2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කිරිපිටි මිලේ ලොකු වලියක්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:31 187

මෙරට කිරිපිටි ආනයනය සම්බන්ධ අර්බුදයක් නිර්මාණය වී තිබේ. එහි අවසානය කුමක් වේදැයි පැහැදිලි නැත. ඇතැම් විට එය කිරිපිටි හිඟයක් බවට පත්වීමට ඉඩ ඇතැයි කියැවේ. එනිසාම පුළුල් කෝණයකින් මෙම ගැටලුව හා එහි පසුබිම පිළිබඳ විවරණයක් කිරීමට අපි තීරණය කළෙමු. මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ද අපි විමසීමක් කළෙමු. එම මතයන් ද මෙම සටහන සමඟ දක්වා ඇත.

මෙරට කිරිපිටි සමස්ත අවශ්‍යතාවයෙන් සියයට අසූපහක් පිටරටින් ආනයනය කරයි. ඒ සඳහා විදේශීය ආයතන දෙකක් හා දේශීය ආයතන අටක් වේ. මෙරට මාසික කිරිපිටි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් අටදහසක් බවද කියැවේ. වැට් බදු ද ඇතුළත්ව කිරිපිටි කිලෝවකට රජය විසින් අයකරන බදු මුදල රුපියල් එකසිය හැත්තෑවක් පමණ වේ.

ඩොලරයේ ඉහළ යාම හා ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව මිල වැඩිකිරීමක් හෝ බදු අඩුකිරීමක් අවශ්‍ය බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගිය සමයේ රජයට අවධාරණය කර තිබුණි. එහෙත් ඔවුන් කරන ලද ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් නොවීය. ඒ හේතුවෙන් ආනයනයේදී පාඩු ලබන්නට සිදුවන බව පවසමින් එම සමාගම් වරායට ගෙනැවිත් ඇති කිරිපිටි තොග නිදහස් කර නොගැනීමට පසුගිය සතියේදී තීරණය ක‍ළේය. කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූයේ ඒ අනුවය.

මෙරටදී කිරිපිටි සඳහා පනවනු ලබන බදු සාධාරණීකරණය කිරීමට සියලු රජයන් ඉදිරිපත් කරන පොදු තර්කයක් තිබේ. ඒ නම් දේශීය කිරිගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, රට කිරිවලින් ස්වයංපෝෂිත කර ගැනීමේ පරමාර්ථයෙන් බදු පනවනු ලබන බවයි. එහෙත් මේ දක්වා දේශීය කිරිගොවියා ආරක්ෂා වීම  සිදුවී නැත. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන කිරිපිටිවල මිල නිසා මෙරට දිළිඳු මෙන්ම පහළ මධ්‍යම පන්තියේ පවුල් කලක පටන් අපහසුතාවයට පත්වෙමින් තිබේ. තවද මෙරට දේශීය කිරිපිටි නිෂ්පාදකයන් සිටින නමුත් ඔවුන් විවිධ කාරණා මත වෙළෙඳපොළේදී පසුගාමීය.

මෙම කාරණා සියල්ල දෙස බලන විට මෙම ගැටලුව ඒකපාර්ශ්වික, සාකච්ඡා නොකළ යුත්තක් බැව් පෙනේ. ආහාර ද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බවට පත්වන විට එයට පනවනු ලබන බදු අඩුවිය යුතුය. එමෙන්ම පාලන මිලක්ද තිබිය යුතුය. එහි ප්‍රමිතිය ගැන ද සැලකිය යුතුය. එහෙත් පාලන මිලක් කිරිපිටි වෙනුවෙන් පවතින නමුත් සෙසු කාරණා සාධනය වී දැයි සැකයකි. අපට මෙම ගැටලුව සම්බන්ධ පාර්ශ්වයන් හා සාකච්ඡාවේදී එය අවබෝධ විය.

දැනට පවතින අර්බුදය හමුවේ ආනයනකරුවන් පවසන්නේ තමන්හට රුපියල් එකසිය දහයක පමණ පාඩුවක් කිරිපිටි කිලෝවකින් සිදුවන බවයි. මාස හතරක පමණ සිට සිදුවන පාඩුව හේතුවෙන් තම ආයතනය මූල්‍ය අර්බුදයන්ට මැදිවන බව ඔවුහු කියා සිටිති. නැව් තොග නිදහස් කරගන්නා මෙන් පසුගිය අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔවුන් පවසන්නේ එසේ නිදහස් කර ගැනීමට ගියහොත් විශාල පාඩුවක් සිදුවන බවයි. එම සාකච්ඡාවේදී කිරිපිටි මිල සූත්‍රයක් පිළිබඳ කතාබහ වූ බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශයට පැවසීය.

මෙහි ආර්ථික, දේශපාලන කාරණා කිහිපයක් ද මතුකළ යුතුය. කිරිපිටි ආනයනය වෙනුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන හාරසිය පනහක් පමණ වැයවන බව කියවේ. එය කිසිසේත් අප වැනි රටකට දරාගත හැකි පරිමාවක් නොවේ. තවත් පසෙකින් කිව යුත්තේ මෙම බදු ගැසීම පිටුපස වන සැබෑ අරමුණ දේශීය කිරි කර්මාන්තය පමණක්ම නොවන බවයි. මිනිසුන් වඩාත් වැඩියෙන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවට බදු ගැසීම තුන්වැනි ලෝකයේ රටවල ආණ්ඩුකරණයේ න්‍යායයකි. රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම මෙහි පරමාර්ථයයි.

මෙයට සමගාමී දේශපාලන කාරණාවක් ද තිබේ. නව ආණ්ඩුවට ඇත්තේ තවත් වසර එකහමාරක පමණ කාලයකි. එළඹෙන්නේ ද මැතිවරණ සමයකි. ඒ අනුව කිරිපිටි මිල ඉහළ දැමීම මේ මොහොතේදී දේශපාලනිකව අවාසිදායක තත්ත්වයකි. අනෙක් පසින් පසුගිය සමයේ වූ රාජ්‍ය වැටුප් වැඩිකිරීම් ආදී විවිධ සහන ලබාදීම වෙනුවෙන් රජයට විශාල වශයෙන් වියදම් දැරීමට සිදුවිය. විශාල ණය කන්දරාවක් ද ආණ්ඩුවේ හිස මතට වැටී තිබේ. ඒ අනුව මේ මොහොතේදී කිරිපිටිවලින් ලැබෙන බදු ආදායම අහිමි කර ගැනීම අනුවණකමකි. හරි වැරදි කාගේ වුවද ආණ්ඩුව ද මෙහිදී ආර්ථික, දේශපාලනික අර්බුදයට මුහුණ දී ඇත.

ඉහත අප මතුකළ කරුණුවලට අමතරව දේශීය කිරි කර්මාන්තය පිළිබඳ සාකච්ඡා කළ යුතුය. ඇතැම් පිරිසකට අනුව කියැවෙන්නේ දේශීය කිරි කර්මාන්තය සාර්ථක නොවන්නක් බවයි. ඊට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කරන කරුණු රාශියකි. ප්‍රමාණවත් තෘණබිම් අප රටේ නොවීම, පිරිමි සතුන් මස් සඳහා අලෙවි කිරීමට සුදුසු සාමාජයීය පසුතලයක් මෙරට නොවීම, දේශීය සතුන්ගෙන් කිරි ප්‍රමාණවත් පරිදි නොලැබීම ඒ අතරින් කිහිපයකි. ආනයනකරුවන්ගේ පාර්ශ්වයෙන් ද මෙවන් තර්ක ඉදිරිපත් වෙයි.

කිරිගොවි සංවිධානය හා දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ පාර්ශ්වය මෙයට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරයි. නිසි වැඩපිළිවෙළක් නොවීම හා පහසුකම් නොමැතිවීම මෙම කර්මාන්තය අර්බුදයට ලක්වීමට හේතුව බව ඔවුහු පවසති. මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ හැකියාවක් පවතින බවද, මෙරට තුළම රටට අවශ්‍ය කිරිපිටි නිෂ්පාදනය කළ හැකි බවද ඒ අනුව කියැවේ.

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳව ද බරපතළ චෝදනා එල්ලවෙමින් තිබේ. මේ සියල්ල සලකා බැලූ විට අවධාරණාත්මකව කිවයුතු වන්නේ කිරි කර්මාන්තය සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බවයි.

අපි වර්තමාන ගැටලු දෙසට නැවත හැරෙමු. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ කිරිපිටි පවතින්නේ සති තුනක පමණ කාලයකට බව ආනයන සමාගම් කියයි. වරායෙන් කිරිපිටි තොග නිදහස් කොට නොගතහොත් සති තුනක් ඇතුළත වෙළෙඳපොළ කිරිපිටි හිඟයක් ඇතිවීමට ඉඩ තිබේ. සම්පූර්ණ කිරිපිටි මත යැපෙන ළමා පරපුරක් අද වනවිට මෙරට බිහිවී අවසානය. එම නිසාම එවන් හිඟයක් තුළින් විශාල ජාතික අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ තිබේ. තවත් පසෙකින් සමාගම්වල ඉල්ලීම ව්‍යංගයෙන් කෙරෙන තර්ජනයක් බඳු යැයි හැඟේ. කිරිපිටි ඒකාධිකාරයක් ලොව තුළ වන බවට තොරතුරු වාර්තා වී තිබේ. එහෙත් අප කළ විමසීම් වලදී සමාගම් එම කාරණාව ප්‍රතික්ෂේප කළේය.

කිරිපිටි ආනයනය කිරීම සම්බන්ධ අර්බුදයේදී සෑම පාර්ශ්වයකටම තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි සාධාරණ ලෙස පෙනෙන හේතු තිබෙන බව අවසානයේ දී අපට පෙනී යයි. කෙසේ නමුත් සියල්ල හමුවේ අසාධාරණයට ලක්ව තිබෙන්නේ කිරිපිටි මිලදී ගන්නා පාරිභෝගික ජනතාවයි. සැබෑවට යම් සහනයක් ලැබිය යුත්තේ නම් එය හිමිවිය යුත්තේ ජනතාවටය.

 චමිඳු නිසල් ද සිල්වා

ඩොලරයේ නැගිල්ලයි ලෝක වෙළෙඳපොළේ මිලයි ලොකු ගැටලුවක්
ලක්ෂ්මන් වීරසූරිය - ආරිය කිරි සමාගම් විධායක නිලධාරී

“කිරි කියන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක්. පාසල් ළමුන්, කුඩා දරුවෝ කිරි වීදුරැවක් උදේට බීලා තමයි යන්නේ. කිරිවලින් ලබාගන්නා පෝෂණය වෙනත් දෙයකින් ලබාගන්න බෑ. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා තේරුම් කරලා දෙන්න. කිරිපිටි කිලෝ එකක් හදන්න දියරකිරි ලීටර් අටක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය වෙළෙඳපොළේ දියරකිරි ලීටරය රුපියල් එකසීය අටසිය පනහක් වෙනවා. එකසිය පනහේ ඒවා අටක් කියන්නේ රුපියල් එක්දහස් දෙසීයක්. ඒ අනුව රුපියල් අටසිය හැටේ කිලෝ එකේ පැකට් එකක් ඇතුළේ තියෙන්නේ රුපියල් එක්දහස් දෙසීයක වටිනාකමකින් යුතු කිරි.

පසුගිය කාලයේ දිගින් දිගටම ඩොලරයේ අගය වැඩි වුණා. ඒ අතරතුර කිරිපිටි මිලත් ලෝක වෙළෙඳපොළේ වැඩි වුණා. ඩොලර් එක රුපියල් එකසිය හැට පහට තියෙද්දී තමා දැන් භාවිත වන පාරිභෝගික මිල සටහන් කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් දෙදහස් පන්සිය පනහයි. දැන් ඒක ඩොලර් දෙදහස් නවසිය හැත්ත පහයි. ඩොලර් එක රුපියල් එකසිය අසූ තුනයි.

අපි දන්න විදිහට කිරිපිටි ගෙනාපු ආයතන එකකටවත් වරායෙන් ඒවා නිදහස් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. මොකද, බැංකු ණය, ලාභයක් නැති තත්ත්වයකට බලපෑවා. පසුගිය කාලේම හරි පිළිතුරක් ලබාගන්න බැරි වුණා. රජයේ වෙනස්වීම් බලපෑවා දවස් පනස් ගාණකට වගේ. ඉස්සෙල්ලා අපි කතා කරපු එක නැතිව ගියා. වෙළෙඳ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මාරු වුණා. වර්තමානයේදී හර්ෂ ද සිල්වා ඇමැතිතුමා එක්ක කතා කරලා අපි තේරුම් කරලා දුන්නා. එතුමා කිව්වා සතියක් ඇතුළත අධ්‍යයනයක් කරලා දීර්ඝකාලීන සැලසුමක් ලබාදෙන්නම් කියලා.”

ඔය පිටිකිරි කියන්නේ කිරිද කියලා සොයා බලන්න ඕනෑ
ආරියසීල වික්‍රමනායක - පැල්වත්ත කිරි සමාගමේ සභාපති

“අපි ගාව තියෙනවා කිරි ලංකාවේ. අපේ ගැසට් එකේ තියෙනවා ලංකාවට ගෙනෙන කිරි මීහරකකුගේ හෝ එළහරකුගේ පමණක් විය යුතුයි කියලා. ඒක තමයි ලංකා ආණ්ඩුවේ නීතිය. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ ගේන්නේ කිරි ද කියලා.  අපි දන්නේ නෑ මොන කුඩු ද ගේන්නේ කියලා. මිලියන පහක් හරක් ඉන්න මේ චූටි රටේ කිරි නෑ. ඉන්දියාවේ හරක් ඉන්නවා මිලියන තුන්සීයක්.

අන්තර්ජාලයේ තියෙනවා ලැක්ටෝස් අමෙරිකාවෙන් ගේනවා, ෆාම් ඔයිල් ටික මැලේසියාවෙන් ගේනවා. ඒ දෙක කලවම් කරලා තමා මේ කිරිපිටි හදන්නේ. උඹලා තුන්වැනි ලෝකේ රටවල්. උඹලාට කිරි බටර් ගන්න සල්ලි නෑ. ඒ නිසා තමා උඹලාට මේක දෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා.

මං කියනවා කිරි නම් අර ආණ්ඩුවේ ගැසට් එකේ තියෙන විදිහට කිරි කියලා ඔප්පු කරන්න කියලා. ලංකා ආණ්ඩුවේ ඇනුවල් රිපෝට් එකේ තියෙනවා ලංකාවේ ලක්ෂ දහතුනක් හරක් ඉන්නවා කියලා. හැබැයි ආණ්ඩුව කියනවා කිරි ගන්නේ ලක්ෂ දෙකහමාරක විතරයි කියලා. මොකද ඊට වඩා අරගෙන විකුණන්න බෑ. කිරි නොවන කටු පොල්තෙල්වලින් හදපු සුදු පාට කුඩක් දානවා කිරි කියලා ගහලා. පැකට් එකේ හරකෙක් පෙන්නන්නෙත් නෑ. අපේ රටේ දරුවන්ට ආදරෙයි අපි. පාසල් ළමයින්ගෙන් සීයට පහළොවකට දියවැඩියාව. අපි පොඩි කාලේ එහෙම තිබ්බෙ නෑ. ඔය රසායන ද්‍රව්‍ය දාල දරැවන්ට කිරි පෙව්වාම ඕක තමා වෙන්නේ.”

පහසුකම් දෙනවානම් කිරිවලින් රට ස්වයංපෝෂිත කළ හැකියි
සමස්ත ලංකා ගොවිජන සංවිධානය ජාතික සංවිධායක - නාමල් කරුණාරත්න 

“අද කිරිගොවියා හැම පැත්තකින්ම අසරණවෙලා තියෙනවා. වතුර ලීටරයකට වඩා කිරි ලීටරයේ මිල අඩුයි. ගොවියාගේ නිෂ්පාදන වියදම වැඩිවෙලා. බෙහෙත්වල මිල, පුන්නක්කුවල මිල වැඩිවෙලා. ඒ වගේම තමයි කිරිවල ගුණාත්මක බව බලනකොට රජය නියම කළාට මිලක් ඒ මිල ගොවියාට ලැබෙන්නේ නෑ. 

රජයේ ආයතනයක් වන මික්කෝ ආයතනයට කිරි දෙන ගොවියා මුහුණදෙන ප්‍රශ්නයක් තමයි කිරි දුන්නාට පස්සේ සල්ලි හම්බවෙන්නේ නෑ. දැන් සති හතරක කිරි සල්ලි ගොවීන්ට ගන්න තියෙනවා. දැන් මේක දිගටම තියාගෙන එනවා.

කිරි නිෂ්පාදනය ගත්තාම ලක්ෂ දොළහත් දහතුනත් අතර ප්‍රමාණයක් අපට හරක් ඉන්නවා. කිරිගොවියෝ ලක්ෂ පහක් විතර ඉන්නවා. ඇත්තටම අපි දේශීය කිරි පරිභෝජනය කරන ප්‍රමාණය හරි අඩුයි. පිටිකිරිවලට මිනිස්සු හුරුවෙලා තියෙන්නේ. ඒ තත්ත්වය වෙනස් කරලා ආකල්පමය වෙනසක් ඇතිකරන්න ඕන. ඒ නිසා කිරිගොවියාට සහන ලබාදෙන්න කියලා කිරිපිටිවලට බදු ගහන එක නෙවෙයි ආණ්ඩුව කරන්න ඕන. ඒක මේකට හිලව් කරන එක සාධාරණ නෑ.

දේශීය කිරිගොවියා නගාසිටුවන්න වැඩපිළිවෙළක් හදලා ඉවරවෙලා කිරිපිටිවලට බදුපිට බදු ගැහුවත් කමක් නෑ දේශීය කිරි ප්‍රචලිත කරන්න, සාධාරණ මිලකට පාරිභෝගිකයාට දේශීය කිරි ලබාගන්න, අවශ්‍ය වටපිටාව හදන්නේ නැතුව නිෂ්පාදන මිල අඩුකරලා කිරි නිෂ්පාදනය කරන එකට ගොවියා උනන්දු කරන්නේ නැතුව, රජයට විකුණපු කිරිවල සල්ලි ටිකක් ගොවියාට දෙන්නේ නැතුව ගොවියා ආරක්ෂා කරන්න කියලා කිරිපිටිවලට අසීමිත ලෙස බදු ගහන එක අපි අනුමත කරන්නේ නෑ.

කිරිවලින් රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ආනයනකරුවන් කියන කතාව අපි පිළිගන්නේ නෑ.  ඒකට අවශ්‍ය පහසුකම් රජය ලබාදෙන්න ඕන.”

සාකච්ඡා සාර්ථක වේවි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් - එම්.එස්.එම්. ෆවුසර්

“මේ සම්බන්ධ රැස්වීමක් පැවැත්වුණා. අපි මුදල් අමාත්‍යාංශය, කස්ටම් එක ආදී සියලු පාර්ශ්ව එකතුවෙලා ආනයනකරුවන් එක්ක රැස්වීමක් පැවැත්වුවා. කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන් ඇමැතිතුමාගේ අනුදැනුම ඇතිව ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා තමයි රැස්වීමේ මුලසුන දැරුවේ. එතනදී එකඟතාවයකට ආවා මිල සූත්‍රයකට අපි යා යුතුයි කියලා. ඒකට අවශ්‍ය මූලික කරුණු සාකච්ඡා කළා. ඉදිරි සති දෙක ඇතුළතදී අපි යම්කිසි සූත්‍රයක් ඇතිකරනවා. ඒකෙදී  සියලුම සාධක බලලා කොයි පැත්තකටත් අසාධාරණයක් නොවෙන්න සූත්‍රයක් හදන්න එකඟතාවයකට ආවා.

මං හිතන්නේ නෑ හිඟයක් ඇතිවෙයි කියලා. මොකද, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල අඩුවෙනකොට මිල අඩුකිරීමක් නිරන්තරයෙන් සිද්ධවෙලා නෑ. ඒ අවස්ථාවේදී ආනයනකරැවන්ට ලොකුවට යන්නේ නැතුව රජයෙන් ඒ වෙලාවට නිසි විදිහට බද්දක් පනවලා රජය ආදායම් අරන් තියෙන අවස්ථාවල් තියෙනවා. මිල උඩට පහළට යාමෙන් ලොකු අසාධාරණයක් වෙලා නෑ. ඒ වුණාට මේ දවස්වල රුපියලේ අවප්‍රමාණය එක්ක පොඩි බලපෑමක් තියෙන නිසා අපි ඉල්ලීමක් කළා ආනයනය කරන සමාගම් සියල්ලටම වරායේ තියෙන ඒවා ටික නිදහස් කරගෙන අවශ්‍ය කටයුතු කරගෙන යන්න කියලා. මං හිතනවා එයාලත් ඒක සාධනීය විදිහට සලකා බලයි.

සතුටු සාමීචියෙන් තමා හැමකෙනාම රැස්වීම ඉවරවෙලා ගියේ සූත්‍රයට අදාළ මූලික කරුණු සාකච්ඡා කළාම. එයාලගේ සංගමයේ ඇවිල්ලා හිටපු නියෝජිතයන් හැමකෙනාටම එකඟවෙන්න පුළුවන් විදිහට මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය, දේශීය නිෂ්පාදකයන්ගේ කුඩා කර්මාන්ත හා සරස නිෂ්පාදන දෙපාර්තමේන්තුව ආදී පුළුල් නියෝජනයක් තිබ්බා. ඒ නිසාම මේක සාර්ථක වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.”