නවකතා කෙටිකතා සහ ශාස්ත්‍රීය කෘති රැසක් පළකළ ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකගේ නවතම කෘතිය යොවුන් නවකතාවකි. එය සිව් යහළු වික්‍රමයක් වේ. ප්‍රවීණ ලේඛකයන් යොවුන් නවකතාව අමතක කර නවකතාවේම එල්බ සිටින සමයක යොවුන් නවකතා ශානරයට නිහාල් රංජිත්ගේ එළඹීම සතුටට කරුණකි.
යොවුන් වියේ පසුවන්නේ බාල වයස්කරුවන්ය. සහජයෙන් පිහිටි දැනුම, බුද්ධිය හා ප්‍රඥාව නිසා මේ අය අතර ළමා, වැඩිහිටියන් සේ සැලකිය හැකි පිරිසක් ද නැත්තේ නොවේ. කෙසේ වුවද වැඩිහිටියන්ම නොවන දරැවන් වෙනුවෙන් ලියවිල්ල ලෙහෙසි පහසු නැත. මෙහිදී අභියෝගවලට මුහුණ දීමේ තිර අදිටන සක්‍රීය වීම මට පහසුවක් වුණේය.* කතුවරයා තමා යොවුන් නවකතාකරණයට එළඹීමේ අරමුණු පැහැදිලි කරමින් සඳහන් කරයි.
අද අපට බහුලව දකින්න ලැබෙන්නේ පොතපත ඇසුරු කරන, කෙළිසෙල්ලම් කරන යොවුනන් නොවේ. ස්මාට් ෆෝන්, ටැබ්ලට් අතේ තබාගෙන සයිබර් ලෝකයේ අතරමංවී සිටින පිරිසකි. එවන් ගැටවර පිරිසකට පොත් ලිවීමද ලෙහෙසි නැත. නිහාල් රංජිත් ජයතිලක මේ සඳහා තේමා කරගත්තේ මත්ද්‍රව්‍ය උවදුරයි. පාසල් මත්ද්‍රව්‍ය මර්දන සතියක් පවා පැවැත්වීමට රජයට සිදුවීමෙන් පෙනෙන්නේ මත්ද්‍රව්‍ය බාලපරපුරට ද සෑහෙන්න බලපා තිබෙන බවයි. එවන් යුගයක මත්ද්‍රව්‍ය මැඩලීම විනෝදාංශයක් කරගත් කතාවක් මෙහි විස්තර වේ.
කතුවරයා නවකතාවේ සජීවී බව රඳවාගැනීම ආරම්භ කරන්නේ එහි පරිච්ඡේද ආරම්භ කිරීමේ මාතෘකා පාඨවල සිටය. පාඨකයා තුළ කුතුහලය මැවෙන අන්දමේ මාතෘකා පාඨ යොදමින් කතාව ඉදිරිපත් කර ඇත. එමෙන්ම සිද්ධි ඉදිරිපත් කිරීමේදී ද නාටකීය ගුණය වර්ධනය වන ආකාරයෙන් එය රචනා කර තිබේ. අවසානයේ මෙම සිද්ධිය පාසල් නාට්‍ය පිටපතක් බවට පත්වීම හා එය බද්ධව පවතී.
නවකතාව ආරම්භ වන්නේ වයඹ පළාත් ළමා නාට්‍ය තරගාවලියකින් පන්නල සිරිපැරකුම් මහා විද්‍යාලය ජයග්‍රහණය ලැබීමේ සිද්ධියකිනි. කසුන්ට පමණක් සම්මාන සහතික දෙකක් හිමි වූයේ රඟපෑමට අමතරව ජයග්‍රාහී නාට්‍ය පිටපත් රචකයා ද ඔහු වීම නිසාය. මතට තිතක්* නාට්‍යයට පාදක වූ කතා තේමාව සත්‍ය අත්දැකීමක් මත පදනම් වූවකි. ඒ සඳහා කසුන් ප්රමුඛව යහළුවන් කිහිපදෙනෙකුගේ රහස් පරීක්ෂක ක්රමයේ යොවුන් ඔත්තු සේවාවක ක්‍රියාදාමයක් ඇතුළත්ව තිබුණේය. (10 පිට)
මෙය ප්‍රබන්ධාත්මක සත්‍ය සිද්ධියක් ආශ්රයෙන් රචිත නවකතාවක් ලෙස ඉදිරිපත් කිරීමට කතුවරයා තීරණය කරන්නට ඇත්තේ පාඨක මනස ආකර්ශනය කරගැනීමට විය යුතුය. බටහිර සාහිත්‍යයේ මෙම ආකෘතියේ යොවුන් කතා බහුලය. එම යෞවන කතා ජනප්‍රිය වීමට ද එවැනි ආකෘතිවලින් ඉදිරිපත් කිරීම හේතුවී ඇත.
මෙහි ප්‍රධාන චරිතය කසුන්ය. ඔහු පන්නල කළුගමුව ගමේ පදිංචි ශිෂ්‍යයෙකි. වර්තමානයේ සිට අතීතයට කතාව ගලාගෙන ගොස් සිසු මිතුරන්ගේ රහස් පරීක්ෂක ක්‍රියාකාරකම් පාඨකයාට ඉදිරිපත් කෙරේ. මේ සෑම අවස්ථාවකදීම කුතුහලය රඳවා ගැනීමට ලේඛකයා සමත් වේ. ඒ අතරම කාල කළමනාකරණය පිළිබඳ අදහසක් ද ඉදිරිපත් වන්නේ ලේඛකයාගේ වෘත්තීය බැංකු අත්දැකීම් ආශ්රයෙන් බව පෙනේ. බිස්කට් කමින් විනාඩි කීපයක් ගතකළ මිතුරු කැල පසුව සිසිල්බීම පානය කළහ. ඉර බැහැගෙන යමින් තිබූ නිසා කසුන් වෙලාව බැලීය. හතරහමාරට විනාඩි පහකි. හරියට පහට ක්‍රීඩාව අවසන් කළයුතු නිසා සෙල්ලම වෙනුවෙන් තවත් කොන්දේසි හඳුන්වාදීම සුදුසු බව කසුන්ගේ සිතට දැනුණේය. (58 පිට)
පාළු ඉඩමක ක්‍රිකට් ක්‍රීඩා කරන අතර අල්ලපු වත්තේ පිහිටි විශාල නිවසක් සහිත ඉඩමට ළමුන්ගේ අවධානය යොමුවේ. එම ඉඩමේ සිදුවන ක්‍රියාදාමය ගැන ළමුන්ට කුතුහලයකි. ඔවුන් වැඩිහිටියන්ට ද හොරෙන් එම කටයුතු ගැන පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සොයා ගනිති. එහි අවසානය කාටත් හොරා සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක තතු හෙළිකරගැනීමයි.
සිව් යහළු වික්‍රමයක් අවසන් වන්නේ කතාව යළිත් වර්තමානයට ගෙන ඒමෙනි. සරල ආකර්ශනීය බස් වහරකින් කතාව රචනා කිරීමට කතුවරයා උත්සුකවී තිබේ. මෙහිදී කසුන්ගේ මනෝභාවයන් තවදුරටත් විවරණය කිරීම කතුවරයා උනන්දු වූයේ නම් ඔහුගේ චරිතයට හොඳින් කිමිදීමට පාඨකයන්ට අවස්ථාව ලැබීමට ඉඩ තිබුණි.
යොවුන් පරපුර තුළ ගවේෂණය පිළිබඳ උනන්දුව ජනිත කිරීමට ද මෙම කෘතිය ඉවහල් වේ. සිව් යහළු වික්‍රමයක් නුගේගොඩ සරසවි ප්රකාශනයකි.
පාඨක