සංචාරකයන්ගේ හදබිමක් වන සීගිරිය පෙනෙන මානයේ පිහිටි අලුත්ම හෝටලක් ගැනයි මෙවර අපේ කතාබහ. සීගිරි පිවිසුමට කිලෝමීටර පහක දුරින් පිහිටා ඇති මේ නවාතැනේ නම තමයි Cloudz Resort.
අක්කරයක භූමි භාගයක පැතිරුණු හෝටලය, සංචාරකයන්ට සොබාව සෞන්දර්යය මැදිකරගත් නිස්කලංක නිවාඩුවක් සමීප කරවිය හැකි තැනක්. හෝටලයේ පිළිගැනීමේ ස්ථානය, අවන්හල, මුළුතැන්ගෙය වගේම සෙසු බොහෝ තැන්වල පොල් අතු හෙවිල්ලා තියෙන නිසා මේ සොබාදම් මිතුරු බව වඩාත් හොඳින් කැපී පෙනෙනවා.
හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 20ක්. පිටතින් බොහොම චාම් අයුරින් පෙනෙන්නට තිබුණත් මේ කාමර තුළ සියලු නවීන අංගෝපාංග දකින්න පුළුවන්. ඩිලක්ස්, ස්ටෑන්ඩර්ඩ් සහ ෆැමිලි විදිහට වෙන්කරලා තියෙන මේ කාමරවල වායු සමීකරණ, මදුරු දැල්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, පෞද්ගලික නාන කාමර වගේ දේවල් අඩංගුයි.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ගැමි ආහාර වේලක් රස විඳින්න ප්‍රදේශයේ තියෙන හොඳම තැනක් විදිහටත් Cloudz Resort අවන්හල හැඳින්විය හැකියි. උදේ දිවා සහ රාත්‍රී තුන්වේලටම රසවත් දේශීය කෑමබීම මෙහි පිළියෙල කෙරෙනවා. මේ විදිහට බහුතරයක් ආහාර සඳහා යොදාගන්නේ හෝටල් වත්තේම වවන වස විසෙන් තොර කාබනික එළවළු සහ පළතුරු වීමත් විශේෂත්වයක්. ඒ වගේම ඉල්ලීම් මත අල් ෆ්‍රෙස්කෝ (එළිමහන්) ආහාර අත්දැකීමක් වුණත් සමීප කරන්න කාර්ය මණ්ඩලය සූදානම්. ඒ වගේම පිහිනුම් තටාකය අසලත් ගෙවත්තේත් එළිමහන් උත්සව සංවිධානය කරන්නත් බාබකිව් නයිට්ස් පවත්වන්නත් හැකියාව තිබෙනවා.
වනාන්තරයක් අද්දර පිහිටා ඇති නිසා විවිධ කුරුල්ලන් වර්ග නැරඹීමටත් මෙතැන නියමයි! ඊට අමතරව කැලෑව තුළ ඇවිද යන්නත්, අවට පිහිටි ගම්මානවල පාපැදි සවාරි යන්නත් පුළුවන්. සීගිරිය හැරුණාම පොළොන්නරුව, දඹුල්ල, පිදුරංගල, රිටිගල, මින්නේරිය - කවුඩුල්ල සහ හුරැළු වැව සෆාරි යන්නත් පුළුවන්. ඒ කියන්නේ දින ගණනාවක් නතරවෙලා ලබන්න අත්දැකීම් ගොඩක් මේ ආශ්‍රිතව පවතිනවා.
සනත් වීරසූරිය