2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

තොරතුරු ලාබයි!

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 221

මම මේ මෑතකදී ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ මධ්‍යස්ථානයට කතා කොට, ඔවුන්ගේ අගමැතිවරුන් පිළිබඳ කරුණු ටිකක් ලබාදිය හැකිදැයි විමසුවෙමි. හැරෙන (ඊ) තැපෑලෙන් පිළිතුරක් ලැබුණි. ඒ මෙසේය.
ඉන්දියාවේ ධනවත් මිනිසකුට ද අගමැතිවරයා විය හැකිය. 
ඊට හොඳම නිදසුන ජවහර්ලාල් නේරුය.
දුප්පත් මිනිසකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන ලාල් බහදූර් ශාස්ත්‍රීය.
වියපත් මිනිසකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන මොරාජ් දේශායිය.
නූගත් මිනිසකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන චෞද්රි චරන් සිංය.
ගැහැනියකට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන ඉන්දිරා ගාන්ධිය.
ගුවන් නියමුවකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන රජීව් ගාන්ධිය.
අගමැතිවරයකු නොවීද අගමැති විය හැකිය.
හොඳම නිදසුන සෝනියා ගාන්ධිය.
වියතෙකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන නරසිංහ රාවෝය.
කවියකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන අතල් බිහාරි වජ්ජායිය.
අගමැතිකම අනවශ්‍ය කෙනකුටද අගමැතිකම ලැබිය හැකිය.
හොඳම නිදසුන මන්මෝහන් සිංය.
ඕනෑම කෙනකුට අගමැති විය හැකිය.
හොඳම නිදසුන දේව් ගව්ඩාය.
තේ කඩකාරයකුට ද අගමැති විය හැකිය.
හොඳම නිදසුන නරේන්ද්‍ර මෝදිය.
එසැණින් ලැබුණු මේ අවංක වූද, නිර්ව්‍යාජී වූද, පිළිතුරෙන් මම ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් සේ පැහැදුණෙමි.
තොරතුරු මධ්‍යස්ථානයකට රටක ප්‍රතිරෑපය නංවාලීම සඳහා ද බොහෝ දේ කළ හැකිය. දන් ලංකාවේද තොරතුරු පනත ක්‍රියාත්මක වීම ගැන අප බොහෝ සතුටු විය යුතුය. එමගින් හිරු - සඳු ගැන පවා තොරතුරු සෙවිය හැක. ලෝකයේ දැනට ක්‍රියාත්මක තොරතුරැ පනත් අතරින්, අපේ පනත සත්වෙනි ස්ථානය දිනාගෙන තිබීමද ඉතා අගය කළ යුතුය. එහෙත්, දේශපාලනඥයන්ගේ ලේකම්වරු  - විශේෂයෙන්ම මාධ්‍ය ලේකම්වරු මෙය සම්බන්ධයෙන් එතරම් සතුටක් නොදැක්වීමටද ඉඩ ඇත. ඊට හේතුව දේශපාලනඥ  හා මාධ්‍යවේදී දෙපාර්ශ්වයටම මෙතෙක් තොරතුරු සැපයුවේ ඔවුන් විසින් වීමය. දැන් උදාවී ඇති තත්ත්වය අනුව, ඇමැතිවරයකුට හෝ තමන්ගේ ලේකම්වරයා සපයන තොරතුරු ගැන පවා තොරතුරැ ලබාගත හැකිය. එහෙයින් අතේ රෝල් හා ගොසිප් රෝල් අතේ පත්තු වී යා හැකිය.
මිනිසා සහජයෙන්ම කුහුලින් පිරි සත්ත්වයෙකි. එනිසා ඔහු ඉල්ලන තරමට තොරතුරැ සැපයීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා පුරුදු උදවිය, ඒ ක්‍රමයටම තොරතුරු ද ඉල්ලීමට ගියහොත් වැඩේ අවුල් වනු ඇත.
ගීත රසිකයෝද නොඉල්ලන දෙයක් නැත. ඔව්හු සී.ටී. ප්‍රනාන්දුගේ බේරෙන පැණි බිඳු^ ඉල්ලති. වික්ටර් රත්නායකගේ සෝක සැනසුම් ඉල්ලති. එඩ්වඩ් ජයකොඩිගෙන් කැරකෙන රෝදේ ඉල්ලති. ලතා වල්පොළගෙන් පෙම් මාලා නෙළා ඉල්ලති. බෙග් මාස්ටර්ගෙන් නාරිලතා පුෂ්පය ඉල්ලති.
මේ රසිකයන්, තොරතුරු කාර්යාංශයෙන් කඳුළු දෙන්න මට අඬන්නැයි ඉල්ලුවොත් පුදුමයක් නොවේ. බත්පත අතේ තබාගෙන ටෙලිනාට්‍ය නරඹන උදවියට, ඊළඟ කොටසේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය වනු ඇත. ක්‍රීඩා ලෝලීන්ට මැතිව්ස් පාදයේ ආබාධය හෝ මාලිංගගේ උරහිසේ ආබාධය පිළිබඳ අලුත්ම තොරතුරු දැනගැනීමට අවශ්‍ය වනු ඇත.
මගේ මිත්‍රයකුට සෙංකඩගල මැණිකේ දුම්රිය කොටුවට ළඟාවන වෙලාව දැනගැනීමට අවශ්‍ය වී, දුම්රිය ස්ථානයට ඇමතුමක් ගත්තේය. කිසියම් වැරදීමකින් ඇමතුම ගියේ බොරැල්ල කනත්තටය. ඒ බවක් නොදත් මිතුරා මෙසේ ඇසුවේය.
හලෝ... සෙංකඩගල මැණිකේ එන්නෙ කීයටද?*
ඒ වෙලාවෙ රතු කට්ට පැන සිටි කනත්තේ සේවකයෙක් මෙසේ පිළිතුරු දුන්නේය.
ඒක නං හරියටම කියන්ඩ බෑ. ඇක්සිඩන්ඩ් එකකින් මැරුණු නවරත්න මැණිකේ නං හතරට ගේනවා.
මේ සිරිලංකාවේ තොරතුරැ සැපයීම ඔන්න ඔය වගේය!
තොරතුරු පනතින් නිසි ප්‍රයෝජන ගැනීමට පොදු ජනතාවද පුරැදු පුහුණු විය යුතුය. මෑතකදී මුදල් තෑගි බෙදන එෆ්.එම්. නාලිකාවකින්, ශ්‍රාවකයන් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
සතර අභිනය යනු කුමක්ද?
මෙය ඇසූ, පෙරේරා නැමැති මහතෙක් තොරතුරු මධ්‍යස්ථානයට ඇමතුමක් දී සතර අභිනය කුමක්දැයි විමසුවේය.
අපි එවැනි දේවලට පිළිතුරු දෙන්නෙ නැහැ. කරුණාකර නාට්‍ය හා රංගකලා ගුරුවරයකුගෙන් දැනගන්න.
ඔහුට එසේ පිළිතුරු ලැබුණි. ඒ හදිස්සියට නාට්‍ය ගුරුවරයකු සොයාගත නොහැකි වූ හෙයින් පෙරේරා මහතා, දහම් පාසලේ තරැණ ගුරුවරයකුගෙන් සතර අභිනය කුමක්දැයි විමසුවේය. ගුරැවරයා ශ්‍රවණාබාධයකින් පෙළෙන්නෙකි. ඔහු දෙවරක් නොසිතාම පිළිතුරු දුන්නේය.
ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක්, පැවිද්දෙක්.*
පෙරේරා මහතා, වහාම තම පිළිතුර එස්.එම්.එස් කළේය. එය නිවැරදි පිළිතුර ලෙස බාරගත් එෆ්.එම්. නිවේදකයා පෙරේරා මහතාට රුපියල් පන්සීයක මුදල් ත්‍යාගයක් ලැබෙන බව දන්වා සිටියේය. මෙබඳු නිවැරදි තොරතුරැ සන්නිවේදනය* ගැන වගවන කිසිවකු නැත.
තොරතුරැ පනතින්ද පෞද්ගලික තොරතුරු දැනගැනීමට ඉඩක් නැත. එහෙත් ජනතාවට අවශ්‍ය වන්නේ කාන්තාවන්ගේ සැබෑ වයස, දේශපාලනඥයන්ගේ හෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් සංඛ්‍යාව, ඔවුන් සතු පාස්පෝට් ප්‍රමාණය, වාහන සංඛ්‍යාව හා නළු නිළියන් දික්කසාද වූ වාර ගණන ආදිය දැනගැනීමටය. තොරතුරු මධ්‍යස්ථානයන්ට අමතරව ගොසිප් සෙන්ටර්ස් ද පිහිටුවාලීම වැදගත් වන්නේ එහෙයිනි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරුද්ධ නොවන්නේ නම් ඒවා පෞද්ගලීකරණය කළ හැකිය. ඇතැම් පුවත්පත්වල දේශපාලන පිටු ලියන්නන් ඒවායේ කළමනාකාර පදවිවලට පත් කළ හැකිය.
මෑතකදී ලෝකයේ හොඳම සන්නිවේදක යුවළ තේරීමේ තරගයක් පැවැත්වුණු අතර ඉන් ජයගත්තේ මිස්ටර් ඇන්ඩ් මිසිස් විකිපීඩියාය. ඔවුන්ගේ පුතා ගූගල්ය. දියණිය ඉන්ටර්නෙට්ය. බල්ලාගෙ නම ෆේස්බුක්ය. අසල්වැසියා ට්වීටර්ය. බිරිඳ ඩිජිටල්ය. දියණිය ඩිලීට්ය. පුතා අයිපෑඩ්ය. බල්ලා රැම්ය. ඌ කන්නේ මයික්‍රොචිප්ස්ය!

 කපිල කුමාර කාලිංග