බරණැස් නුවර යහපත් බඹදත් රජ කෙනෙක් උන්නා. එතුමා වැසියන්ගේ සිත් දිනාගෙන දැහැමින් රජ කළා. කලක් ගත වෙනකොට පසල් දනව්වක කැරැල්ලක් ඇතිවුණා. එය මැඩ පවත්වන්න බඹදත් රජතුමා බලසේනා ගෙනගියා.
කැරැලිකරුවන්ද බලවත් වුණා. රජතුමා සමඟ සටන් කළා. රජතුමාගේ බලඇණිය දුර්වල වුණා. පරදින ලකුණු පහළ වුණා. රජතුමා අසු හරවාගෙන පසුබැස්සා. ඒ වනවිට සැඳෑ කාලය උදාවෙලා. අතරමඟ නවතින්න පළාතේ ඇමැතිවරයකුගේ නිවෙසට ගියා. ඒ ඇමැතියා කැරුලිකරුවන්ට බියේ දොරගුළු දාගෙන කළුවරේ හිටියා. රජතුමා ආපසු හැරුණා. අසුපිට නැග කල්පනා කර කර ගමන් ගත්තා.
මේ වනවිට ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න. පළාතම පාළුයි. එක මිනිසෙක් මඟ අයිනට වී උන්නා. රජතුමා ඔහු ළඟ අසු නතර කළා. ඔබ කවුරු එනකම්ද බලා ඉන්නේ, මේ ගමේ සියල්ලෝම බියේ සැඟවී සිටිනකොට යැයි ඇසුවා.
අපේ මහරජතුමා කැරැලිකාරයන් සමඟ සටනට ගියා. එතුමා දැකගන්න හරි ආසයි. එනකම් බලාගෙන ඉන්නවා.
ඔබ රජතුමා දැකලම නැද්ද?
අනේ නෑ... ඒක නොවෙයි. මේ ඔබතුමා කවුරුද?
මම රාජපුරුෂයෙක්.
ඉතින් මේ තනිපංගලමේ යන්නේ.
මම රාජකාරියකට ගියා. හුඟක් පරක්කු වුණා. අද නවතින්න තැනක් බල බලා යන්නේ.
ආ... එන්න ඔබ රාජ සේවකයෙක්නේ. අපි ඔබ වැනි අයට උදව් කරන්න එපායැ. අපේ ගෙදර තියෙන හැටියට කාලා බීලා නවතිමු. ඒ ගුණවත් මිනිසා කිව්වා.
රජතුමාද අසු පිටින් බැස්සා. ඔහු සමඟ ගෙට ගියා. ඒ ගැමියා රජතුමාට ඇඟපත සෝදාගන්න සැලැස්සුවා. බිරිඳට කියා කුටියක් සුවපහසු යහනක් පිළියෙල කරවූවා. කෑම බීම ඉහළින්ම සකස් කරවා දුන්නා. අශ්වයාට තණ දිය දී ඌටත් පහසුකම් සැලැස්සුවා. ඒ අතර ගමේ මිනිස්සුත් මේ රාජ්‍ය නිලධාරියා බලන්න ආවා. කෑම බීම වර්ග ගෙනත් දුන්නා. රජතුමා ඔවුන් සමඟ කුළුපගව සතුටින් උන්නා. කෙසේ හෝ දින තුනක් එහි ඉන්න රජතුමාට සිදුවුණා.
තුන්වැනි දවසේ රජතුමා බරණැස බලා යෑමට ලැහැස්ති වුණා.
ගැමියා එතුමාට මඟදී කෑමට බත්මුලක් ද අවුලුපත් ද සකස් කර දුන්නා. එහෙත් ඔහු හිටියේ එතුමා පිටත්ව යනවාට දුකින්.
රජතුමාට එය තේරුණා. ඔබ කනගාටු වෙන්න එපා. මම යනවාට. මට මෙහේ හැමදාම ඉන්න බෑ. ඔබ වැනි සත්පුරුෂයකුගේ ඈත්වීම මටත් දුකක්. රජතුමා කිව්වා.
ඔබතුමා යළි රාජකාරියට යනකොට මෙහේ එන්න. ගැමියා කිව්වා.
ඔව් මම මේ පළාතට යළි ආවොත් එනවා. එය නොවේ ඔබ බරණැසට ආ විට මගේ ගෙදර එන්න.
කොහොමද ගෙදර සොයාගන්නේ.
ඔබ බරණැස දකුණු වාසලට ඇවිත් ප්‍රධාන අශ්වාරෝහකගේ ගෙය කොහිදැයි අහන්න. එවිට ඒ අය ඔබ මගේ ගෙදරට කැඳවාගෙන එයි. බය නැතිව අහන්න කී රජතුමා එනිවසින් පිටත් වුණා.
රජතුමා බරණැසට ආවා. දකුණු වාසලේ සේවකයන්ට කිව්වා. යම්කිසි ගැමියෙක් ප්‍රධාන අශ්වාරෝහක සොයාගෙන එයි. ඔහු මා හමුවට කැඳවාගෙන එන්න. ඒ කැඳවාගෙන එන කෙනාට මසුරන් දහසක් දෙනවා.
වාසල් දොර සේවකයෝ රජ අණ පිළිගත්තා.
කලක් ගතවුණා. රජතුමා විශාල බලඇණියක් යැව්වා කැරැල්ල මැඩ පවත්වන්න. එය සාර්ථක වුණා. කැරැලි කාරයන් යටත් කරගත්තා. ඒ පසල් දනව්ව සාමකාමී කළා.
තවත් කලක් ගතවුණා. ගැමියා බරණැසට ආවේ නෑ. රජතුමා ඔහු එනකම් මග බලමින් උන්නා. ඔහුගේ නොපැමිණීම ගැන දුක්වුණා. ඔහු කැඳවාගන්න උපායක් යෙදුවා. ඔහුගේ ගමට ගෙවන බදු වැඩි කළා.
එහෙත් ඒ ගමේ කිසිවෙක් සහන පතාගෙන ආවේ නෑ.
රජතුමා දෙවැනි වරටත් බදු වැඩි කළා.
ගැමියන් සහන පතා ඒ වරත් ආවේ නෑ.
රජතුමා තුන්වැනි වරටත් බදු වැඩි කළා.
එය ගැමියන්ට දරාගන්න බැරිවුණා. ඔවුන් එක් වී ඒ ගැන කතාබහ කරන්න වුණා. බදු අඩුකර ගන්නා ක්‍රමයක් සෙව්වා. එක් ගැමියෙක් අර යහපත් මිනිසාට ඔබ ගෙදර නවාතැන් ගත්ත අශ්වාරෝහක කිව්ව කෙනා.... එයා සොයාගොස් මේ බදු අඩුකරවා ගන්න කියා බලමුද? ඔහු නම් යහපත් කෙනෙක් වගෙයි අපට දැනුණේ.
ඊට ඒ මිනිසා කැමැති වුණා. බිරිඳට කිව්වා මගේ යහළු අශ්වාරෝහක බලන්න මම බරණැස යනවා. මේ උහුලන්න බැරි බදු අඩුකරවා ගන්න. ඔහුට දරුවන් ඇති. ඒ හින්දා රසකැවිලි ටිකක් හදා දෙන්න.
බිරිඳද කැවිලි හදා දුන්නා. ඔහු මිතුරාටත් ඔහුගේ බිරිඳටත් වටිනා සළු දෙකකුත් ගත්තා. බරණැස බලා පිටත් වුණා. දකුණු වාසල් දොරටුවට ආවා. මට ප්‍රධාන අශ්වාරෝහක හමුවෙන්න ඕනෑ කිව්වා.
එහි සේවකයෝ ඔහු කැටුව රජ ගෙදරට ගියා. රජතුමාට ගැමියා ගැන කිව්වා. රජතුමා සතුටට පත් වුණා. වහා ඔහු වෙත ආවා. වැළඳ ගත්තා. රජගේ තුළට කැඳවාගෙන ගියා. අග මෙහෙසියට අඬ ගැසුවා. මගේ මේ මිතුරාට මුවදෝවනයට දිය සපයන්න කිව්වා. රජ බොජුන් ගෙන්වා ගත්තා. දෙන්නා සතුටින් භුක්ති වින්දා. ඔහු ගෙනා කැවිලිද රජතුමා කෑවා. ගෙනා සළුවත් රජතුමා ඇඳගත්තා. රාජපුරුෂයෝ යවා ඒ ගැමියාගේ අඹුදරුවන් බරණැසට ගෙන්වා ගත්තා. පදිංචියට මැඳුරක් දුන්නා. ඒ ගමට වැඩිකළ බදු අහෝසි කළා. රජතුමා මේ ගැමියා සමඟ නිතර ඇසුරු කළා. කෑමබීම පවා ගත්තේ එකට. හොඳම මිතුරෝ වුණා.
මේ ගැන අමැතිවරුන්ගේ අමනාපයක් ඇතිවුණා. ඔවුන් මේ දෙන්නා බිඳවන්න කුමන්ත්‍රණය කළා. රාජකුමාරයා හමුවුණා.
කුමරුනි! පිය රජතුමාගේ සහ ගැමියාගේ ඇසුර එතරම් හොඳ නෑ. කුමක් නිසා ඔහුට මෙසේ සලකනවාද අප දන්නේ නෑ. රාජ්‍යයෙන් භාගයක් ඔහුට දෙන්න හදන බවක් අපට දැනෙනවා. ටිකක් විමසිල්ලෙන් ඉන්න කිව්වා.
කුමරු ඔවුන්ගේ බස් පිළිගත්තා. පිය රජතුමා හමුවුණා. ඔබ ඇයි මේ ගැමියාට ඔතරම් සලකන්නේ ඇසුවා.
පුත, මම කැරලිකරුවන් සමඟ සටනින් පැරද එනවිට ඒ පළාතේ ඇමැතිවරු ගෙවල් වසාගෙන හිටියා. මට එදා නවාතැන් දී සැලකුවේ ඔය මිතුරා. මම කරන්නේ ඔහුට ප්‍රති උපකාරයක්. වෙන කිසිවක් නොවේ. රජතුමා කිව්වා. කුමාරයා එය පිළිගත්තා.
අශ්වාරෝහක ජාතකය ඇසුරින්
පී.බී.කේ. තිලක