2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කතරගම කිළිටි කරන ජාවාරම්කාරයෝ

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

මහානුභාවසම්පන්න කතරගම දෙවි හාමුදුරුවන්ගේ පුදබිම ලාංකික සැමගේ මෙන්ම විදෙස් ජාතික සියලු දෙනාගේද සිත් ඇද බැඳගත් පූජනිය වූ සිද්ධස්ථානයකි. දිනපතා මෙහි යන එන බැතිමතුන් මේ පුදබිමට එන්නේ මහත් වූ භක්තියකින් යුතුවය.

පසෙකින් කිරිවෙහෙර සෑ රදුන් වැඩ සිටින අතර තවත් පසෙකින් මහානුභාවසම්පන්න අෂ්ඨඵල බෝධීන් වහන්සේත් කතරගම දෙවි හාමුදුරුවන් වැඩ සිටින දේව මාලිගයත් පිහිටා තිබේ. සිව්දෙසින්ම සතරවරම් දෙවිවරු ඇසිපිය නොහෙලා මේ පූජනීය භූමිය ආරක්ෂා කරන අතරේ තවත් පිරිසක් මේ පූජනිය භූමියට කැළලක් වන අයුරින් කටයුතු කිරීම ශෝචනීය වූ කරුණකි.

අද වනවිට කතරගම පුදබිම ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව කනගාටුවෙන් නමුත් කිව යුතුව තිබේ. පසුගිය දින අප කතරගම පුදබිම පුරා ඇවිද ගියේ එහි සිදුවන ජාවාරම් පිළිබඳව සොයා බැලීමටය. එහි ගිය අපට දැනුණේ කතරගම පුදබිමට මේ වනවිට නිල වශයෙන් නැත්තේ වයින් ස්ටෝර්ස් එකක්, මස් කඩයක් හා මාළු ලෑල්ලක් පමණ බවයි. අන් සියල්ලම මේ වනවිට කතරගම පුදබිමේ දක්නට තිබේ. නිල වශයෙන් කතරගම පුදබිමේ වයින් ස්ටෝර්ස්, මස් කඩ ස්ථාපනය කර නැතත් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට හොර පාරෙන් එම පහසුකම්ද ලැබෙන බවද නොරහසකි.

පළමුවෙන්ම අප කතරගම පූජා නගරයට ඇතුළු වීමු. බලහත්කාරයෙන් මෙන් පාර මැදට පැන්න තරුණයෙක් අපගේ වාහනය නවතා “එන්න පූජා වට්ටියක් ගන්න මගේ කඩේ තියෙනවා. වාහනය නවත්වන්නත් පුළුවන්” යැයි පැවසීය. අපිද ඔහු පසුපස ගියෙමු. කඩයක් පෙන්වූ ඔහු මේ මහත්වරුන්ට පූජා වට්ටියක් දෙන්නැයි පැවසූ අතර වාහනයද නැවතීමට කඩය ඉස්සරහින්ම පහසුකම් ලැබිණි. රුපියල් 750ක් ගෙවූ අපට පූජා වට්ටියක් ලැබුණි. පූජා වට්ටිය රැගෙන යන්න සූදානම් වනවිට අසල ටිකට් පොතක් අතැතිව සිටි අයෙකු පැමිණ මෙතන වාහන නවතන්න බෑ. වාහනය පාක් එකට දමන්නැයි පැවසීය. මට වාහනය නැවැත්වීමට ස්ථානයක් පෙන් වූ පුද්ගලයා ඒ වන විටත් අතුරුදන් වී හමාරය. කරන්න දෙයක් නැතිය. ටිකට් එකක් රැගෙන නැවතත් වාහනය පාක් එකට දැමුවෙමි. කරුණු සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ වාහනයක් නවතා පූජා වට්ටියක් රැගෙන යාමට සලස්වන අයෙකුට පළතුරු කඩයෙන් 30%ක කොමිෂන් එකක් දෙන බවයි. කතරගම පූජා නගරයට එන සෑම බැතිමතෙකුම මෙලෙස නගරයේ සිටම සුරාකෑමට ලක්වන්නේ ඉතාමත් නින්දිත අයුරිණි.

මැණික් ගඟද පසුකර අප පූජා භූමියට ඇතුළු විමට ගියවිට එහිද යතුරුපැදිකරුවන් පාලම මතින් ගමන් කරන්නේ එහි යන එන බැතිමතුන්ගේද ආරක්ෂාව පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරවය.

මැණික් ගඟද පසුකර පූජා නගරයට ඇතුළු වූ අපට අදහාගත නොහැකි වූයේ එහි ඇති පූජනීය භාවයට හානිකරන පිරිස් සැමතැනකම අරක් අරගෙන හිටි නිසාවෙනි. පූජා වට්ටියක් අරගෙන පෝලිමේ සිටි අප අසලට පැමිණි තරුණයෙකු ඇහුවේ “සර් පෝලිමේ ඉස්සරහට දමලා දෙන්නද? ඉක්මනට යන්න පුළුවන් පෝලිමේ ඉන්නේ නැතිව.” යනුවෙනි. ඒ කොහොමදැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ රුපියල් 1000ක් දෙන්න කියාය. කතරගම නගරය තුළ ජාවාරම් සිදුවීම සාමාන්‍ය දෙයක් යැයි සිතුවද කතරගම් දෙවිහාමුදුරුවන් වැඩ සිටින දේවාලය අසලද ඔබ මොබ ඇවිද යන්නේ වැඩි වශයෙන් ජාවාරම්කරුවන්මය. මොවුන් සෑම දිනකම ගෙදරින් පිටත්ව කතරගම පුදබිමට එන්නේ හරියට රස්සාවට යන අයෙකු මෙනි. දවස පුරා පූජා නගරයේ ඇවිද යන මෙම ජාවාරම්කරුවෝ සල්ලි හම්බ කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරති. කතරගම නගරය පුරාම ජාවාරම්කරුවන්ගේ එකම තෝතැන්නකි. දෙවියන් පුදන්නට ගන්නා පූජා වට්ටියේ පටන් සියල්ලම ජාවාරම් බවට පත්ව ඇති බව කනගාටුවෙන් නමුත් ලිවිය යුතුව ඇත.

60 දශකයේදී හිටපු අග්‍රාමාත්‍යවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කතරගම ගැසට් නිවේදනයක් මගින් පූජා නගරයක් බවට පත් නොකෙරුණි නම් අද කතරගම පුදබිම මෙලෙසවත් නොමැති තරම්ය. ඇත්තේ ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් පමණි. අද වනවිට පූජා නගරයේ ත්‍රිවීල් පාක් දැකිය හැකිය. එමෙන්ම පූජා නගරය හරියට රථගාලක් මෙන් විවිධ වර්ගයේ වාහන කිරිවෙහෙර ආසන්නයේ නවතා දමා තිබේ. වැඩි ගාණක පූජා වට්ටියක් ගත්තම පාස් එකක්ද ලබාදීමේ අපුරු ක්‍රමයක්ද කතරගම පූජා වට්ටි කඩ ආශ්‍රිතව ක්‍රියාත්මකය.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරධිපති කොබවක ධම්මින්ද නාහිමියන් සේම මොනරාගල දිස්ත්‍රික් මහ දිසාපතිවරියද මේ ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇතත් අදටත් එම ගැටලු එලෙසම පවතී. පූජා භූමියට වාහන ඇතුළු කිරීම හේතුවෙන් පුරා වස්තුවලට මෙන්ම කිරිවෙහෙර සෑ රදුන්ගේ ඉරිතැලීම් පවා සිදුවිය හැකි බව විහාරාධිපති හිමියන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දී තිබේ. මොනරාගල දිස්ත්‍රික් දිසාපතිවරියද පොලීසියට උපදෙස් දී ඇත්තේ මේ සඳහා නීතිය වහා ක්‍රියාත්මක කරන ලෙසයි. එහෙත් කාගේ හෝ බලපෑමක් නිසා අදටත් කතරගම පූජා නගරය හා පූජා භූමියේ පූජනීයත්වය ආරක්ෂා කරගැනීමට නොහැකි වී තිබේ. අනවසරයෙන් වෙළඳාම් කරන පිරිස් හා යාචක වෘත්තීයේ නියැලුනු පිරිස් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියටද නොහැකි වී ඇත්තේ ඇතැම් දේශපාලනඥයන් නිසාවෙන් බව බොහොම පැහැදිලිය. පොලීසියට අල්ලාගෙන එන අනවසර වෙළඳුන් දේශපාලනඥයන් පසුපස යාම නිසා පොලීසියට දුරකතන ඇමතුමක් එන්නේ ඔය අහිංසක මිනිස්සු අත්හරින ලෙස පවසමිනි.

කතරගම කිරිවෙහෙරට යන මාර්ගය දෙපස මල් කඩ හැරෙන්නට වෙනත් වෙළෙඳාම් තහනම්ය. එහෙත් අද වනවිට මාර්ගය දෙපසම මල් කඩ මෙන්ම අනෙකුත් වෙළෙඳාම්ද තිබේ.මල් කඩවලද අද වනවිට වතුර බෝතල් පූජා වට්ටි ඇතුළු විවිධ දෑ අලෙවි කිරීමද සිදුවන අයුරු දැකිය හැකිය. වගකිවයුතු පාර්ශව දෑස් නොපෙනෙන සේ සිටීම පුදුමයට කරුණක් බවට පත්ව තිබේ.

නගරයේ මෙන්ම පූජා භූමියේද තැන තැන යාචක වෙස් ගත් ජාවාරම්කරුවෝය. පුදබිම තුළ සත්‍ය ලෙසම යාචකයන් ලෙස සිටිනුයේ ඉතාමත් සීමිත දෙනෙකු පමණි. වැඩි දෙනෙකු යාචක වෙස් ගෙන ඇතත් ඒ ඒ යාචකයන් සඳහා අයිතිකරුවන්ද සිටිති. උදෑසනින් වාහනවලින් ගෙනැවිත් බස්සන ඇතැම් යාචකයන්ගේ අයිතිකරුවන් දිනකට දෙතුන් වරක් පැමිණ  එකතු වන මුදල් රැගෙන යන අයුරුද අප නෙත ගැටුණි. ඒ අතරේ ඇතැම් යාචකයන් රැඳී සිටින ස්ථාන බෙදාගැනීමට නොහැකිව රණ්ඩු වෙන අයුරු අපට දැකිය හැකි විය. වන්දනාවේ පැමිණෙන බැතිමත්හු මේ යාචකයන්ගේ කපටි බස්වලට රැවටෙති. යාචකයන් සිඟමනේ යෙදෙන අතරවාරයේ තවත් දෙයක් අප නෙත ගැටුණි. ඒ විවිධ දානපතියන් පැමිණ මෙම යාචකයන් සඳහා බත් පාර්සල් ලබාදීමයි. මෙලෙස බැතිමතුන් ලබාදෙන බස් පාර්සල් එම වෙලාවෙදීම තවත් අයෙක් පැමිණ එකතු කරගෙන යයි.

අපටද මෙය ගැටලුවක් වූ නිසාවෙන් අපද එලෙස බත් පැකට් එකතු කරගෙන යන්නා පසුපස හඹාගියේ සිදුවන්නේ කුමක්දැයි තහවුරු කරගැනීමටය. එහිදී දැකිය හැකිවූයේ යාචකයන්ගෙන් රුපියල් 50ත් 60ත් අතර මුදලකට ලබාගන්නා මෙම බත් පාර්සල් මාර්ගය දෙපස කුඩ යට හා හෝටල්වල තබාගෙන නැවත වන්දනාවේ පැමිණෙන පිරිස් වෙත අලෙවියට තබන අයුරුය. මේ අතරේ බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර බෙදාගත නොහැකිව එකිනෙකා පැටලෙන අවස්ථාද අපට දැකිය හැකි විය. එකම ස්ථානයක සිටි යාචකයන් දෙදෙනෙකුට වන්දනාවේ පැමිණි බැතිමතෙක් රුපියල් සියයක් දී දෙන්නත් එක්ක බෙදාගන්නැයි පැවසීය. එහෙත් මුදල ලබාගත් යාචකයා අනෙකාට කොටසක් දීම ප්‍රතික්ෂේප කළේය. දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය. ගෙවුණේ නිමේෂයකි අතේ කරේ විවිධ වර්ගයේ මාල දමාගත් රැවුලත් තරමක් වවා අතේ පච්චයක්ද කොටා තිබුණු අයෙක් එම ස්ථානයට පැමිණ ගැටලුව සමතයකට පත්කර දෙදෙනාගෙන් කිසියම් මුදලක්ද රැගෙන ඉන් පිටව ගියේය.

යාචකයන් කිහිප දෙනෙකුටම අප සමීප වී කළ කතාබහේදී අනාවරණය කරගත හැකිවූයේ අරුම පුදුම කතාය. එක් යාචකයෙකු පැවසුවේ තමන් මුදලාලි කෙනෙකු යටතේ සිඟමනේ යෙදෙන බවත් දිනකට කෑමබීම දී තමන්ට රුපියල් 1000ත් 1500ත් අතර මුදලක් අතට දෙන බවත්ය. සමහර දවස්වලට නම් දිනකට රුපියල් හය හත්සීයයක් ලැබෙන දවසුත් තිබෙන බව ඔහු පැවසීය. කොහොමත් තමන් මුදලාලිට හොරා කීයක් හෝ යටි මඩි ගහගන්නා බවද ඔහු පැවසීය.

මේ සියල්ල අතරේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ මනදොළ පිනවන්නට දඩමස් සපයන පිරිස්ද එමටය. කතරගමට එන තරුණයන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්කුඩු හා කේරළ ගංජා ජාවාරමද ජයට සිදු කෙරෙති. පොලිස් ඇසට වැලි ගසා බොහෝ පිරිසක් මෙම ජාවාරම කරගෙන යන්නේ දුර බැහැර සිට පැමිණෙන පිරිස් කීයක් කියූවත් දී මේවා මිලදී ගන්නා නිසාවෙනි. කතරගම පුද බිමේ පිහිටි මහජන වැසිකිළිය අසලදී මෙම ජාවාරම ජයටම සිදුවෙයි. ඒ මහජන වැසිකිළියට පැමිණෙන තරුණයන් පිටුපස යන මෙම ජාවාරම්කරුවන් වැසිකිළිය තුළදී තරුණයන් හමුවී “මල්ලී කේජී ඕනේද. නියම බඩු තියෙනවා. මොකද කියන්නේ. ගෙනත් දෙන්නද?” විමසයි. ඒ අනුව ගංජා සොයා ආ තරුණයන්ද වැසිකිළිය තුළදීම බිස්නස් එක සිදුකරන්නේ කතරගම දෙවි හාමුදුරුවන්ටද නිගාදෙන අයුරිණි.

කතරගම පුදබිම තුළ මේ සියලු ජාවාරම් මෙහෙයවීමට ද වෙනම පිරිසක් සිටී. ඒ අතරේ ගංජා කුඩු විකුණන අයගෙන් මෙන්ම හිඟන්නන්ගෙන් හා ගණිකාවන්ගෙන්ද කප්පම් ලබාගන්නා අයද මේ අතරේ සිටිති. ඔවුන් හඳුන්වන්නේ ලොක්කෝ කියාය.

කතරගම පැවති රැස්වීමකදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු පැවසුවේ අනුරාධපුර අටමස්ථාන වෙත අදටද කිසිවකුත් වාහනයක් රැගෙන නොයන බවත් නා හිමියන් පවා පයින් ඒ පූජා භූමියට යන බවත් කතරගම පුද බිම තුළ ඒ තත්ත්ව ඇති කිරීමට අපහසු නොවන බවත්ය. කෙසේ නමුත් කතරගම පූජා භූමිය නැවතත් පූජා භූමියක් බවට පත් කිරීමට පොලීසියට පමණක් සිදුකළ නොහැකිය. මේ සියල්ල සඳහා පොලීසියට පමණක් ඇඟිල්ල දිගු කිරීමද සාධාරණ නැත. කතරගම නැවතත් සුද්ධ ලෙස පූජා නගරයක් බවට පත්කර ජාවාරම්කරුවන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට නම් පොලීසිය, නගර සභාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන ඇතුළු වගකිවයුතු පාර්ශව එකට එකතු විය යුතුය. එසේ නොකරනතාක් කතරගම පුදබිම ජාවාරම්කරැවන්ගෙන් බේරාගැනීමට නම් නොහැකි වනු ඇත. 

►සටහන හා සේයා රූ - 
සූරියවැව නුවන් ජයසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00