- සම්මානනීය ලේඛක මංජුල වෙඩිවර්ධන
දිගු කලක පටන් ප්‍රංශයේ ජීවත්වෙමින් නිර්මාණකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන නවකතා, කෙටිකතා, කාව්‍ය මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිරනාටකද රචනා කර තිබේ. ඔහුගේ බත්තලංගුණ්ඩුව නවකතාව ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගයුණු අතර ගොඩගේ සාහිත්‍ය සම්මානයද හිමිවිය. මගේ ආදරණීය යක්ෂණී නවකතාවද ස්වර්ණ පුස්තක ප්‍රශස්ත කෘතියක් විය. දුෂ්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෙටිකතා පොතට රජත පුස්තක සම්මානය හිමිවිය. මංජුලගේ කවිපොත් කිහිපයකටද රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සම්මාන හිමිව තිබේ. පැරිස් වලාකුළු මංජුලගේ අලුත්ම නවකතාවයි.
පැරිස් වලාකුළු ගැන අපට පොඩ්ඩක් කිව්වොත්?
මම කිසිම විටෙක මම ලිව්ව කෘතියක අන්තර්ගතය ගැන කියන්න හෝ ඒ ගැන පැහැදිලි කරන්න ඉස්සරහට එන්නෙ නෑ. එය වේගයෙන් හෝ හිමින් කියවෙන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්නවා. ඒක තමයි ලියන්නෙක් විදිහට මගේ විදිහ. ඒ හින්දා නිශ්චිතව ‘පැරිස් වලාකුළු’ මේ යැයි කියන්න මට හැකියාවක් නෑ. නමුත් මට වෙන විදිහට ඒ ගැන යමක් කියන්න පුළුවන්.
ඒ කියන්නෙ කොයි විදිහටද?
‘පැරිස් වලාකුළු’ කියන්නෙ සංකේත පද්ධතියක් පදනම් කරගත්තු, එමෙන්ම තදබල දේශපාලනික ප්‍රවේශයක් අරගත්තු ප්‍රබන්ධයක්. ඔස්කා වයිල්ඩ් වතාවක් කියනවා, ‘මොඩර්න් මෙමුවා’ වලට ඔහු අකමැතියි කියලා. ඒකට හේතු විදිහට ඔහු කියන්නෙ, එක්කො ඒවා ලියන අය සහමුලින්ම තමන්ගෙ මතකය අහිමි කර ගත්තු අය, එහෙම නැත්නම්, ඒ අය ස්මරණය කළ යුතු කිසිම දෙයක් කරපු නැති මිනිස්සු කියලා. ඔස්කා වයිල්ඩ්ම ඔහුගේ වෙනත් කෘතියක ලියනවා, පිරිමියකුගේ මුහුණ කියන්නෙ ඔහු පිළිබඳ චරිතාපදානයක්, ස්ත්‍රීයකගේ මුහුණ කියන්නෙ ඇය පිළිබඳ ප්‍රබන්ධයක් කියලා. මේ උපුටන දෙකම පාදක කරගනිමින් මට කියන්න ඕනි මෙන්න මේකයි. පිරිමි කිහිප දෙනෙක් මූලික කර ගත්තු පිරිමි සමාජයක්ම එකතු වෙලා ස්ත්‍රියකගෙ චරිතාපදානයක් ලිව්වම ඒක මොනවගේ හැඩයක් ගන්න පුළුවන්ද? ‘පැරිස් වලාකුළු’ ගලාගෙන යන වාක්‍ය අතර තියෙන හිස් අවකාශය කියවගන්න පුළුවන් නම් මම මේ කියන කතාව පැහැදිලි කරගන්න එක හරිම පහසුයි.
මංජුල, ඔබ පැරිස් වලාකුළු සඳහා කාව්‍යාත්මක රිද්මයානුකූල සෙමින් ගලායන බස් වහරක් යොදාගත් බව පේනවා. ඒ ගැන කිව්වොත්...
මම කවිය මගේ අධ්‍යාත්මික ප්‍රකාශනය විදිහට පවත්වාගෙන යන ප්‍රබන්ධකරැවෙක්. ඒක හැමදාකටම එහෙමයි. සාහිත්‍යයේ අරමුණු හා භාෂාවේ අරමුණු සහමුලින්ම වෙනස් වුණත්, මට භාෂාව කියන්නෙ විශාල වැඩබිමක්. මම කම්කරැවෙක් විදිහට ඒ වැඩබිමේ වැඩකරමින් විශාල ශ්‍රමයක් වගුරනවා. ඒ ශ්‍රමයට සමාන්තරව තමයි ‘පැරිස් වලාකුළු’ කෘතියෙත් ඔබ ඔය කියන කාව්‍යාත්මක, රිද්මයානුකූල, සෙමින් ගලා යන බස් වහර නිපදවෙන්නෙ. ඒක මගේ සමස්ත ගද්‍යාවලියටම අදාළයි. ප්‍රවේශමෙන් සෙමින් කියවගන්න හැකි නම් වැකියක් වැකියක් පාසා ඇති ඊට අනන්‍ය ගද්‍ය රිද්ම රටා ‘බත්තලංගුණ්ඩුව’, ‘මගේ ආදරණීය යක්ෂණී’ විතරක් නෙමෙයි, මම ඉකුත් සැප්තැම්බරයේ පළ කෙරුව ‘ඒ අහඹු අතීත හැන්දෑව’ තුළ පවා හමුවෙන්න පුළුවන්. මට, මම ලියන කෘතියක පළවැනි වාක්‍ය වගේම අවසාන වාක්‍යයත් අතිශයින් බරපතල ලෙස වැදගත්. ඒ වගේම ඒ පළමු වාක්‍යයේ සිට අවසාන වාක්‍යය දක්වා තියෙන හැම වැකියක්මත් වැදගත්. ඒ හැම වැකියක්ම විශාල ශ්‍රමයක ප්‍රතිඵලයක්.
පොත කියවන විට පේනවා ඇතැම් ප්‍රංශ හා ඉංග්‍රීසි වදන සිංහලීයකරණය කිරීමට ගත් උත්සාහයක්...
චිරන්තන සිංහල සාහිත්‍යයේ ඇති රමණීය බසෙහි සිට අතිශයින් නාගරික සංකර බස දක්වා වූ උප භාෂා කලාප අධ්‍යයනය, මගේ භාෂා අධ්‍යයන විෂයයෙහි අඛණ්ඩව සිද්ධ වෙන දෙයක්. ශ්‍රී ලාංකික ප්‍රජාව කේන්ද්‍රගත වුණු වෙනත් භූමි වපසරිවල වුණත් භාෂා භාවිතය මෙම අධ්‍යයන විෂයට අදාළයි. නිදසුනක් විදිහට ‘පැරිස් වලාකුළු’ වල කේන්ද්‍රීය පැරිස් භූමි කලාපය වන ‘ලා ෂපෙල්’ වලට සිංහල හෝ දෙමළ සමාජය උසුරුවන්නෙ ‘ලා චැපල්’ කියලා. සියුම්ව නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවි මේකෙ සංවාදවලදී හැමෝම කතා කරන්නෙ ‘ලා චැපල්’ කියලා. නමුත් මෙහි කතාකයා වන සාරත්‍ර විසින් ලියැවෙන සෙසු තැන්වලදි ලියවෙන්නෙ නිවැරදි වචනය වන ‘ලා ෂපෙල්’. මෙබඳු සියුම් භාෂාත්මක වෙනස්කම්, මගේ ගද්‍ය ලියවිලි හරහා සෙමින් ඇවිද යන්නන්ට හොයා පහදා ගන්න පුළුවන්.
පසුගිය කාලේ ප්‍රංශ කෘති සිංහලට පරිවර්තනය කරපු ලේඛකයන් අතින් වැරදි වෙලා තිබෙන බව පේනවා නේද?
ප්‍රංශ ලේඛකයන්ගෙ බොහෝ නම් සිංහලෙන් කියවන අය දන්නෙ ඒ ඒ පරිවර්තකයා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු වැරදි එක්ක. වෙනත් භාෂාවකින් ඔරිජිනලය ලියැවුණු කෘතියක වුණත් බොහෝ විට එය සිංහලට නඟන පරිවර්තකයා භාවිතයට ගන්නෙ ඉංග්‍රීසි කෘතියයි. ඔවුන් ඒ කෘතිය ඇතුළෙ එන සියලු නම් ගම් ස්ථාන නාම සිංහලෙන් ලියන්නෙ ඉංග්‍රීසි උච්චාරණයට ගැළපේ යැයි හිතලා. නමුත් ඒ අදාළ රටවල එහෙම නෙමෙයි. ෆ්‍රංසයේ මගේ මිත්‍රයන්ගෙන් මං ඇහුවොත්, හියුගෝ, සාත්‍රේ, බොවා ගැන ඒ අයට එක පාරට අල්ල ගන්න බැහැ මං අහන්නෙ කා ගැනද කියලා. මොකද ඒ නම් උච්චාරණය කරන්නෙ එහෙම නෙමෙයි. නමුත් සිංහලෙන් කියවන සාහිත්‍ය කලාපයේ ඔවුන් අඳුරන්නෙ මං මේ කියපු නම් වලින්. ඒ හින්දා මෙබඳු වැරදි අවම කර ගන්න මම මගේ ලියවිලි වලදී උපරිම උත්සාහ කරනවා. ඒ වෙනුවට මම එමෙන්ම ඒ ඒ රටවල ශ්‍රී ලාංකික උප සංස්කෘතික කලාපයන් භාවිත කරන වචන කෝෂය යොදා ගන්න උත්සාහ කරන අතරෙම, අලුත් භාෂාත්මක යෙදුම් නිපදවන්න උත්සාහ කරනවා.
විප්‍රවාසීව සිට නිර්මාණ කිරීමේදී ලේඛකයකු වශයෙන් ඔබ මුහුණදෙන අභියෝග ගැන කිව්වොත්?
බරපතළම අභියෝගය තමයි දේශපාලන පිටුවහල වේවා, ස්වයං විප්‍රවාසය වේවා ආර්ථික සංක්‍රමණය හෝ වේවා, මේ සකල කුලකයන් පිළිබඳ සමාජය තුළ තියෙන ආකල්පයට මුහුණදීම. මේක ශ්‍රී ලංකිකයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි, මේක සෙසු සියලු රටවල නිර්මාණකරැවන් මුහුණ දුන්න අභියෝගයක්.
සීතලත් සැපක්, හිමපතනයත් පරම සුවයක් කියලා පරිකල්පනය කරන අය, තමන් අත්නොවිඳින ඉන්ද්‍රජාලික අවකාශයක් විප්‍රවාසය හෝ සංක්‍රමණය විසින් අත් පත් කර දෙන්නේ යැයි පරිකල්පනය කරන අය නිර්මාණකරුවකුගෙ නිර්මාණයක් අතට ගන්නෙම මේ පරිකල්පනය ඇතුළෙමයි. එවන් අයගේ විසකුරැ මැදිහත්වීම් විවිධ වේශයන්ගෙන් පැන නැඟෙන අවකාශයකටයි අපිට නිර්මාණ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් නිර්මාණ එක්ක ආදරයෙන් බැඳුණු ශක්තිමක් පාඨක පිරිසක් මෙන්ම, නොවෙනස් සහෘද, මිත්‍ර, සහෝදර කලාපයක් තිබීම විසින් මේ සකල කැතකම්වලට මුහුණදීමේ ශක්තිය පාදාගන්නට ඒ ඒ කෘතියට මෙන්ම ලියන්නාට ඉඩ සැලැස්සෙනවා.
ප්‍රංශය සම්භාව්‍ය යුගයේ සිටම සාහිත්‍යයෙන් වැජඹුණු රටක්. අද ඔය රටේ සාහිත්‍යයට/ ලේඛකයන්ට ඇති තැන කොහොමද?
ප්‍රංශය කියන්නෙ ජීවිත කාලයක් තුළ කියවා නිම කරන්න බැරි සාහිත්‍ය කලාපයක්. ඒ නිර්මාණකරණය ඕපපාතික නොවන්නා සේම ලේඛකයන්ට සහ කලාකරුවන්ට සමාජය තුළ පවතින ගෞරවය හා ආදරය පවා ඕපාපාතිකව පැන නැඟෙන්නක් නෙමෙයි. අපි වික්ටර් හියුගෝ නමින් දන්නා මහා කවියා, මහා නවකතාකරුවා මියගිය මොහොතේ, ඒ කියන්නෙ 1885 තරම් ඈතක ඔහුගේ මළගමට මිලියන දෙකකට අධික ජනතාවක් පැරීසියට රොදබැන්දා. දැනට ප්‍රංශයේ එවන් මහා ලියන්නො ඉන්නවද කියන ප්‍රශ්නය එක පැත්තක තියෙනවා. ඒ හින්දා ප්‍රබන්ධකරුවෙක්ට සමාජය තුළ එවන් වූ ආදරයක්, ගෞරවයක් හෝ පිළිගැනීමක් තියෙනවද කියන එක වෙනම සංවාදයට ගත යුතු ප්‍රශ්නයක්. නමුත් ලේඛකයෙක් බිහිකිරීම කියන එක සහ ලේඛයෙක් වූ පසුව ඔහුට තියෙන වෘත්තීය පැවැත්ම සමාජය විසින් තහවුරු කරන ලද්දක්. ඒ නිදහස හෝ අයිතිය සමාජය විසින් අවප්‍රමාණ කරන්නෙ නෑ. ලේඛකයෙකුට නිර්මාණකරණය පහසු කරගන්න පහසුකම් සැපයෙන ආයතන රාශියක් මෙහෙ තියෙනවා. නමුත් ඒ ඒ ලියන්නගෙ පදනම සහ පැවැත්ම තීන්දු වෙන්නෙ ප්‍රබන්ධකරණයේ සාර්ථකත්වය මත. නිදසුනක් විදිහට 2014 නොබෙල් තෑග්ග හම්බවුණු පත්‍රික් මොදිආනෝ ගත්තම, ඔහුගෙ කෘති වගේම ජීවිතයත් බරපතල හරිම දුෂ්කර එකක්. නමුත් ඔහුට එකී ඇගයීමට පාත්‍රවීමේ ඉතිහාසය පාදාගෙන ගියාම රජය මෙන්ම, බදුගෙවන පොදු සමාජය ඊට සෘජුවම දායක වෙලා තියෙනවා. එසේ නොවී නම් නොබෙල් සම්මානලාභී මොදිආනෝ කෙනෙක් ප්‍රංශයට නොඉන්න තිබ්බා. ලේඛකයන්ට ‘තැන’ හැදෙන විදිහ ලේඛකභාවය මත තමයි පදනම් වෙන්නෙ. සමකාලීන ලේඛකයො සලකා බැලුවොත් පියේර් ලැමැත්ර වගේ බරපතල ලියන්නෙක් සාර්ථකත්වය අත්පත් කරගත්තෙ ජීවිතයේ හයවැනි දශකයත් ඉක්මවා ගියාට පස්සෙ. නමුත් එදුවා ලුයී වගේ තරුණයෙක් ගත්තොත් ඔහුට තාම අවුරුදු 25යි. නමුත් ඔහුට පුළුවන් වෙලා තියෙනවා ලෝකෙටම ආමන්ත්‍රණය කරන්න. ඔහු හෝ ඇය ප්‍රබන්ධකරණයේ වැඩකරුවෙක් නම් ඒ අදාළ පිළිගැනීම ලබා දෙන්න ප්‍රංශ සමාජය කම්මැලි නෑ.
ඩිජිටල්කරණය නිසා ලංකාවේ සමහරු ලේඛකයන්ගෙන් පවා ඉල්ලන්නේ පොත්වල පී.ඩී.එෆ්. එකක්. ප්‍රංශයේ මුද්‍රිත පොත්වලට ඇති ප්‍රවණතාව කෙසේද?
මං හිතන්නෙ ප්‍රංශයේ කියවීමට ඇබ්බැහිවුණු බහුතරයට තවම ඩිජිටල් කියවීම තරමක වෙහෙසකර කටයුත්තක්. පොතක් කියන්නෙ එහි වචන, වැකි, ඡේද පරිච්ඡේද කියවීමම නෙමෙයි. මුද්‍රිත කෘතියක් කියවීම කියන්නෙ වෙනත් ස්මරණයන්, ආකර්ෂණයන් ඇතුළු සම්භවයක් සහ සංස්කෘතික පැවැත්මක් සහිත සංසිද්ධියක්. ඒක විඳගන්න කැමැති විශාල පාඨක පිරිසක් තාම ප්‍රංශයේ ඉන්නවා. ඊ පොත් පළවීමට සාපේක්ෂව තාමත් මුද්‍රිත පොත් කර්මාන්තයට විශාල වෙළෙඳපොළක් සහිත පදනමක් තියෙනවා.
කුසුම්සිරි