයකුට කෙතරම් අවකාශයක් සැලසේදැයි කිව නොහැකි තරම්ය. ඉස්සර අර්ධ නාගරික පරිසරයේ නිවාඩු දවසක මහ දවාලේ ඇසෙන්නේ ඈතින් කෑගසන, පාරේ යන වෙළෙන්දකුගේ නාදයකි. නැතහොත් වාහනයකින් ඉඳහිට ඇසෙන නළා හඬකි. පාරේ වාහනවලින් පොත් කියවන්නට ඒ හැටි බාධාවක් සිදුනොවිණි.

එහෙත් දැන් එසේ නොවේ. අසල නිවෙසක බිමට ටයිල් ඇතිරීම සඳහා ඒවා කපන හඬ වරෙක සවන පාරයි. වරෙක මෑත ඇති මිදුලක තණකොළ කපන යන්ත්‍රයේ නාදය දසත රුව් දේ. ඒ කිසිවක් නැත්නම් තමා ඉන්නා ගෙදරම කුස්සියේ බ්ලෙන්ඩරයේ හඬ අවධානය බිඳලයි. (එය නවත්වන්නට ගියහොත් කුස්සියේ නිසි බලධාරී ඇඟට ගොඩවී තුන්වැනි ලෝක මහා යුද්ධය කුස්සියෙන් ඇරඹේ.) කෙසේ හෝ ඉහත ශබ්දවල බාධාව ඉවත් කර ගත්තේ යැයි සිතමු. පොත් කියවන නාගරිකයා දහසක් ප්‍රශ්න මැද සිත සැහැල්ලු කරගන්නේ කෙසේද? වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල්, ලීසිං වාරික ඔහුගේ සිතට නිබඳ වද දෙයි. ඉබිගමනින් පොකැට්ටුවට එන මුදල් හාවකු සේ ඉවත පැන යද්දී පොත් කියවන්නට තරම් මනස සැහැල්ලු කර ගැනීම අර්ධ නාගරිකයාට අසීරුය. සැහැල්ලු සිතත්, ඉහිල් වූ ගතත්, අහිමි වූ වර්තමාන පාඨකයාගේ දෑසත්, අතැඟිලිත් රැඳෙනුයේ පොතේ නොව සිය ජංගම දුරකතනයේය. එය සමඟ ලත වෙන්නට ඉහත කී කිසිදු පාරිසරික සාධකයක් හෝ සැහැල්ලු චිත්ත ස්වභාවයක් අවශ්‍ය නොවේ. ඕනෑ නම් ජංගම දුරකතනයේ නිසල රෑ හෝ වීඩියෝ රෑ බැලිය හැකිය. ඕනෑ තරම් වෙන දෙයක් කියවාගත හැකිය.

කරුණු මෙසේ තිබියදී සෑම වසරකම සැප්තැම්බරයේ BMICH හි පවත්වන පොත් ප්‍රදර්ශනය ජනයාගෙන් පිරී යාම පුදුමයකි. මොනම බාධක තිබුණත් පොත් කියවන අය තවමත් හිඳීම සතුටට කරුණකි. එහෙත් අප දකින වටපිටාවේ පොත් කියවන අය වැඩිය පෙනෙන්නට නැත. පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගත් ඇතැමුන් පොත්වලින් කුලුනු සාදා ඡායාරෑප ගෙන මුහුණුපොතේ (FB හි) අලවා තිබේ. මුහුණුපොතේ පොත් කියවන අය ඉන්නා පිටුවක බොහෝ පාඨකයන් පොත් ගැන විමසන ප්‍රශ්න අවධානයට ගත් විට ඒ අය විචාරශීලීව පොත් කියවන අයදැයි යන පැනය සිතට නැගේ.

මීට වසර පහකට පමණ පෙර BMICH හි පැවැත්වූ පොත් ප්‍රදර්ශනයකින් අනතුරැව, එම පොත් ප්‍රදර්ශනයේදී වැඩිපුරම විකිණී තිබුණේ නක්ෂත්‍ර පිළිබඳ පොත්, ප්‍රඥාවට වඩා භක්තියට බර වූ ආගමික පත පොත සහ බොලද නවකතා බව මහාචාර්ය සුචරිත ගම්ලත් කියා තිබිණි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ ජනාකීර්ණ නොවූ හැට හැත්තෑ ගණන්වල බස්රථවල පවා (විශේෂයෙන් ඩබල් ඩෙකර් බස් රථයේ උඩ තට්ටුවේ) පොත් කියවන්නට සුදුසු වාතාවරණයක් තිබුණේය. ඒ කාලයේ ලංගම බස්රථවල පවතින සුව පහසුව හුවා දක්වන්නට (විශේෂයෙන් තට්ටු දෙකේ බස්වල පහත තට්ටුවේ) පෝස්ටරයක් ප්‍රදර්ශනය වූයේය. එම පෝස්ටරයේ තිබුණේ තම ආසනයේ පැත්තක තීන්ත කූඩුව (පෑනට තීන්ත යොදන කුඩා තීන්ත බෝතලය) තබාගෙන පොතක් පාඩම් කරමින් ඉන්නා සිසුවකුගේ පින්තූරයකි. දැන් කාලයේ තීන්ත බෝතලයක් ආසනයේ පැත්තක තබාගෙන සිටීම කෙසේ වෙතත් තීන්ත බෝතලයක් මල්ලක දමාගෙන බස් රථයේ යාමද තීන්ත නාගන්නට සිදුවන ක්‍රියාවකි.
කෙසේ වුවද එකල බස්රථවල අද මෙන් තදබදයක් හෝ කලබලයක් තිබුණේ නැත. තමා නුගේගොඩ සිට පිටකොටුවට යන අතරතුර බස් රථයේදී කෙටිකතා දෙකක් පමණ කියවාගන්නා බව දැන් ජීවතුන් අතර නැති ප්‍රවීණ නාට්‍යවේදියකු වරක් කියා තිබිණි. දැන් තරම් වාහන තදබදයක් නැති වුණත් ඩබල් ඩෙකරය පාරේ ගියේ නිසංසලේය.

නවකතා හෝ කෙටිකතා පොතක් කියවන විට එහි එන චරිත හැසිරෙන ආකාරය, සිදුවීම් හා ඒවා සිදුවන ස්ථාන අප සිතේ මවාගන්නේ අපේ අත්දැකීම් ඇසුරින්ය. එම රූප අප සිතේ මවාගන්නේ අපේ නිර්මාණ ශක්තියෙනි. කතාවේ එන සිද්ධි සිතුවම්පටක් මෙන් සිතේ මවාගෙන නෙතින් දුටු දෙයකට වඩා අපි එය රසවිඳිමු. නිදහසේ අපේ රූප මනසින් ගොඩනගා ගන්නට ඉඩ නොදෙන මාධ්‍ය දැන් බොහෝය. රූපවාහිනියෙන්, රෙඩිමේඩ් රූප දෙනෙත ඉදිරියටම ගෙනැවිත් දෙයි. එවිට ඉහත කී ලෙස කතාවක් කියවන විට මෙන් මනසින් අපම නිර්මාණය කරගන්නා රූපය රසවිඳින්නට අපට ඉඩක් නොලැබේ. ස්මාර්ට් ජංගම දුරකතනද එසේය. රූ දකින සිත තව තවත් රූපම ඉල්ලා සිටී.
වචන ගලපා සිතින් රූප මවාගන්නට එවිට මනස කම්මැලිය. දැන් අපට සිදුවී ඇත්තේ එයයි. සිතුවම්පටවලට නැගුණු බොහෝ නවකතා බොහෝ සෙයින් අසාර්ථක වූයේ පාඨකයා මනසින් මවාගත් රූප හා තරග කරන්නට චිත්‍රපටයේ රෑප හා ශබ්ද සමත් නොවූ නිසාය. 1976 පමණ, සාර්ථක ලෙස චිත්‍රපටයකට නැගී ඇත්තේ ඩොක්ටර් ෂිවාගෝ (Doctor Ziwago) නවකතාව පමණකැයි ආචාර්ය සිරි ගුණසිංහ කියා තිබිණි. ඒ කතාව තුළ අපට අඩු වැඩි වශයෙන් එකඟ විය හැකි සත්‍යතාවක් ඇත.

රූපවාහිනියේ ආගමනය මෙරට ජනයාගේ පොත් කියවීමේ පුරුද්දට බොහෝ සෙයින් බලපෑම් කරනු ලැබුවේය. ඉස්සර නවකතා බොහෝ විට මිලදී ගත්තේ කන්තෝරු රැකියාවල නිරත වූවෝය. සතියකට වරක් නවකතාවක් මිලදී ගන්නට ඔවුන්ට වැය වූයේ රුපියල් දෙක තුනක් වැනි මුදලකි. රූපවාහිනිය පැමිණීමෙන් පසු වෙහෙස වී ගෙදරට එන තැනැත්තාට එය විනෝදය ගෙන දෙන අලුත් මෙවලමක් වූයේය. ඊට පෙර වෙහෙස නිවාගෙන කතන්දර පොතක් අතට ගන්නට පුරුදු වී සිටි කාර්යාල සේවකයා සතියේ දිනවල පොත් කියවන්නට යොදන කාලය රූපවාහිනිය නිසා අඩු විය. කතා පොතක් කියවා තමාගේ මනසින් රූප නිර්මාණය කරගෙන එය රසවිඳි පාඨකයා රූපවාහිනියෙන් වහනය වන රූප ඉදිරියේ තම නිර්මාණ ශක්තිය බිලි දී අනුන්ගේ රෙඩිමේඩ් රූප රස වින්ඳේය.

1980 ගණන්වල පැවති සිනමා සම්මන්ත්‍රණවලදී රූපවාහිනියේ ආගමනයත් සමඟ චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ අඩුවීම පිළිබඳ පැහැදිලි සංඛ්‍යාලේඛන තිස්ස අබේසේකර ශූරීහු ඉදිරිපත් කළෝය. සතියකට වරක් පමණ නරඹන චිත්‍රපටවලට චිත්‍රපටශාලා වසා දමන්නට තරම් ප්‍රේක්ෂකයන් අඩු වී නම්, දින පහේ පොත් කියැවූ පාඨකයාගේ පොත් කියවීමේ පුරුද්දට රූපවාහිනිය කෙසේ බලපෑම් කළේ දැයි සිතාගත හැකිය.

අපේ තරුණ විය එළඹෙන විට පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. ද සිල්වා යන අයගේ යුගය නිමාවී තිබිණි. (ඒ වනවිටත් ඩබ්ලිව්.ඒ. ද සිල්වා කතුවරයාගේ පොත් ජනප්‍රියය.) හෙළයේ මහා ගත්කරු වූ මාර්ටින් වික්‍රමසිංහ එවකට තම පරිණත අවධියට පැමිණ සිටියේය. ඔහුගේ කෘති කතා රසය බෙදන අතරම පාඨක මනසේ විචාර බුද්ධිය පෝෂණය කළේය.

හැට ගණන්වල තරුණ මනස ආදරයෙන් මන්මත් කරමින් කරුණාසේන ජයලත් (ගොළු හදවත) නවකතාවෙන් මතුකළ රැල්ල තවත් ගත්කතුවරු රාශියක් විසින් ඉදිරියට ගෙන ආහ. එම රැල්ලේ නවකතා බොළඳ නවකතා යැයි ඇතැම් විට විචාරකයන් හැඳින්වුවද එම කතා කියවන්නට පුරුදු වූ ප්‍රේක්ෂකයා ඉන් ඔබ්බට යමින් සාර්ථක නවකතාද කියැවීය.

කේ.ජී. කරුණාතිලකගේ, සිරිල් සී. පෙරේරාගේ, පරිවර්තන විශ්ව සාහිත්‍ය අප ඉදිරියේ තැබුවේය. රුසියානු නවකතා බොහෝමක් පරිවර්තනය කර තිබුණේ දැදිගම වී. රුද්‍රිගූ විසිනි.

පසුගිය දශකයේ මතුවූ යොවුන් පෙම් නවකතා රැල්ල කරුණාසේන ජයලත් 60 දශකයේ මතුකළ රැල්ලේ නව දිගුවක් ලෙස පෙනී යයි.

තරුණයාගේ ළයට තුරුළු වී ඉන්නා තරුණිය සමඟ මතුවන සංවාද අපේ කාලයේ යොවුන් නවකතාවල බොහෝ සෙයින් තිබිණි. ඒවායේ මැද බොහෝ විට තිබුණේ (හ්ම්) යන්නයි. මේ උදාහරණයකි.

"නිසංසලා"
"හ්ම්"
"පුංචි කෝච්චියෙ ගිය ගමන මතකද?"
"හ්ම්"
"ආයෙත් යමුද?"
"හ්ම්"

දෙබස් ඇති පිටු ඒ නිසා ඉක්මනින් කියවාගත හැකි විය.

මුහුදු වෙරළවල, නිවාඩු නිකේතන උයන්වල, පිහිනුම් තටාක අසල නිසංසලේ පොත් කියවන විදේශිකයන් දක්නට ලැබුණත්, එළිමහනක සෙවණේ හිඳගෙන පොත් කියවන අපේ අය නම් දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. යහළු යෙහෙළියන් එක්වූ විට පොත් කියවා විනෝද වන චරිත ඇතැම් රුසියානු නවකතාවල ඇත. එහෙත් අපේ පොත් කියවීමේ පුරුද්ද ඊට වෙනස්ය.

අපේ කාලයේදී පොත් කියවීමේ රුචිය ඇති බොහෝ දෙනා නගර සභා පුස්තකාලයේදී මුණගැසුණි. පොදු පුස්තකාලවල පොත් කියවන අයගේ සටහන්ද, ඔවුන්ගේ සිතැඟිද ඇතැම් පොත්වල ලියා තිබුණේය.

පසුගිය දශක කිහිපයේ නාගරික ජනගහණය අතිශයින් වර්ධනය වුවද ඊට සාපේක්ෂ ලෙස රටේ පුස්තකාල බිහි වී නැත. තවමත් (පුස්තකාල යන ප්‍රමිතියට අයත්) පුස්තකාල මේ රටේ ඇත්තේ 7800ක් පමණ බව විශ්වාසදායී සංඛ්‍යාලේඛනවලින් පෙනේ. එයින් 65ක් ඇත්තේ විශ්වවිද්‍යාල වලයි.

කොම්පියුටර් තාක්ෂණය හරහා හඳුන්වා දී ඇති e-books මගින් නවකතා කියවීම තවමත් හරි හැටි ජනප්‍රිය වී ඇති බවක් නොපෙනේ. මුදල් ගෙවීමකින් තොරව කියවිය හැකි e-books රාශියක් දැනටත් අන්තර්ජාලයේ ඇත. e-books කියවන්නට පුරුදු වුවහොත් අපට රාක්ක ගණන් ගෙවල්වල පොත් ගොඩගසාගෙන ඉන්නට සිදුවන්නේ නැත. දිනපතා පොත් රාක්කවල දූලි ගසන්නට සිදුවන්නේ නැත.

පොත් රාක්කවල ලස්සනට පොත් අසුරාගෙන මුහුණුපොතේ ඒවායේ පින්තූර යොදන මිතුරෝ සිටිති. පොත් තිබෙන්නේ ලස්සනට තබාගන්නට නොවේ. ඒවා පරිශීලනය කළ යුතුය. ඒවායේ සටහන් තැබිය යුතුය. ඕනෑ තැන් මතක් කරගන්නට ඒවායේ පිටු නමා තැබිය යුතුය. අපේ පොත්වල අපේ සටහන් තබා ඒවා කැත වූවාට කම් නැත. අවශ්‍ය වන්නේ ඒවා පරිශීලනය කොට අපේ දැනුම වර්ධනය කර ගැනීමයි. මන්ද, පොත් අපේ වහලුන් මිස අප පොත්වල වහලුන් නොවන බැවිනි.

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00