බෝවිටියා දං පලු කං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මාදං වැහි වැහැලා නංගෝ
සිහි වනවිට තොලකට ද නෙමෙයි මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පලු කං කරඹ ගොඩයි නංගෝ
1960 – 70 දශකවල ඉතා ජනප්‍රිය වූ ඒ ගීතය ගායනා කළේ සුනිල් සාන්ත විසිනි. එදා ගමේ පරිසරයේ කුඩා දරුවකුට ආහාරයට ගතහැකි පළතුරු වර්ග රාශියක් ගැන එහි සඳහන්ය. අද වනවිට බෝවිටියා, දං, පලු, කරඹ, කෙසේ වෙතත් බෙලි, දිවුල්, නාරං, දොඩම්, නමිනං, ජම්බු වැනි ප්‍රකට පළතුරු පවා භාවිතයෙන් ඉවත් වී ඇත. එදා ගෙවත්තෙන් නොමිලේ ලැබුණු ඉහළ පෝෂණීය ගුණයෙන් යුත් පළතුරු වෙනුවට අද වැඩි දෙනෙක් ඇපල්, මැන්ඩරින් පිටරට දොඩම්, මිදි වැනි විදේශීය පළතුරු වර්ග කෙරෙහි අවධානය යොමු කර තිබීම කනගාටුවකි. බොහෝ විට අපි ලෙඩෙකු බැලීමට රෝහලට යනවිට රැගෙන යන්නේ ද පිටරටින් ගෙන්වා විවිධ රසායනික තවරා කල්තබා ගැනීමට සකස් කළ ඇපල්, මිදි පළතුරු මල්ලකි. එය ලෙඩා තවත් ලෙඩ ගොඩකට ඇද දැමීමක් බව හුඟදෙනෙක් නොදනිති.
මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ගන්නොරුව කෘෂිපර්යේෂණ ආයතනයේ පළතුරැ බෝග පර්ෙය්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය කල්‍යාණි කැටිපෙආරච්චි මෙසේ පැවසුවාය.
“ඉස්සර හැම ගෙදරකම වගේ නිවස වටා පළතුරු ගස් සිටුවාගෙන තිබුණා. වෙරලු, අඹ, පේර, ලොවි, නමිනං, දොඩම්, ජමනාරං ගස් බොහෝ නිවෙස් ඉදිරිපිට දැකගත හැකි වුණා. ඊට අමතරව නිවෙස අවට ළඳු කැලෑවල දං, අඹුල් පේර, කරඹ, එරමිනියා වගේ පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් තිබුණා. ලොකු කැලෑවල දිවුල්, වීර, කෝන්, ගල්සියඹලා, පලු, මෝර තිබුණා. අපි ඒවා පුංචි කාලේ ඕනෑ තරම් ආහාරයට ගත්තා. පාසලේ යාලුවොත් එක්ක පළතුරු බෙදාහදා ගත්තා. වෙනම පළතුරු සංස්කෘතියක් අපට තිබුණා.”
එදා තිබූ විශාල ගෙවතු අද නැත. පර්චස් 10 – 12 ඉඩමකට බොහෝදෙනා කොටුවී සිටිති. ගම අවට තිබූ කැලෑ ඉඩම් ද අතුරුදහන් වී ගොඩනැගිලි ඉදිවී අවසානය. මේ නිසා වන පළතුරැ සංස්කෘතිය බොහෝ ප්‍රදේශවලින් තුරන් වී ගොසිනි. අදත් වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ පිටිසර ප්‍රදේශවල තරමක් වන පළතුරු තිබුණ ද ඩිජිටල් ලෝකයේ ළමා පරපුර තුළ එවැනි පළතුරු සොයා ගොස් ආහාරයට ගැනීමේ සංස්කෘතියක් ද නැත.
“මේ වනවිට අපි බෙලි, දිවුල්, දොඩම්, අනෝදා වගේ පළතුරු පවා ආහාරයට ගන්නේ ඉතා අඩුවෙන්. අඹ, කෙසෙල්, අන්නාසි, පැපොල්, අලිගැටපේර වගේ පළතුරු වර්ග කිහිපයකට අපි සීමා වෙලා. මේ පළතුරු විශාල වතු වශයෙන් වාණිජ වගාවන් ලෙසත් කරනවා. පිටරට යවනවා. එවැනි දෙයක් සිදුවූවත් පෝෂණීය ගුණයෙන් ඉහළ අපේම දේශීය පළතුරු ගොඩාක් අභාවයට ගිහින්. මේ දේශීය පළතුරු වර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මෑතක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කර තිබෙනවා. 2004 දී ඌන භාවිත පළතුරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කළා. ගන්නෝරුව, හොරණ පළතුරු බෝග පර්යේෂණ මධ්‍යස්ථානය, ගිරාඳුරුකෝට්ටේ මධ්‍යස්ථානවල වැඩි උනන්දුවකින් ආරම්භ කළා.” ආචාර්ය කල්‍යාණී සඳහන් කළාය.
“අමතක වී ගිය පළතුරු වර්ගවල විශේෂත්වය තමයි අනෙක් පළතුරු වර්ගවලට වඩා ඖෂධීය ගුණය ගොඩාක් වැඩියි. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි.”
ආචාර්ය කල්‍යාණීගේ ප්‍රධානත්වයෙන් මෙරට දේශීය පළතුරු පිළිබඳව කළ පර්යේෂණ රැසකි. එම පර්යේෂණවල අරමුණ පළතුරු පහසුවෙන් වගාකර ගෙන සාමාන්‍ය ජනතාවට භාවිතයට ගැනීමට උනන්දු කිරීමයි. “බෙලි ගත්තොත් ගෙඩියේ ප්‍රමාණය, වර්ණය, බීජ තියන ප්‍රමාණය, ගම් තියන ප්‍රමාණය වගේ විවිධ වර්ග රාශියක් තිබෙනවා. අපි වගා කර ගන්නවා නම් වඩාත් කැමති ක්‍රීම් ගතිය වැඩි ප්‍රමාණයෙන් විශාල බෙලිවලටනේ. ඒ වගේ බෙලි එකතු කරලා පර්යේෂණ කටයුතු කළා. මොර, මසං, වෙරළු වගේ පළතුරු වර්ග ගැනත් පර්යේෂණ කර බද්ධ කර සුදුසු ප්‍රභේද නිර්දේශ කළා. ඒ වගේම පළතුරු ශාක විශේෂ සංරක්ෂණය කිරීමත් අපි කළා. ගන්නොරුව, හොරණ, ගිරාඳුරුකෝට්ටේ වගේ කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානවල පළතුරු ශාක එකතු තිබෙනවා. රජයේ ආයතවලට වගේම පුද්ගලික අංශයටත් දේශීය පළතුරු පැළ අපි ලබාදුන්නා. දැන් ඉඩම්වල ඉඩකඩ ප්‍රමාණය අඩු නිසා බෙලි, දිවුල්, සැපතිල්ලා, ලාවුලු වගේ පළතුරු බඳුන්වල වගා කිරීමේ ක්‍රමයකුත් හඳුන්වා දුන්නා.”
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ පාරිසරික කලාපයක් ලෙස ලෝකයේ ඇගැයීමට ලක්ව තිබේ. ජෛව විවිධත්වය ඉහළ නංවන ශාක අතර පළතුරු විශේෂ තිබේ. ඒ අනුව ආසියාවේ පළතුරු විවිධත්වය ඉහළම රටකි. ශ්‍රී ලංකාවේ පළතුරු වගාව හෙක්ටයාර් 150,000ක් පමණ පැතිරී තිබුණ ද ඉන් 90%ක්ම දැකගත හැක්කේ ගෙවතු ආශ්‍රිතවය. මේ නිසා වාණිජ කර්මාන්තයක් ලෙස පළතුරු ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැකසීමද අසීරු වී තිබේ. ආහාරයට ගතහැකි පළතුරු විශේෂ 200ක් පමණ මෙරට පැතිර තිබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ප්‍රකටව තිබෙන්නේ පළතුරු වර්ග 10ක පමණ ප්‍රමාණයකි. වෙරළු, උගුරුස්ස, බෙලි, දිවුල්, ගඩුගුඩා, නෙල්ලි, අනෝදා වැනි දේශීය පළතුරු රාශියක් පිළිකා හටගැනීම වළක්වන අතර තරුණ බව හා දීර්ඝායුෂ ලබාදෙන ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් සමන්විතය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනකට පළතුරු ග්‍රෑම් 200ක්වත් ආහාරයට ගතයුතු බව පෝෂණ විශේෂඥයෝ පවසති.
“අද හුඟදෙනෙක් මිලදී ගන්නේ කහපාට පොත්ත තියන පිටරට නාරං. අපේ දේශීය නාරං වර්ග ගොඩාක් තිබුණා. ඒ වගේම මධ්‍යම පළාතේ නාරං වතු තිබුණා. ඒවා පසුව අත්හැරුණා. ඒ පළතුරු වර්ග පරිභෝජනය අපි ආරම්භ කළ යුතුයි.
ඌන භාවිත පළතුරු පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළතුරු බෝග පර්යේෂණ මධ්‍යස්ථානය ද එක්විය. අනුරාධපුර රිටිගල, පොළොන්නරුවේ වනාන්තර, යාපනය ආදී ප්‍රදේශවල කෘෂි විද්‍යාඥයන් සැරිසැරුවේ මසං, මොර සහ ගල්සියඹලා පිළිබඳව පර්යේෂණ පැවැත්වීමටය. මාදං, වීර සහ පලු විශේෂ සොයා ඔවුහු මහනුවර, කුරැණෑගල, වවුනියාව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, හබරණ ප්‍රදේශවල වනාන්තර පීරූහ.
ඌන භාවිත පළතුරු භාවිතය ප්‍රචලිත කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත් වෙහෙස ටිකෙන් ටික පළ දරමින් තිබේ. මසං, මොර, උගුරැස්ස, වැනි පළතුරු පැළ තම ගෙවත්තේ පෝච්චියක සිටුවා ගැනීමට නාගරිකව දිවිගෙවන සමහරු උනන්දුවක් දක්වති. මසං ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් පසුගියදා සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබේ. නොමිලයේ මසං පැළ ලබාදී ගොවීන් උනන්දු කිරීමට එහිදී කටයුතු කෙරේ. ඒ අතරම දිවුල් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව දිවුල් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමද පසුගියදා සිදුකෙරිණි. මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් විශේෂ ප්‍රමාණය 176 දක්වා ඉහළ යයි. ANL – 1 හා ANC – 2 ලෙස නව දිවුල් ප්‍රභේද නම් කර තිබේ.
ඉතින් ඔබත් රසායනික තැවැරූ ඇපල් ගෙඩියක් මිලදී ගැනීමට පෙර අපේ දිවුල් ගෙඩියක්, බෙලි ගෙඩියක් මිලදී ගැනීමට හුරුවිය යුතු කාලය පැමිණ තිබේ.
►කුසුම්සිරි විජයවර්ධන