රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවටත් ජනතාවට පොරොන්දු වූයේ වත්මන් ආණ්ඩුව පමණක් නොවේ. දැනට වසර 25ක පමණ සිට බලයට පත්වන නායකයෝ ජනතාවට මේ පොරොන්දුව දෙති.
මේ වනවිට ශ්‍රී ලංකා ජනරජය පාලනය වන්නේ 1978 වසරේ ස්ථාපිත කළ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. රට තුළ පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් පවත්වාගෙන යාමට මෙන්ම වෙනත් කාලීන ආර්ථික හා සමාජ අවශ්‍යතා සපුරාලීමට තරම් 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමාණවත් නොවන බවට ප්‍රබල මතයක් මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුවූයේ මෙයට දශක කිහිපයක පමණ පෙර සිටමය.
මේ සම්බන්ධයෙන් ගොඩනැගෙන දේශපාලන කතිකාව අඛණ්ඩවම දේශපාලන ක්ෂේත්‍රය තුළ පෙරට එන අතර මේ සම්බන්ධයෙන් දැඩිව අවධානයක් යොමුවූයේ 2015 වර්ෂයේ ජනවාරි මස පැවති ජනාධිපතිවරණයේදී සහ එම වසරේම අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. මෙම මැතිවරණ දෙකේදීම යහපාලනයේ නායකයන් ජනතාවට දුන් එක් පොරොන්දුවක් වූයේ තමන් බලයට පත්වූ පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍යය පියවර ගන්නා බවය.
මෙම මැතිවරණ දෙකෙන්ම ජයගෙන බලයට පත්වූ යහපාලන රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වැඩකටයුතු පටන්ගත් අතර ඒ හා සම්බන්ධ ක්‍රියාදාමයේ ආරම්භක පියවර වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පිහිටුවීමය. ඒ සම්බන්ධ අදාළ යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් 2016 මාර්තු මස 09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසින් එම යෝජනාව ඒකත්ඡන්දයෙන් සම්මත කරනු ලැබීය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය පාර්ලිමේන්තු කාරක සභාවකට සමාන වේ. නමුත් එය පාර්ලිමේන්තුවට පරිබාහිරව පවතින සහ ක්‍රියාත්මක වන ස්වාධීන මණ්ඩලයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා සහායවන ප්‍රධාන උප ආයතනය වූයේ මෙහෙයුම් කමිටුව වන අතර පාර්ලිමේන්තුව විසින් පත්කළ සාමාජිකයන් 21 දෙනෙකුගේ සමන්විත එහි මුලසුන දරනු ලබන්නේ වත්මන් අගමැතිවරයා විසිනි.
මූලික කරුණු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01 සහ 02 පරිඡේදවලින් අනාවරණය වන කරුණු බලය බෙදාහැරීමේ මූලධර්ම, රාජ්‍යය ඉඩම්, පළාත් ලැයිස්තුවේ විෂයන් පිළිබඳ මධ්‍යම නීති සම්පාදනය, අගනුවර භූමි භාගය, දෙවැනි මන්ත්‍රණ සභාව, මැතිවරණ ක්‍රමය, විධායකය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, නිසි කාන්තා නියෝජනය මහජන ආරක්ෂාව යන කරුණු ඔස්සේ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් අතුරු වාර්තාව සම්පාදනය කර තිබේ.
බුදු දහම/ 09 වැනි වගන්තිය
මේ සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1 වැනි) අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ සඳහන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.
හෝ
ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන්නේය. එහෙයින් සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතිකකොට ඇති මූලික අයිතිවාසිකම් සියලුම පුද්ගලයන්ට සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. ලෙස වගන්ති එකතු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්දය ලැබුණොත් යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (11 වෙනිදා) පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමේදී පැවසීය.
එහිදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව පළකළ අදහස් මෙසේය.
චෝදනා කිරීම වැරදියි
ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතා :
අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් කලබලයෙන් වෙනස් කරනවා කියලා ඇතැම් අය කියන්න උත්සාහ කරනවා. අපි ව්‍යවස්ථාවක් සැකසීමේ සම්මත ක්‍රමයට පටහැණිව මේ ව්‍යවස්ථාව සකස් කරන්න යනවා කියලා චෝදනා කරනවා. ඒවා නිවැරදි නෑ.
සියලු දෙනාම එක්වී හදන ව්‍යවස්ථාවක්
මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා:
සිංහල ජනතාව තුළ බොරු දේශප්‍රේමයක් හදාගෙන ජනතාව රවටන්න ඇතැම් අය හදනවා. ඒත් මෙවර පමණයි සියලුම දේශපාලන පක්ෂවල මතය අනුව ව්‍යවස්ථාවක් හදන්නේ. මීට පෙර හදපු සියලු ව්‍යවස්ථාවක් හැදුවේ තමන්ගේ දේශපාලන පක්ෂ ඉදිරිපිට ගෙනයන්නයි. ඒත් මෙවර එහෙම වුණේ නැහැ. අපි සියලු දෙනාම සහභාගී වෙලයි මේ ව්‍යවස්ථාව හදන්නේ.
යෝජනා වැරදියි
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) :-
මේ ව්‍යවස්ථාදායක සභා යෝජනා දිගටම අපි කළ කී ආකාරයට ගමන් කළේ නෑ. එක්සත් ජාතික පක්ෂය මෙහිදී යෝජනාවක් හෝ කෙටුම්පතක් ඉදිරිපත් කර නැහැ. ඒ වගේම මෙතන කිසිම කෙටුම්පතක් නැහැ. කෙටි සටහන් පමණයි තිබෙන්නේ. මේ රජය වැරදි යෝජනා කරලා තියනවා.
වර්තමාන ආණ්ඩුවද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කර වසර එකහාමාරක් පමණ ගතව තිබේ. ව්‍යවස්ථා වෙනුවෙන් මහජන අදහස් විමසා පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ද පත්කරනු ලැබීය. එහිදී අනුකමිටු මගින් වාර්තා හයක් සකස් කරන ලද අතර ඒවා පාදක කරගනිමින් මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් ද සකස් කෙරිණි. නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ මෙම අතුරු වාර්තාව පරිශීලනය කර ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට තරම් මෙරට සාමාන්‍ය ජනයා ඉදිරියෙන් සිටිනවා ද යන්න ගැටලුවකි.
මෙම යෝජිත නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව මෙරට සිටින විද්වතුන් කිහිපදෙනෙකු අප වෙත පළකළ අදහස් මෙසේය.
රනිල් මහත්තයගෙ ආණ්ඩුව කොළේ වහලා ගහන්න හදන්නේ
ආචාර්ය නාලක ගොඩහේවා
වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පනත් සම්මත කළ කරුණු දිහා බැලුවම හා ව්‍යවස්ථා සංශෝධන දිහා බැලුවහම අපිට එතුමාව සත පහකටවත් විශ්වාසයක් නැහැ. සෑම ව්‍යවස්ථාවක්ම සංශෝධනය කිරීමේදී කපටි වැඩ කරලා තමයි සම්මත කරගන්නේ. උදාහරණයක් වශයෙන් 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කරගන්නේ කාරකසභා අවස්ථාවේදී සංශෝධනය කරලා. පසුව තවත් පනත් රාශියකටම එය කළේ. ඒ කියන්නේ සදාචාරාත්මක බවකින් තොරව තමයි මෙතෙක් කල් හැසිරිලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යවස්ථාව ගැන ඒ අය මොන තර්කවිතර්ක ඉදිරිපත් කළත් ඔය ක්‍රියාවලිය ගැන අපිට විශ්වාස කරන්න බැහැ. මොකද පුද්ගලයාගේ ඉතිහාසය කළු ඉතිහාසයක් නිසා. මොකද ඒ අය කියන දේ නෙවෙයි කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්නන පනත නෙවෙයි පාර්ලිමේන්තුවට ගේන්නේ පාර්ලිමේන්තුවට පෙන්නන පනත නෙවෙයි හවසට කාරක සභා අවස්ථාවේදී සම්මත කරන්නේ. අක්කා පෙන්නලා නංගී දෙනවා වගේ එළියට එන්න තිබුණු ව්‍යවස්ථාව නෙවෙයි මේ ගේන්න හදන්නේ කියන එක තමයි මගේ මතය.
මේක සුමන්තිරන් එක්ක එකතුවෙලා ගහන ගේමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
අගමැතිවරයා කියනවා මේක කෙටුම්පතක් නෙවෙයි වාර්තාවක් පමණයි කියලා. නමුත් ඉංග්‍රීසි පරිවර්තනයට අනුව තියෙන්නේ ව්‍යවස්ථා කෙටුම්පත් කියලා. එතනම මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහජනතාවට වංචාවක් කරලා තියෙන්නේ. නව ව්‍යවස්ථාවේ කරුණු ඔක්කොම මේකේ තියනවා ඉතින් ජනතාව රවට්ටන්න එයාට දෙන්න බැහැ. අපි අහන්නේ ඇයි මේ කඩිමුඩියේ ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කරන්නේ. ව්‍යවස්ථාවද අද මේ රටට තියන මූලික ප්‍රශ්නය? අද ඊට වඩා ප්‍රශ්න මේ රටේ ජනතාවට තියනවා අද උද්ධමනය ඉහළ ගිහින් ඩොලරය ඉහළ ගිහින් බදු බර ඉහළ ගිහින් තියනවා. මේ වගේ ප්‍රශ්න රට තුළ තියෙද්දී ව්‍යවස්ථාවද අද තියන එකම ප්‍රශ්නය.
මේ ව්‍යවස්ථාව ගේන්න මේ වත්මන් රජය කටයුතු කරන්නේ සුමන්තිරන්ට අවශ්‍ය නිසා. මේ තියෙන්නේ සුමන්තිරන් හදපු ව්‍යවස්ථාවක්. මේ අය මේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි උත්සාහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ 2002 ගිවිසුම අත්සන් කළේ ජනතාවටත් පාර්ලිමේන්තුවටත් කියන්නේ නැතුව. ඉතින් ඒකෙන් රට අගාධයට ගිහින් එල්.ටී.ටී.ඊ.එක ශක්තිමත් වුණා. 2015 මංගල සමරවීර ලව්වා ජිනීවා එකට සහාය දැක්වූවේ කැබිනට් එකටවත් ජනාධිපතිතුමාට හෝ කාටවත් කියන්නේ නැතුව. ඉතින් මේ අය මේ ජිනීවාවල සියලුම නිර්දේශ කරලා තියෙන්නේ මේ ව්‍යවස්ථා කෙටුම්පත පමණයි. ඇත්තටම මේ අය ව්‍යවස්ථාව ගේන්න හදන්නේ ජනතාවට ඕන නිසා නෙවෙයි සුමන්තිරන්ට, බටහිර රටවලට සහ දෙමළ ඩයස්පෝරාවට ඕන නිසා ඇත්ත වශයෙන්ම අපි මේක නැවැත්විය යුතුයි.
ව්‍යවස්ථා යෝජනා ගැන විපක්ෂය පච කියනවා
නීතිඥ සුදර්ශන ගුණවර්ධන
වර්තමානයේ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 තමයි සම්පාදනය කරලා තියෙන්නේ එය අවුරුදු 4ක් පරණයි. මේ කාලය තුළ ලෝකයේ මෙන්ම ලංකාවේ සිදුවූ වර්ධනයක් දිහා බලනවිට එය යාවත්කාලීන විය යුතුව තිබෙනවා. මේ අනුව මේ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. මේ 19 සංශෝධනයේ විධායක ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ බල තුලනය කරන්නත් කටයුතු යොදා තිබෙනවා. නමුත් රටේ ජනතාවගේ ඉල්ලීමක් තමයි මෙතනින් එහාට ගමන් කළ යුතුයි කියන එක. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදීව විය යුත්තේ. ඒ වෙනුවෙන් තමයි මේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කරන්නේ මේකට මුල් වුණේ 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා ලැබිච්ච ජනවරම. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය කියලා පාර්ලිමේන්තුවේ මණ්ඩලයක් පත්කරනු ලැබුවා. ඒ මණ්ඩලය විසින් ගෙනඑනු ලබන යෝජනා පාර්ලිමේන්තුව තුළ 3/2 සම්මත කරලා තමයි අදාළ ක්‍රියාවට යන්නේ.
78 ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඇතුළත් නොවුණු ඇතැම් කරුණු මේ ක්‍රියාවලියට ඇතුළත් වෙලා තියනවා. මේ ක්‍රියාවලියේදී මෙහෙයුම් කාරක සභාව සහ උපකාරක සභා 06ක් පත්කළා. ඒවාට අදාළ කරුණු සොයාබලා වාර්තා කිරීමට තාම තනි වාර්තාවකට ගන්න බැරිවූ නිසා තමයි මේ විදියට වාර්තා 07ක් ඉදිරිපත් කරේ. දැනට මෙතනින් මේ ක්‍රියාවලිය තව ඉදිරියට යනවා. ඉතින් මේ ක්‍රියාවලිය එන්න කලින් සමහර දේශපාලන කණ්ඩායම් සහ පුරවැසි කණ්ඩායම් මහජනයා අතර මතයක් හැදුවා පෙබරවාරි 04ට කලින් අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා නමුත් එහෙම 04 වෙනිදාට කලින් එහෙම ගේන්න හැකියාවක් නැහැ. මේක මේ කණ්ඩායම් විසින් ජනතාව අතරට යවපු මිත්‍යා මතයක්.
හැමෝගෙම අයිතිවාසිකම් රැකෙන විදියට සිදුවිය යුතුයි
ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
රට තුළ මේ ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනවානම් ඒක ඒ රටේ ජනතාව එක්ක සාකච්ඡා කරලා කළයුතුයි. අපි දන්නා විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වර්තමාන රජය ඒ සම්බන්ධව යම් උත්සායක් දැරැවා. රට පුරා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහින් අදහස් විමසලා. අපිත් ඒ පිළිබඳව අදහස් දැක්වූවා. නමුත් අපේ රටේ ජනවර්ග කිහිපයක් ජීවත් වෙනවා. ඒ වගේම ආගම් කිහිපයක් තියනවා එතකොට මේ සියලුම ජනවර්ගයන් හා ආගම් ආරක්ෂා වෙන විදියට තමයි මෙය නිර්මාණය විය යුත්තේ. මොකද මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ඒ නිසා ඒ ශ්‍රී ලාංකික අන්‍යයතාවය ආරක්ෂා වෙන විදියට කටයුතු කළ යුතුයි. ඕනෑම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න තියන ව්‍යවස්ථාවේ ප්‍රතිශෝධන තියනවා. ඒවා අනුගමනය කරමින් තමයි නව ව්‍යවස්ථාවක් සංශෝධනය වෙන්න ඕන. සියලු දෙනාටම ඇහුම්කන් දීම මේ ව්‍යවස්ථාව ගෙනඒමේදී කරනු ලබන විශේෂ කාරණාවක් වනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ සිටින සියලු පක්ෂවල මතය විමසිය යුතුයි. එවැනි ක්‍රමයක් සහිතව ආගමික නායකයන්ගේ ආශිර්වාදය ඇතිව තමයි මෙම ව්‍යවස්ථාව සම්පාදනය කළයුත්තේ. ඒ වගේම සියලු ජනවර්ගවලට සෑම දෙනාටම සාධාරණය වෙන විදියට තමයි මෙය සම්පාදනය කළයුත්තේ කියන එක තමයි මගේ අදහස.
මේ යෝජනා ඇතුළේ හැබෑ ගැටලුවලට පිළිතුරු නෑ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ
මේ ව්‍යවස්ථා කෙටුම්පනත් නෙවෙයි මේ අය හදලා තියෙන්නේ ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාවක්. අතුරු වාර්තාව හදන එකයි කෙටුම්පතක් නිශ්චිත නොකිරීමයි කියන එකෙන්ම පේනවා. මේක නිකන් වෙදකමකට කෝඳුරැ තෙල් හොයනවා වගේ වැඩක් කියලා. නමුත් අපිට පේන විදියට ආණ්ඩුව කරන්න යන්නේ මේ අතුරුවාර්තාව ඉදිරිපත් කරලා. ඔන්න අපි ව්‍යවස්ථාව හදන්න ගියා නමුත් ඒකට අනිත් අය විරුද්ධ වුණා කියලා මතයක් හදලා. ඒ වගකීමෙන් මිදෙන්න කියන එක ඉතාම පැහැදිලියි. මේ වාර්තාව දිහා බැලුවම පේන දේ තමයි පසුගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ තිබුණ ගැටලු එකකටවත් පිළිතුරක් නැහැ කියනඑක. ඉතින් මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු හොයන්නේ තැනට එක එක වගන්ති ඔබ්බන එක තමයි මේ අය කරලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යවස්ථා වාර්තාව කියවද්දී තේරෙනවා මේකේ බරපතළ ව්‍යාකූලතාවයක් තියනවා කියලා. ඒ නිසා මේ වාර්තාව මගින් ඇතිවෙලා තියන ව්‍යවස්ථා ප්‍රශ්නය විසඳිලත් නෑ. ජනතාවගේ පැත්තෙන් උත්තරයක් හොයලත් නෑ. කිසිම දෙයක් කරලා නෑ.
නැති කෙටුම්පතක් නැති බොරු කියමින් ජාතිවාදය අවුස්සන්න හදනවා
ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ
මේ ව්‍යවස්ථාව කියලා අනිසි බියක් ඇතිකරලා තියෙන්නේ. අද තියන ජාතික ප්‍රශ්නයට විසඳුමක් ඕන කියන නිසා තමයි මේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඕන කියලා කියන්නේ. මේකේ ප්‍රධානම කාරණය තමයි විධායකය අහෝසි කරනවා කියනඑක. ඒ වගේම සියලු ජාතීන්ගේ උවමනාව පරිදි මෙම ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතුයි කියන මතය සමාජගත වී තිබුණා. 1978න් පස්සේ බලයට ආපූ හැම රජයක්ම බලයට එන්න කලින් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකළ යුතුයි කියන එක. නමුත් කවුරුත් ඒක ක්‍රියාත්මක කළේ නැහැ. වාර්තමාන ජනාධිපතිවරයාම තමයි ඒක තමන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශය තුළින් කියා සිටියේ. මේ රටේ තියන සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලෙසට තමයි මේ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්න ජනතා අදහස් ගන්න මේ කමිටුව ක්‍රියාත්මක වුණේ. මොකද මේක ජනතාව අතරින් තමයි එන්න ඕන. තවම මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරලාවත් නැහැ. සමහර කණ්ඩායම් කියනවා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ඒක සම්මත කරනවා. එල්.ටී.ටී.ඊ. එකට රටෙන් කෑල්ලක් දෙනවා කියලා. මේවා මේ පට්ටපල් බොරු. තවම ව්‍යවස්ථාවක් අඩුම තරමින් කෙටුම්පත් කරලාවත් නැහැ. පටු දේශපාලන අදහස් තියන අය මේ රටේ ජාතිවාදය පෙන්නලා තමයි මේ කටයුත්තට බාධා කරන්න උත්සාහ ගන්නේ. නමුත් ඒක සම්පූර්ණ බොරුවක්.
I හසිත් අංජන